ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක්.
ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල ගොනු කෙරෙන නඩු වලින් සැලකිය යුතු කොටසක් ගොනු වන්නේ ඉඩම් නඩු ලෙසිනි. බෙදුම් නඩුත් ඉඩම් හා සම්බන්ධ නඩු වුවත් එය ‘ඉඩම්‘ නඩු යන වර්ගීකරණය යටතේ ගොනු වන්නේ නැත. එය ‘පී‘ කාණ්ඩය යටතේ ගොනු වෙයි. ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ නඩුත් සමහර අවස්ථාවලදී ‘එල්‘ කාණ්ඩය යටතේ ගොනු කර ඇති අවස්ථා වෙයි. නමුත් එය ඉඩමක් හා බැඳුනක් නොවේ.
ඉඩම් නඩු අතර ප්‍රධාන වශයෙන් ම හමු වන්නේ රේ වින්ඩිකාෂියෝ නඩු, අයිතිය තහවුරු කර ගැනීමේ නඩු, මායිම් නිරාකරණය කර ගැනීමේ නඩු සහ බුක්තික නඩුකර ය. මේ නඩුකර ගැන නීතීඥවරුන්ට පුළුල් අවබෝධයක් පවතී. කෙසේවෙතත් මේ කෙටි ලිපියේ දී මෙකී නඩුකර වර්ග ගැන කෙටි හැඳින්වීමක් කිරීමට මා අදහස් කළෙමි.
රේ වින්ඩිකාෂියෝ නඩුකර
රේ වින්ඩිකාෂියෝ නඩුකර රෝම ලන්දේසි නීතියෙන් අපට ලැබී ඇති දායාදයකි. මෙම නඩුව පවරනු ලැබෙන්නේ කෙනකුට අයිති ඉඩමක කොටසක් හෝ ඉඩම වෙනත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන, එම කොටස හෝ ඉඩම සඳහා එම පුද්ගලයා විසින් අයිතිවාසිකම් කියනා විටදී ය. මෙවන් නඩුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ
1. විත්තිකරු විසින් අල්ලාගෙන ඇති බවට කියන්නා වූ ඉඩම් කොටස පැහැදිලිව පෙන්වා දීම,
2. එකී ඉඩම හෝ ඉඩම් කොටස සඳහා පැමිණිලිකරුට ඇති හොඳ අයිතිය, (අයිතිය ඔප්පු කිරීමට ඔප්පු, පත් ඉරු පාවිච්චි කළ හැක.)
යන කරුණු ය.
රේ වින්ඩිකාෂියෝ නඩුවකදී පැමිණිලිකරුට ඔප්පු කිරීමේ භාරය දැඩි ලෙසින් පැවරේ. මෙහිදී ඔප්පු කළ යුත්තේ ඉඩමට ඇති හිමිකම යි. එය වැඩිබර සාක්ෂි මත පැහැදිලි ලෙසින් ඔප්පු කළ යුතු ය. මා මෙහිදී දැඩි යන වචනය පාවිච්චි කරනු ලැබුවත් බෙදුම් නඩුවකදී හිමිකම ඔප්පු කරන්නාක් මෙන් ගැඹුරෙන් හිමිකම ඔප්පු කිරීම අවශ්‍ය නොවන බව සඳහන් කර තබමි. විත්තිකරුට ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නේ පැමිණිලිකරු විසින් තමුන්ගේ හොඳ අයිතිය ඔප්පු කළ පසු ය. එහිදී විත්තිකරු අදාළ ඉඩම පැමිණිලිකරුගේ අයිතිය හබ කරන හෙයින් පැමිණිලිකරු විසින් තමුන්ගේ අයිතිය ඔප්පු කළහොත් ඒ අයිතියට වඩා හොඳ අයිතියක් විෂය වස්තුව සඳහා තමුන්ට පවතින බව ඔප්පු කළ යුතු ය.
තවද, රේ වින්ඩිකාෂියෝ නඩුකරයකදී විත්තිකරුව ඉඩමෙන් නෙරපා හැරීම ආයාචනයේදී අයැද නොසිටියද ලබා ගැනීමට හැකියාව ලැබේ. කෙසේවෙතත් නෙරපීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉල්ලීමක් කර තිබීම වඩාත් සුදුසු ය.
අයිතිය තහවුරු කර ගැනීමේ නඩුකර
සාමාන්‍ය භාවිතාවේ දී මේ නඩු හැඳින්වෙන්නේ declaration of title ලෙසිනි. සමහරු මේ නඩුවත්, රේ වින්ඩිකාෂියෝ නඩුවත් පටලා ගනී. මේ නඩුවත් රේ වින්ඩිකාෂියෝ නඩුවත් එකිනෙකට වෙනස් නඩුකර දෙකකි. අයිතිය තහවුරු කර ගැනීමේ නඩුවකදී විත්තිකරු ඉඩමට හෝ ඉඩම් කොටසට පැමිණෙන්නේ ගිවිසුමක් මතය. ගිවිසුම ලිඛිත මෙන්ම ව්‍යංගිත විය හැක. ගිවිසුම්ගත කාලය අවසානයේ විත්තිකරු ඉඩමෙන් පිට නොවී අයිතිය සඳහා හබ කරන අවස්ථාවේ දී මේ නඩුකරය ගොනු කරනු ලැබේ. ඒ අනුව අයිතිය තහවුරු කර ගැනීමේ නඩුවකදී පැමිණිලිකරුවකුට රේ වින්ඩිකාෂියෝ නඩුවකදී මෙන් අයිතිය ඔප්පු කිරීමේ වගකීමක් නොපැවරේ. මෙහිදී සාක්ෂි ආඥාපනතේ 116 වන වගන්තිය ද අදාළ වේ. මේ නඩුවෙන් ද විත්තිකරු නෙරපා හැරීමට හැකියාව පැමිණිලිකරුට ලැබෙයි.
මායිම් නිරාකරණය කිරීමේ නඩුකර
ඉඩම් නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී මායිම් නිරාකරණය කර ගැනීමට නැත්නම් මායිම් පිහිටුවා ගැනීම සඳහා පවරන නඩු ද අමතක කළ නොහැකි නඩු කාණ්ඩයකි.
මායිමක් අවිනිශ්චිත වීම කාලයේ ඇවෑමෙන් මෙන්ම පුද්ගලයකුගේ ක්‍රියාවන් නිසාවෙන් ද විය හැක. ඒ අනුව මූලික වශයෙන් ම හබ ගත මායිමක පූර්ව පැවැත්ම මේ නඩුවේ දී ඔප්පු කළ යුතු වේ. එය ඔප්පු කළ පසු ඔප්පු කළ යුතු වන්නේ එකී මායිම පසුකාලීනව වෙනස් වී ඇති බවයි.
මායිම් සම්බන්ධයෙන් වන විටදී ක්‍රියාත්මකවන පූර්ව නිගමනයන් ද කීපයකි. නියමාකාරයෙන් සවි කල මායිම් කණු හෝ පුරාණ ස්මාරක නිවැරදිව මායිම පෙන්වන බවට වන පූර්ව නිගමනය ඉන් එකකි. එවන් විටකදී එය එසේ නොවේයැයි කියන පාර්ශ්වයට ඒ බව ඔප්පු කිරීමේ වගකීම පැවරේ. ස්මාරක නිවැරදිව හඳුනා ගත් විටදී ඒ ඔස්සේ අඳිනු ලැබිය හැකි රේඛාව නිවැරදිව මායිම පෙන්වන බවට ද පූර්ව නිගමනයක් වේ. මෙකී ස්මාරක, මායිම් නිර්ණයේ දී හොඳම සාක්ෂි වන්නේ ඒවාම ඒවායෙන් කියවෙන දේ සම්බන්ධයෙන් සාක්ෂි වන නිසාවෙනි. නමුත් මේ ආකාරයෙන් ස්ථිරවම මායිම් නොපෙන්වන විටක දී පහත කරුණු මායිම් නිරාකරණය සඳහා උපකාර වේ. ඒ අනුව ස්වභාවික මායිම් සඳහා ප්‍රථමස්ථානය ලැබෙන අතර ඒවා අනිකුත් මායිම් පාලනය කරයි. නමුත් සෑම ඉඩමකම ස්වභාවික මායිම් නොමැත. එසේම මිනින්දෝරුවරයා විසින් මැනීමෙන් පසුව සිටුවනු ලැබූ මායිම් ගල් නිවැරදි මායිම පෙන්වන බවට ද පූර්ව නිගමනයක් වේ. ස්වභාවිකව හෝ මිනිස් මැදිහත්වීමෙන් සකස්කළ මායිම් පෙන්වීමට නොහැකි විට අසල්වාසී ඉඩම් හි මායිම් සැලකිල්ලට ගනු ලැබේ. දුර ද මායිම හඳුනා ගැනීමට යොදා ගනී. එසේම ප්‍රමාණය ද මායිම ඔප්පු කිරීමට සාධකයකි.
මායිම් හා බැඳෙන, මිනින්දෝරුවරුන්ට ද අදාළවන පූර්ව නිගමන කීපයක් වේ. ඒ අනුව පුද්ගලික මිනින්දෝරුවරයකුගේ පිඹුරකට වඩා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කර ඇති පිඹුරු සඳහා ප්‍රමුඛස්ථානය ලැබේ. ඊට හේතුව වන්නේ රජයේ කටයුතු නිසි ලෙසින් සිදු කරන බවට වන පූර්ව නිගමනයයි. කෙසේවෙතත් මෙකී පූර්ව නිගමනය අවසානාත්මක පූර්ව නිගමනයක් නොවේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කරනු ලැබූ පිඹුරකට විරුද්ධව, දොස් තැබීම සඳහා පුද්ගලික පිඹුරක් යොදා ගත හැක්කේ මුල පිඹුර අවිනිශ්චිත වන්නේනම් පමණි. එසේම පුද්ගලික පිඹුරකින් එම පිඹුරට අදාළ පාර්ශ්වයන් පමණක් බැඳෙන අතර ආගන්තුකයන් ඉන් බැඳෙන්නේ නැත.
මායිම් ඔප්පු කිරීමේ දී ප්‍රවාදක සාක්ෂි ලබා දීමට ද හැකියාව ඇත. සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිට පැවතඑන මායිමක් ඔප්පු කිරීමට ප්‍රවාදක සාක්ෂි නොමැතිව හැකියාවක් නොමැති අවස්ථා ඕනා තරම් පවතී. මේ අනුව ප්‍රකාශක මියගොස් ඇති විටදී මිනින්දෝරුවරයාට මැනීමට සහය දුන් අයගේ සාක්ෂි කැඳවීමට වුවද හැකියාව ඇත. එසේම විරුද්ධ පාර්ශ්වය විසින් මායිම් පිළිගැනීම ද සාක්ෂි වේ. තවද ප්‍රශ්නගත මායිමට අසල්වාසීව දිගු කලක් තිස්සේ ජීවත්වන අය විසින් එකී මායිමට කිසිදු බාධාවක් නොමැතිව පැවති බවට ලබා දෙන සාක්ෂි ද අනුකූල කළ හැක.
බුක්තික නඩුකර
බුක්තික නඩුකර පවතින්නේ හිමිකම සමග බැඳී නොවේ. මෙනිසා ඉඩමක සත්‍ය හිමිකරුවකුට එරෙහිව වුවද බුක්තික නඩුකරයක් ගෙන ඒමට හැකියාව පවතී. මීට අදාළ නීතිය පවතින්නේ කාලාවරෝධ ආඥාපනතේ 4 වන වගන්තියේ ය. ඒ අනුව බුක්තික නඩුකරයකදී පැමිණිල්ලෙන් ඔප්පු කළ යුතු කරුණු කීපයක් වෙයි. එනම්,
1. විෂය වස්තුවේ පැමිණිලිකරු බුක්තියේ සිටි බව,
2. නීති විරෝධී ලෙසින් පැමිණිලිකරුගේ බුක්තිය විත්තිකරු විසින් අහිමි කර තිබීම,
3. එකී බුක්තිය අහිමි කිරීමේ දින සිට අවුරුදු 1 ක් තුළ පැමිණිලිකරු විසින් නඩු පවරා තිබීම,
4. පැමිණිලිකරුට "ut dominus" (the intention of holding and dealing with the property as his/her own) තත්ත්වයේ බුක්තියක් තිබුණ බව.
මෙකී කරුණු පෙන්නුම් කළ හැකි නම් බුක්තික නඩුකරයක් පවත්වාගෙන යාමේ හැකියාව පවතී.
Comments
Post a Comment