නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.
නීතීඥ ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා විසින් මෑතකදී නොතාරිස් ආඥාපනතේ සිංහල පරිවර්තනයක් සංග්‍රහ කරන්නට යෙදුනි. ඒ කෘතිය කියවා ගෙන යද්දී දක්නට ලැබුන කරුණක් අරඹයා මේ කෙටි ලිපිය සැකසුවෙමි.
නොතාරිස් ආඥාපනතේ 31 වන වගන්තිය තුළ ඔප්පු ලිවීමේ දී නොතාරිස්වරු පිළිපැදිය යුතු රීතීන් දක්වා ඇත. ඒ අනුව එහි 6 වන රීතියේ දී කියන්නේ නියමිත මුද්දර ගාස්තු ලබා දී ඇති බවට සහතික වශයෙන් දන්නේ නම් මිස, ඔහු විසින් යම් සාධන පත්‍රයක් සත්‍යාපනය කිරීම හෝ සහතික කිරීම නොකළ යුතු බවයි. මේ රීතිය කඩ කරන, පැහැර හරින, නොසලකා හරින නොතාරිස්වරයකු අපරාධ වරදක් කරන අතර ආඥාපනතේ 34 (1)(ආ) වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩුව දී වරදකරු වුවහොත් රු.20,000/- ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතු ය.
නියමිත මුද්දර ගාස්තුව සම්බන්ධයෙන් වන විට ඔප්පුවේ ප්‍රතිෂ්ඨාව දැන ගැනීම ද වැදගත් කරුණකි. ඒ අනුව නොතාරිස් ආඥාපනතේ 38 වගන්තියේ දී දැක්වෙන්නේ යම් ඔප්පුවක් ලියවා අත්සන් කිරීම සඳහා වූ නියම සහ සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව නිශ්චය වශයෙන් දැන ගැනීමට උත්සාහ කිරීම ද ඒ ඔප්පුවේ එය ඇතුළත් කර දැක්වීම ද සෑම නොතාරිස්වරයකුගේ ම යුතුකම වන බවයි. දැන දැනම මෙකී යුතුකම කඩ කිරීම ආඥාපනතේ 38(2) වන වගන්තිය යටතේ වරදක් වන අතර වැරදිකරු වුවහොත් රු.50,000/- ක් නො ඉක්මවන දඩයකට ඔහුට යටත්වීමට ද සිදු වෙයි.
මේ ‘නියමිත මුද්දර ගාස්තුව’ ගණනය කිරීම සමහරක්විට නීතීඥවරුන්ට ගැටළුකාරී විය හැක. ඒ ඔවුන්ට ලැබෙන විවිධාකාරයේ උපදෙස් සහ අවවාද නිසාවෙනි. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත තුළ කටයුතු කරන නීතීඥ නොතාරිස්වරුන්ට වැදගත් විය හැකි කරුණක් පහතින් දක්වමි.
නියමිත මුද්දර ගාස්තුව සම්බන්ධයෙන් වන විට බස්නාහිර පළාත තුල කටයුතු කරන නොතාරිස්වරු සඳහා 1990 අංක 06 දරන බස්නාහිර පළාතේ මුදල් ප්‍රඥප්තිය ද වැදගත් වේ. එහි 2 වන කොටස මගින් මුද්දර ගාස්තු පනවා ඇත. ඒ අනුව බස්නාහිර පළාතේ පිහිටි නිශ්චල දේපළ විකිණීමට අදාළ සෑම සාධන පත්‍රයක් සඳහා නියමිත අනුප්‍රමාණවලට අනුකූලව මුද්දර ගාස්තුවක් අයකරනු ලබන අතර විවිධ පන්තිවල හෝ වර්ගවල සාධන පත්‍ර සඳහා වෙනස් ගාස්තු අනුප්‍රමාණ නියම කරනු ලැබිය හැකි වේ.
නොතාරිස්වරයකු සම්බන්ධයෙන් වන විට වැදගත් ම විධානය ඇතුළත්ව ඇත්තේ ප්‍රඥප්තියේ 16 වන පරිච්ඡේදයේ ය. ඒ අනුව 48(1) වගන්තිය අනුව සාධන පත්‍රයක් මගින් යම් දේපළක් හිමිකර දෙනු ලබන අවස්ථාවක හිමි කර දෙනු ලබන දේපළෙහි වටිනාකම අනුව, ඒ සාධන පත්‍රය සම්බන්ධයෙන් අය කළ යුතු මුද්දර ගාස්තුව ගණන් බැලිය යුතු ය. මේ අනුව මුද්දර ගාස්තුව ගණන් බලන්නේ දේපළේ වටිනාකම අනුව බව පැහැදිලි වනු ඇත. නොමැතිව ප්‍රතිෂ්ඨාව මත නොවේ. තවද, එහිදී ප්‍රතිෂ්ඨාවක් මත පවරනු ලබන යම් දේපළක් යම් උකසකට, බැඳීමකට හෝ සම්බන්ධතා වෙන් කර තැබීමකට යටත් වන අවස්ථාවක පැවරුම් සාධන පත්‍රය සම්බන්ධයෙන් අය කළ යුතු මුද්දර ගාස්තුව ඒ උකස, බැඳීම හෝ වෙන් කර තැබීම පිළිබඳව යම් අඩුකිරීමක් නොකර විකුණනු ලබන දේපළෙහි වටිනාකම අනුව ගණන් බැලිය යුතු ය. එසේම ත්‍යාගදායකගේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ වාසියට කරනු ලබන යම් රඳවාගැනීමකට යටත්ව, යම් දේපළක් ත්‍යාග කරනු ලබන අවස්ථාවක, ත්‍යාග සාධන පත්‍රය සම්බන්ධයෙන් අය කළ යුතු මුද්දර ගාස්තුව ඒ දේපළ ඒ රඳවාගැනීම නොමැති ව ත්‍යාගලාභියා වෙත ත්‍යාග කරන ලද විටක මෙන්, ඒ දේපළෙහි වටිනාකම මත ගණන් බැලිය යුතු ය.
සමහර අවස්ථාවලදී සමහරක් සේවාදායකයන් පැමිණ නියම වටිනාකම නොවන ඔවුන්ගේ හිතේ ඇති වටිනාකමට ඔප්පු ලිවීමට නොතාරිස්වරුන්ට ආරාධනා කරයි. නමුත් බස්නාහිර පළාත තුළ ඔප්පු ලිවීමේ දී ඒ ආරාධනා පිළිගැනීම සුදුසු නොවන බව බස්නාහිර පළාතේ මුදල් ප්‍රඥප්තියේ පෙර දැක්වූ විධාන අනුව පැහැදිලි වේ. මන්දයත් මුද්දර ගාස්තුව ගණන් බලන්නේ දේපලේ වටිනාකම අනුව වීම නිසාවෙනි. ඔප්පුවට මුද්දර ගෙවීමට පෙර, මුද්දර ගාස්තුව ගණනය කිරීම සඳහා නියම වටිනාකම ලබා ගැනීමේ වගකීම ඇත්තේ නොතාරිස්වරයා සතුව ය. ඒ බව ඉහතින් සඳහන් කළ 31(6) රීතිය තුළ වක්‍රාකාරයෙන් සඳහන් ව තිබේ.
නොතාරිස් ආඥාපනතේ විධාන යටතේ වන විට නියමිත වටිනාකම තමුන් තක්සේරු කළ ආකාරය ගැන නිසි පැහැදිලිකිරීමක් කිරීමේ හැකියාව නොතාරිස්වරයා සතු විය යුතු ය. ඊට හේතුව වන්නේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු මගින් වටිනාකම තක්සේරු කිරීම මේ වන විටත් අනිවාර්ය නොවන නිසාවෙනි.
පෙර දී නොතාරිස් ආඥාපනතේ 34(1)(ආ) වගන්තිය පිළිබඳව සඳහන් කළෙමි. එහිදී දඩ ගැසීම සිදු කරන්නේ ඒ සම්බන්ධයෙන් යටත් විය හැකි යම් සිවිල් වගකීමකට අමතරව වන බව ද සිහි තබා ගත යුතු ය. මේ පිළිබඳව ද මදක් සටහන් කළ යුතු ය.
නියමිත ලෙසින් මුද්දර නොගැසූ සාධන පත්‍රයක් සාක්ෂි ලෙසින් භාර ගැනීම සම්බන්ධයෙන් වන විධාන ද මුදල් ප්‍රඥප්තියේ 60 වගන්තියේ ඇතුළත් ව තිබේ.
ඒ අනුව මුද්දර ගාස්තු අය කළ යුතු කිසිම සාධන පත්‍රයක නිසි පරිදි මුද්දර ගසනු ලැබ තිබේ නම් මිස, සාධන පත්‍රය සාක්ෂි භාර ගැනීමට නීතියෙන් හෝ පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත ප්‍රකාර බලය ඇති යම් තැනැත්තකු විසින් සාක්ෂියේ දී භාර ගැනීම හෝ පිළිගැනීම හෝ එවැනි යම් තැනැත්තකු විසින් හෝ රජයේ කාර්යාලයක හෝ සංස්ථාවක හෝ බැංකුවක හෝ අනුමත ණය දෙන නියෝජ්‍යාතනයක යම් නිලධරයකු විසින් හෝ ලියාපදිංචි කිරීම හෝ සත්‍යයනය කිරීම හෝ ඒ සාධන පත්‍රය අනුව ක්‍රියා කිරීම හෝ නොකළ යුතු ය. එසේ වුවද, එවැනි සාධන පත්‍රයක් සඳහා අයකළ යුතු නියම මුද්දර ගාස්තුව හෝ එම මුද්දර ගාස්තුව සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය මුදල සහ එම ගාස්තුවෙහි තුන් ගුණයක් නොඉක්මවන දඩ මුදලක් ගෙවනු ලැබූ විට සාක්ෂියේ දී එය පිළිගත හැක.
මුදල් ප්‍රඥප්තියේ 20 වන පරිච්ඡේදයේ දී මුද්දර ගාස්තු නිශ්චය කිරීම සම්බන්ධයෙන් විධාන දක්වා ඇත. ඒ අනුව, ලියා අත්සන් කරනු ලැබූ හෝ නොලැබූ සහ කලින් මුද්දර ගසන ලද හෝ එසේ නොගසන ලද යම් සාධන පත්‍රයක්, එහි පිටපතක් ද සමග තක්සේරුකරුවකු වෙත ගෙන එනු ලැබූ අවස්ථාවක සහ ඒ සාධන පත්‍රය සඳහා අය කළ යුතු මුද්දර ගාස්තුවක් වේ නම්, ඒ පිළිබඳව තක්සේරුකරුගේ මතය දැන ගැනීම සඳහා ඒ සාධන පත්‍රය රැගෙන එන තැනැත්තා විසින් අයදුම් කරනු ලැබූ සහ රු.250/- ක ගාස්තුවක් ගෙවනු ලැබූ අවස්ථාවක තක්සේරුකරුගේ මතය අනුව ඒ සාධන පත්‍රය සඳහා අය කළ යුතු යම් මුද්දර ගාස්තුවක් වේ නම් එය ඔහු විසින් තීරණය කළ යුතු අතර ඒ තීරණය අදාළ පුද්ගලයාට ලියවිල්ලකින් දැනුම් දිය යුතු වේ. (නමුත් මේ මතය ලබා ගැනීම අනිවාර්ය නොවේ) මේ ආකාරයට මතය ලබා ගෙන නිසි ලෙසින් මුද්දර ගාස්තු ගෙවනු ලබන සාධන පත්‍රයකට පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් ලබා දෙන අතර එකී සහතිකය ඇති සාධන පත්‍රයක් සාක්ෂියක් ලෙසින් යොදා ගැනීමේ කිසිදු බාධාවක් නැත.
අනෙක් අතට මුද්දර ගාස්තුව සම්බන්ධයෙන් වන විට නොතාරිස්වරයකුට වැදගත් වන විධානය ඇත්තේ මුදල් ප්‍රඥප්තියේ 78 වන වගන්තියේ ය. එම ව්‍යවස්ථාව පහතින් උපුටා දක්වා තිබේ. මෙකී විධාන දැන දැනම කඩ කරන නොතාරිස්වරයකු මහේස්ත්‍රාත් ඉදිරිපිට පවත්වන ලඝු නඩු විභාගයකදී වරදකරු වුවහොත් අදාළ සාධන පත්‍රය සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තුව සහ රු.5,000/- යන මුදලට නොවැඩි දඩයකින් හෝ මාස 6 කට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමට හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකින්ම දඬුවම් ලැබීමට සුදුසුකම් ලබයි.
නිසි ලෙස මුද්දර ගාස්තු නොගෙවන සාධන පත්‍රයකට මේ අනුව සාක්ෂිමය ලෙසින් වැදගත්කමක් නොලැබේ. එවැනි විටක එවැනි ඔප්පුවක් නොතාරිස්වරයකු විසින් සහතික කරයි නම් ඔහු එයින් තවත් පුද්ගලයකුට අලාභයක් කිරීමට ද සමහරක් අවස්ථාවලදී වක්‍රාකාරයෙන් කටයුතු කරනු ලැබිය හැක. එය නොතාරිස්වරයාට සිවිල් වගකීමකට ලක්වීම සඳහා මග සලසයි.
නොතාරිස් වෘත්තියේ කටයුතු කරන නීතීඥවරුන් සහ නීතීඥවරියන් (විශේෂයෙන් ම බස්නාහිර පළාත තුළ) මේ පිළිබඳව සිහි තබා ගෙන කටයුතු කිරීම වැදගත් වේ.
Comments
Post a Comment