පාරක් නැතුව ඉඩමක් පැවරීම
සමහර අවස්ථාවලදී ඉඩම් මිලදී ගැනීමේ දී හෝ පැවරීමේ දී ඒ ඉඩමට අදාළ මාර්ග අයිතිය ඔප්පුවෙන් මිලදී ගැනීම හෝ පැවරීම් සිදු නොකරයි. මෙනිසා ඉඩම මිලට ගත් තැනැත්තාට ඉඩමට පැමිණීමට මාර්ගයක් නොමැති වීම නිසා දැඩි අපහසුතාවයකට ලක්වීමට සිදු වේ. මේ සම්බන්ධයෙන් වන විට පරවශතා අයිතිය යටතේ පිළිගත් නීති තත්ත්වය වනුයේ මාර්ග පරවශ්‍යතාවක් ඉඩම් හිමියා අත්පත් කර ගෙන ඇති අවස්ථාවකදී, ඒ පරවශ්‍යතාවය ඔප්පුවේ සඳහන් නොවුනත් ඉඩම පවරන විටදී පරවශ්‍යතාවය ද පැවරෙන බව වේ. මෙකී නීති තත්ත්වය සාකච්ඡා වූ ප්‍රධාන නඩු තීන්දුවක් වන්නේ මහේස්වරී එ. පොන්නදුරෛ නඩු තීන්දුවයි.
මහේස්වරී එ. පොන්නදුරෛ (59 NLR 498) නඩු තීන්දුවේ සිද්ධිමය කරුණු අනුව ආරවුල තිබුනේ වීදියක් සම්බන්ධයෙනි. එහි නැගෙනහිර දිශාවෙන් පැමිණිලිකරුගේ ඉඩම තිබූ අතර උතුරින් සහ බටහිරින් විත්තිකරුවන්ගේ ඉඩම් තිබිණි. පැමිණිලිකරුගේ ඉඩම, තමොදරම්ගේ ඉඩම හේතුවෙන් මහපාරෙන් වෙන්ව තිබූ අතර පැමිණිලිකරුගේ ස්ථාවරය වූයේ පාරට ප්‍රවේශය ඇත්තේ පෙර කී වීදියෙන් වන බවයි. විත්තිකරුවන් මෙය ප්‍රතික්ෂේප කරමින් අනිකුත් කරුණු අතර කියා සිටියේ අදාළ වීදිය තමුන්ගේ ඉඩම්වල කොටසක් මිස පැමිණිලිකරුට ඒ මතින් මාර්ග ප්‍රවේශයක් නොමැති බවයි. නඩුව විභාග කල කොමසාරිස්වරයා විසින් තීරණය කරනු ලැබුවේ ප්‍රශ්නගත වීදිය, අවුරුදු 60 කටත් වඩා වීදියක් ලෙසින් පැවත ඇති බවයි. ඔහු වැඩිදුරටත් සාක්ෂි අනුව කාලාවරෝධයෙන් අදාළ වීදිය මතින් මාර්ග පරවශ්‍යතාවයක් පැමිණිලිකරු සහ ඔහුගේ පූර්වගාමීන් විසින් ලබා ගෙන ඇති බව ද තීරණය කරන්නට යෙදුනි. මේ අනුව අභියාචනාධිකරණයේ දී සන්සෝනි විනිසුරුතුමා දක්වන්නට යෙදුනේ අදාළ ඉඩම පැමිණිලිකරුට පවරන විට වීදිය මතින් වන මාර්ග පරවශ්‍යතාවද පැවරී ඇති බවත් එය විශේෂයෙන් ඔප්පුවේ සඳහන් කිරීම අනවශ්‍ය බවත් ය. ඒ නිගමනයට පැමිණීම සඳහා සන්සෝනි විනිසුරුතුමා, වුඩරෙන්ටන් විනිසුරුතුමා විසින් සුප්පයියා එ. පොන්නප්පලම් [(1911) 14 NLR 229] නඩු තීන්දුවේ දී දක්වන්නට යෙදුන කරුණු ද සැලකිල්ලට ගන්නා ලදි.
තවද, පුද්ගලික පරවශ්‍යතාවකින් මෙවැනි අත්කරගන්නා පරවශ්‍යතාවක් වෙනස් වන බව ද සන්සෝනි විනිසුරුතුමා දක්වන්නට යෙදුනි.
මේ අනුව ඉඩම පැවරීම කරන විටදී අත්කර ගෙන ඇති මාර්ග පරවශ්‍යතාවක්, අයිතිය පවරන ඔප්පුවේ විශේෂයෙන් සඳහන් කරනු නොලැබුවද පැවරුම්ලාභියාට හිමි වේ.
“Although no reference has been made in the said deed No.3170, the law is that the benefit to the dominant tenement and the burden to the servient tenement of a real servitude are inseparable from the land to which they are attached, in that, they pass with the land to every succeeding owner.” [Mandadige Sirisena Perera v. Ratnayake Mudiyanselage Chandrasiri (CA/821/1996/F decided on 28.10.2019)]
Comments
Post a Comment