මහේස්ත්‍රාත් අධිකරණයක පවතින නඩුවකදී සැකකරු/චූදිත
අධිකරණයේ අනිවාර්යෙන් ම පෙනී සිටිය යුතු ද?
එදිනෙදා
මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරද්දී චූදිත හෝ සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම
සම්බන්ධයෙන් නොයෙකුත් වාද විවාද මතු වනු දක්නට ලැබේ. ඒ අනුව මෙකී ලිපිය සැකසීමට
අදහස් කළෙමි.
මහේස්ත්‍රාත්
අධිකරණයකදී පැමිණිල්ලට අමතරව (ලඝු හෝ ලඝු නොවන නඩුවකදී) විරුද්ධ පාර්ශ්වය සඳහා වන පෙනී සිටීම
එක්කෝ සැකකරු විසින් හෝ නැත්නම් චූදිත විසින් සිදු කරයි. සැකකරු යනු
අපරාධයකට/වරදකට සැක කරන්නකු පමණි. සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ප්‍රමුඛව බී වාර්ථාව යොදා ගනී.
එහිදී සැකකරු සිදු කළ බවට සැකකරන වරද/අපරාධය පිළිබඳව තොරතුරු අධිකරණයට ඉදිරිපත්
කරන අතර විමර්ශන කටයුතු පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරයි. ඉන් පසු ගත වන දින
15 කට වරක්
පවත්නා විමර්ශනය පිළිබඳව පොලිස් ස්ථානාධිපති විසින් ලිඛිතව මහේස්ත්‍රාත්වරයා
දැනුවත් කළ යුතු වේ (එදිනෙදා අධිකරණයේ පවතින නඩු ප්‍රමාණය නිසා මේ දින ගණන එහාට
මෙහාට වන ආකාරය ප්‍රායෝගිකව සමහරක් අවස්ථාවලදී දක්නට ලැබේ.). විමර්ශනය අවසානයේ දී සැකකරුට එරෙහිව
වරද/අපරාධය සම්බන්ධයෙන් නඩුවක් පවත්වාගෙන යාමට තරම් කරුණක් නැත්නම් පොලිස්
ස්ථානාධිපති ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරමින් සැකකරු මුදා හැරීමට ඉල්ලා සිටී.
සමහරක් අවස්ථා වලදී නීතීඥවරුන් විසින් විමර්ශන අවදියේ දී සැකකරු මුදා හැරීමට
මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටින නමුත් විමර්ශනයකදී සැකකරුවකු මුදා හැරීමට
මහේස්ත්‍රාත්වරයාට බලය නැති බවත්, එය විමර්ශනය
පවත්වන නිලධාරියා සතු කාර්යයක් බවත් නොදැන කරන ඉල්ලීම් පමණක් ලෙස ඒවා හැඳින්විය
හැකි වේ. මහේස්ත්‍රාත්වරයාට මෙවැනි අවස්ථාවක කළ හැක්කේ අපරාධ නඩු විධාන සංග්‍රහයානුකූලව
නම් දින ලබා දීම පමණි. නමුත් යම් අවස්ථාවලදී ඉක්මණිනන් විමර්ශනය අවසන් කරන්නයැයි
විමර්ශන නිලධාරීන්ට සිදු කරන අවවාද කිරීම් ප්‍රායෝගිකව දක්නට ලැබේ.
යම් හෙයකින්
ඉදිරිපත් කළ සැකකරුට එරෙහිව යම් නීතියක් යටතේ වන වරදක්/අපරාධයක් පිළිබඳව චෝදනා
නැඟිය හැකි තරම් කරුණු විමර්ශනයේ දී අනාවරණය වන්නේ නම් විමර්ශන නිලධාරියා විසින්
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)ආ වගන්තිය යටතේ
පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරයි. මෙතැන් පටන් සැකකරු, චූදිත බවට පත්වේ.
මේ තත්ත්වය තුළ
දැකිය හැකි ප්‍රධානම කරුණක් සටහන් කළ යුතු වේ. සැකකරු සහ චූදිත යනු පුද්ගලික අනන්‍යතාවය
මත එකම පුද්ගලයකු වුවත්, අපරාධ
අධිකරණයකදී, ඔවුන්ගේ
තත්ත්වයේ ප්‍රභල වෙනසක් තිබීම එයයි. සැකකරුවෙකුව සිටිනාතාක් මහේස්ත්‍රාත්වරයාට ඔහු
සම්බන්ධයෙන් වැඩි බලයක් නොමැති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා සිදු කරන්නේ අවශ්‍ය
නියෝග ලබා දෙමින් විමර්ශන නිලධාරීන්ට සහාය දැක්වීම පමණි. නමුත් එම තැනැත්තාම චූදිත
වු විට ඔහු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පූර්ණ බලය ලබා ගන්නා අතර එවිට විමර්ශන
නිලධාරියාට ඇති අයිතිය දුර්වල වෙයි. කොටින්ම කියන්නේ නම් අපරාධ විමර්ශනය කිරීමේ දී
අධිකරණය බැහැර ව සිට විමර්ශන නිලධාරියාට එය සිදු කිරීමට ඉඩ දී සිටින අතර නඩු කීමේ
දී විමර්ශන නිලධාරියා පසකට කර තබනු ලැබේ. බොහෝ අවස්ථාවල අධිකරණයේ කටයුතු කරන්නන්ට
මේ වෙනස තේරෙන්නේදැයි සිතා ගත නොහැක. සමහර විට අදාළ අවස්ථාවලදී සැකකරුගේ අවස්ථාවේ
දී චූදිතගේ කොටසත්, චූදිතගේ
අවස්ථාවේ දී සැකකරුගේ කොටසත් රඟන අයුරු වාර්තා වේ. එය ගුණාත්මක යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියකට
සුදුසු නොවේ.
අනෙක් වැදගත්
කරුණක් වන්නේ වරදකරු කරන තුරු සෑම තැනැත්තකුම නිර්දෝෂීබවට පූර්වානුමාන කළ යුතු
වීමයි (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාව). මෙය නොදැනීම නිසා සැකකරු ලෙසින් ඉදිරිපත් වන තැනැත්තකුට
යම් යම් අවස්ථාවලදී නොසෑහෙන චෝදනාවන්ට ලක් වීමට සිදු වේ. වරදකරු කිරීම ආකාර
දෙකකින් විය හැක. එක්කෝ නඩුවක් අසා චෝදනා සාක්ෂි මඟින් ඔප්පු කර වරදකරු කළ හැකි
අතර නැත්නම් වරදකළ බවට පිළිගැනීමෙන් වරදකරු විය හැක. නමුත් එසේ කියා පොලිස්
නිලධාරියකුට සිදු කරන වරද කියාපෑමක් එනයින්ම වරදපිළි ගැනීමක් නොවේ (සාක්ෂි ආඥාපනතේ
24, 25 වගන්ති). මෙකී කරුණු නොදැනීම හෝ නොසැලකීම නිසා
සමහරක් අවස්ථාවලදී අධිකරණ ‘සති පොල‘ වැනි තත්ත්වයකට පත්වීම සිදු විය හැක.
ඒ පිළිබඳව නීති වෘත්තිකයන් තරයේ සිතිය යුතු ය.
නැවතත් චූදිත
පිළිබඳව සාකච්ඡා කිරීමේ දී පැමිණිල්ල සමඟ චූදිත කරළියට පැමිණේ. පැමිණිල්ල ඉදිරිපත්
කරනා විට චූදිත සිටිය යුතුයැයි නීතියෙන් කියා නැත. නමුත් චූදිත නොසිටින්නේනම්
සිතාසියක් හෝ වරෙන්තුවක්, අවශ්‍ය
අවස්ථාවලදී නිකුත් කර ඔහුව කැඳවා ගත හැක. මේ අනුව චෝදනාව කියවා දෙන්නේ චූදිත
ඉදිරිපත් කළ විට හෝ ඉදිරිපත් වූ විටදී ය. එතැනදී චූදිත වරද පිළිගත හොත් දඬුවම් ලබා
දීමට මහේස්ත්‍රාත්වරයාට කටයුතු කළ හැකි අතර නිවැරදිකරු බව කියා සිටියහොත් නඩු
විභාගය පැවැත්විය යුතු වේ.
ඉහතින් මා
සඳහන් කරන්නට යෙදුනේ මහේස්ත්‍රාත් අධිකරණයක සාමාන්‍ය කාර්ය පටිපාටියයි. දැන් පෙනී
සිටීම පිළිබඳව යොමු වෙමු.
සැකකරුව, වරෙන්තුවක් ඇතිව හෝ නැතිව අත්අඩංගුවට
ගෙන විමර්ශන නිලධාරියාට අධිකරණයට ඉදිරිපත් කළ හැක. අනෙක් අතට සැකකරු සම්බන්ධයෙන්
අධිකරණයේ ඉල්ලීමක් කොට සිතාසියක් නිකුත් කොට හෝ වරෙන්තුවක් ලබා ගෙන අධිකරණයට කැඳවා
ගැනීමට විමර්ශන නිලධාරියාට හැකියාව ඇත. මෙසේ අධිකරණයට ඉදිරිපත්වන සැකකරු සෑම දිනකම
අධිකරණයේ සිටිය යුතු බවට අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් නියම කොට නැත. නමුත්
නීතියෙන් නියම කොට නොතිබුනා කියා එනයින්ම සැකකරු සෑම දිනයකම අධිකරණයේ සිටීම අනවශ්‍ය
බව අදහස් නොවේ. එනිසා මේ පිළිබඳව විමසිය යුතු වේ. මෙහිදී මා ඔබගේ අවධානය 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර
සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) පනතේ 6 වන වගන්තියට යොමු කරවමි. එහි මෙසේ දැක් වේ.
(1) සෑම
පුරවැසියකුට ම-
(අ) ප්‍රසිද්ධ කටයුතුවලදී සෘජුවම හෝ යම්
නියෝජිතයකු මාර්ගයෙන් ඒවාට සහභාගීවීමට
(ආ) - - - -
අයිතිය සහ අවස්ථාව තිබිය යුතුය.
මෙහිදී ප්‍රසිද්ධ
කටයුතුවලදී සෘජුවම සහ හෝ නියෝජිතයකු මඟින් ඊට සහභාගීවීමට ඇති අයිතිය
පිළිගෙන තිබේ. ප්‍රසිද්ධ කටයුතුවලට ඇතුළත් නොවන දේ කුමක් ද යන්න පනතේ 6(2)
වගන්තියෙන් විස්තර කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන ව්‍යවස්ථාවට මින් පසුව
මා ඔබ රැගෙන යමි. එහිදී 106(1) වන ව්‍යවස්ථාව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීම
පිළිබඳව විධාන දක්වා ඇති අතර ම ඊට ඇති සීමාවන් ද දක්වා තිබේ. එම සීමාවන්ට ඇතුළත්
නොවන නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීමට අධිකරණය කටයුතු කළ යුතු ය. ඒ අනුව පෙර කී
ප්‍රසිද්ධ කටයුතු යන්නට නඩු කටයුත්ත ඇතුළත් වේ. එවිට සැකකරුවකුට සිය නියෝජිතයකු
මඟින් වුවද අධිකරණයේ පෙනී සිටීමට ඇති හැකියාව පෙනී යයි. නමුත් පෙර කී පනතේ අර්ථ
නිරූපනයේ දී නියෝජිතයා යන්නට නීතීඥවරයා ඇතුළත් වන බවක් දක්වා නැත. අධිකරණ සංවිධාන
පනතේ 41 වගන්තියේ දී අනිකුත් කරුණු අතර කියා සිටින්නේ අධිකරණ කටයුත්තක ඕනෑම
පාර්ශ්වයකගේ නියෝජිතයා ලෙසින් නීතීඥවරයකුට පෙනී සිටිය හැකි බවයි. ඒ අනුව
නීතීඥවරයකුට සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට කිසිඳු බාධාවක් නැත.
පෙර දී සැකකරු සහ චූදිත අතර වෙනස මා දැක්වූවා සේ ම සැකකරු සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධාන වලදී සැකකරු නොමැතිව නඩුකටයුතු පැවැත්වෙන ආකාරය පිළිබඳව ප්‍රතිපාදන නොමැති බව ද දැක්වූයෙමි. මේ අවස්ථාවේ දී මා ඔබ ඇප පනත වෙත රැගෙන යමි. ඇප පනතට අනුව ඇප දිය හැකි හෝ නොදිය හැකි වැරදි සම්බන්ධයෙන් සැකකරුවකු ඉදිරිපත් කළ විට ඒ සඳහා ඇප දීමේ රීතිය මුල් කර ගනිමින් කටයුතු කිරිමට සිදු වේ (ව්‍යතිරේකයන්ට යටත්ව). අධිකරණයට පමුණුවන සැකකරුවකුට ඇප දීමේ දී සලකා බලන මූලික කරුණක් වන්නේ නැවත ඔහුව අධිකරණයට කැඳවීම තහවුරු කිරීමයි. ඒ අනුව ඇපකරුවන් ඇති ව හෝ නැතිව සැකකරුවකුට ඇප ලබා දේ. පෙර අවස්ථාවකදී මා දැක්වූ චෝදනාව කියවා දීම චූදිත ඉදිරිපත් වූ විට හෝ ඉදිරිපත් කළ විටදී සිදු කරන බවට වන තත්ත්වය දැන් ඔබ සිහි කර ගත යුතු ය. ඒ අනුව ම චෝදනාව කියවා දීමට චූදිත සිටීම අවශ්‍ය වුවත් ඒ අවස්ථාව සඳහා එක්කෝ ඔහුව ඉදිරිපත් කළ යුතු ය. නැත්නම් ඉදිරිපත්ව සිටිය යුතු ය. මින් ඉදිරිපත් කළ යුතුය යන අවස්ථාව උදාවන්නේ සැකකරු අධිකරණයේ නොමැති නිසාවෙනි. එයින් ම සැකකරු අධිකරණයේ සිටීම අත්‍යවශ්‍ය නොවන බව පෙනේ. දෙවනුව, නීතීඥවරයකුට සැකකරුගේ නියෝජිත ලෙසින් අධිකරණයට ඉදිරිපත්වීමට ද කිසිඳු බාධාවක් නැත. නමුත් චෝදනාව කියවා දීම සඳහා එක්කෝ චූදිත ඉදිරිපත් විය යුතුය. නැත්නම් ඉදිරිපත් කළ යුතු ය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 182 වගන්තිය අනුව චූදිත ඉදිරිපත් කළ යුත්තේ කවුරුන් විසින් ද යන්න දක්වා නැත. මෙනිසා ඇපකරුවකුට වුවද, නැත්නම් නීතීඥවරයාට වුවද චූදිතයාව ඉදිරිපත් කළ හැක. මෙනිසා යමකු සැකකරු තත්ත්වයේ සිටින අවස්ථාවකදී අධිකරණයේ පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවන බව සනාථ වේ.
මීළඟට චූදිත සම්බන්ධයෙන්
තත්ත්වය සැලකිල්ලට ගනිමු. මෙහිදී ප්‍රථමයෙන්ම ඔබ කියවිය යුත්තේ අපරාධ නඩු විධාන
සංග්‍රහ පනතේ 139 වගන්තියයි. එහි 139(1) වගන්තිය මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරන
අවස්ථාවේ සිරභාරයේ නොසිටින තැනැත්තකු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ක්‍රියාකළ යුතු
ආකාරය විස්තර කර තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නඩුව පවත්වාගෙන යෑමට සිතන්නේනම් ඒ
තැනැත්තාට අවස්ථානුකූලව සිතාසියක් හෝ වරෙන්තුවක් නිකුත් කළ යුතු වේ. එයින් අදහස්
කරන්නේ ඒ වන විට සැකකරු අධිකරණයේ නොමැති බවයි. එසේම සිතාසිය නිකුත් කිරීමේ දී
සැකකරුට අධිකරණයේ නීතීඥවරයකු මඟින් පෙනී සිටීමට අවස්ථාව ලබා දීමට අධිකරණයට පනතේ 144
වගන්තිය අනුව ම හැක. අවශ්‍යනම් ඔහු පෙනී නොසිටියද ප්‍රශ්නයක් නැත. මන්ද 144
වගන්තියේ මුල් කොටසේ සඳහන්ව ඇත්තේ Whenever a Magistrate issues a summons he may in his discretion dispense
with the personal attendance of the accused and permit him to appear by a
pleader ලෙසින් වීමයි. ඒ ආකාරයට
අවසර දිය හැකි නම් චූදිතයකු අධිකරණය ඉදිරියේ සෑම විටම පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවේ.
එය තවත් තහවුරු කරන්නේ පනතේ 144 වගන්තියේ අතුරු විධානය මගිනි. එහි දැක්වෙන්නේ Provided always that the Magistrate may in his
discretion at any stage of the proceedings direct the personal attendance of
the accused and enforce his attendance in manner hereinbefore provided ලෙසිනි. ඒ අනුව චූදිත අධිකරණයේ පෙනී සිටීම හෝ නොසිටීම
මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය මත රැඳී තිබේ. අවාසනාවට සමහරක් නීතීඥවරු සහ මහේස්ත්‍රාත්
අධිකරණයේ පැමිණිල්ල මෙහෙයවන්නාවූ නිලධාරීහු මේ අභිමතය ඔවුන්ගේ කර ගැනීමට උත්සාහ
දරති. එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයේ පෙනී නොසිටින චූදිත වෙනුවෙන් පෙනී සිටින
නීතීඥමහතා හෝ මහත්මිය අධිකරණයේ සිටියදීත් මහා ශබ්දයෙන් වරෙන්තු ඉල්ලා සිටිමින්
විවාද කරති. ඔවුහු නීතිය නොදැනීම නිසා අධිකරණය මහජනතාව ඉදිරියේ විහිළුවක් බවට පත් කරති.
දක්ෂ සහ සාර්ථක නීතීඥවරයකු හෝ වරියක් එලෙසින් නොහැසිරෙන බව පමණක් මෙහිදී සටහන්
කරමි.
මහේස්ත්‍රාත්වරයා සතු මේ
අභිමතය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 272 වගන්තියෙන් තහවුරු කරන්නේ සියළු සාක්ෂි
ලබා ගැනීමේ දී චූදිත ඉදිරිපිට ලබා ගැනීම අවශ්‍ය වුවත්, ඔහුගේ නීතීඥවරයාට පෙනී
සිටීමට අවසර දී ඇති විටක එම නීතීඥවරයා ඉදිරිපිට ලබා ගැනීම සිදු කළ යුතු බව
දක්වමිනි. මෙහිදී නීතීඥවරයා පෙනී සිටීම යන්න වැදගත් වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ
පනතේ 192 වගන්තිය සමඟිනි. එහිදී දක්වන්නේ චූදිත වෙනුවෙන් නීතීඥවරයකු අධිකරණයේ නඩු
විභාගයට පෙනී සිටින්නේනම් 192(2) වන වගන්තියේ ඇති විධාන අදාළ නොවන බවයි. එහි
අදාළත්වය නොවීමට හේතුව පෙර කී 272 වගන්තියේ දැක්වෙන චූදිතයා නොමැතිව නීතීඥවරයාට
පෙනී සිටීමට ඉඩ ලබා දී තිබීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ තුළද චූදිතයකු
අධිකරණයේ සෑම දිනකම පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවන බව පෙනී යයි.
මේ අනුව සමස්ථයක් ලෙසින්
ගත් විට මහේස්ත්‍රාත් අධිකරණයක පවතින නඩුවකදී සැකකරුවකු/චූදිතයකු අධිකරණයේ පෙනී
සිටීම අනිවාර්ය නොවන බව ඔබට පෙනී යනු ඇත. එනිසා චූදිතයකු හෝ සැකකරුවකු අධිකරණයේ
පෙනී නොසිටින සහ නීතීඥවරයකු ඔහු වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවක චූදිතගේ/සැකකරුගේ
නොපැමිණීම මුල් කර ගනිමින් අනවශ්‍ය තර්කයන් මතු කිරීමෙන්, අධිකරණමය කාලය කා
දැමීමෙන් වැළකීමට කටයුතු කිරීම මැනවි.
Comments
Post a Comment