Skip to main content

Art of Advocacy - නීතීඥවරයකුගේ කාර්යය

නීතීඥවරයකුගේ  කාර්යය

 හැඳින්වීම 

සිංහල භාෂාවෙන් අධිකරණයේ කටයුතු කරන නීතීඥවරයකුගේ කාර්යය දැක්වෙන පොත පත අඩු නිසා සයිබර් අවකාශය මුල් කර ගනිමින් ඒ පිළිබඳව කෙටි ලිපි මාලාවක් සම්පාදනය කිරීමට අප විසින් ගන්නා උත්සාහයයි මේ. 

නීතීඥවරයාගේ කාර්යය

අපිත් නීතීඥවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඊට පස්සෙ තමයි විනිසුරුවරයකු විදියට අධිකරණ සේවයට එක් වුනේ. මේ වෙද්දි අධිකරණ සේවයේ කටයුතු කරගෙන යන අතරතුර නීතීඥවරු බොහෝ දෙනෙක් අපි ඉදිරිපිට පෙනී ඉඳලා තියෙනවා. ජනාධිපති නීතීඥවරුන්ගේ ඉඳන් ඉතා කණිෂ්ඨ නීතීඥවරුන් පවා අපි ඉදිරිපිට පෙනී ඉඳලා නඩු විභාගවලට, කරුණු දැක්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සේරම අත්දැකීම් සැලකිල්ලට ගත්තම නීතීඥවරයාගේ කාර්යය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒ, 

(1) තමන් කතා කරන්න යන දේ අහන මට්ටමට නැත්නම් තමන් ලිඛිතව ඉදිරිපත් කරන දේ කියවන මට්ටමට අසන්නාව පෙළඹවීම, 

(2) ඒ අසන්නාට බලාපොරොත්තු වෙන පණිවිඩය අරගෙන යාමට කටයුතු කිරීම (මෙතනදි අවශ්‍ය දේ තෝරාගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව වැදගත් වෙනවා)

(3) ඒ කියන ලියන දේ පිළිගන්න මට්ටමට අසන්නා පෙළඹවීම විදියට. 

මෙහෙම බැලුවම පේනවා ඇති ඉදිරිපත් කිරීමේ හැකියාව නීතීඥවරයාට ඉතා වැදගත් බව. 

ඇරිස්ටෝටල් මේ ඉදිරිපත් කිරීමේ හැකියාව ආකාර 3 න් යුතු බව දක්වලා තියෙනවා. ඒ ethos, pathos සහ logos විදියට. මේ පාඨ ගැන ඔයාලා ඕනතරම් අහලා ඇති. ඒත් සරලව ටිකක් ඒ ගැනත් කියලා ඉමු. 

Ethos වලින් අදහස් කරන්නේ කථාකරන්නා විසින් තමන්ව විශ්වාස කිරීමට අසන්නාව පෙළඹවීම. මේක නොයෙක් විදියට කරන්න පුළුවන්. සාක්ෂිකරුවකුගේ පැත්තෙන් බැලුවොත් අපි දන්නවා සාක්ෂිකරු සාක්ෂි දෙන විලාශය සහ හැසිරීම ඔහුගේ විශ්වසනීයත්වය ඇගයීමට සැලකිල්ලට ගන්න පුළුවන් කියලා. නීතීඥවරුන්ටත් මේ වගේ තමයි. මෙතනදි අසන්නා කියන කොට විනිසුරුවරයා පමණක් නෙමෙයි සාක්ෂිකරු, අධිකරණයේ සිටින අනෙක් පුද්ගලයනුත් අදහස් වෙනවා. ඒ අනෙක් පුද්ගලයන් මෙතනදි වැදගත් වෙන්නේ නීතීඥවරයාට නඩු අරන් එන්නෙ එයාලා නිසා. 

Pathos කියන්නෙ සරලව ගත්තම කතාකරුවා අසන්නාගෙ හැඟීම්වලට කතා කරන්න ඕනා කියන එක. ඒ කියන්නේ අහන කෙනා ස්වභාවිකව පෙළඹවනවා කියන දේ අහන්න. නැත්නම් කව්රුවත් කියන දේ අහන්නෙ නෑ නේ. 

Logos කියන්නෙ සරලව ගත්තොත් කතාකරන්නා විසින් තමන්ගේ කතාවට නැත්නම් argument වලට හේතු ඒ කියන්නෙ සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕනා. නීතීඥවරුන්ගේ පැත්තෙන් බලනවානම් නීතිමය කරුණු තමයි මෙතනදි වැදගත්. ඒ කියන්නෙ අදාළ වෙන නීතිය, නඩු තීන්දු, ආප්ත වගේ දේවල්. තමන්ගේ සේවාදායකයාගේ කරුණු වලට ගැලපෙන නීති මූලධර්ම. ශ්‍රී ලංකාවේ වත්මන් අධිකරණ ක්‍රියාවලිය සැලකිල්ලට ගත්තම ජූරිය සමග නඩු විභාග පවතින්නෙ හරි අඩුවෙන්. සමහරවිට ඉස්සරහදි ජූරිය සමග නඩු විභාග අවසන්වෙලා යයිද කියලත් හිතෙනවා. ජූරිය ඉද්දි සිද්ධිමය කරුණු විනිශ්චය කරන්නෙ ජූරිය. නීතිමය කරුණු විනිශ්චය කරන්නෙ විනිසුරුතුමා. ජූරිය නැති විභාගයකදි මේ සිද්ධිමය වගේම නීතිමය කරුණුත් විනිශ්චය කරන්නෙ තනි විනිසුරුවරයෙක්. අපි කලින් කියපු අසන්නා මෙතනදි තනි විනිසුරුවරයෙක් ඒ අනුව. විනිසුරුවරු කියන්නෙත් මිනිස්සු. මුල් අවස්ථා අධිකරණවල විනිසුරුවරුන්ට වෙච්චි අඩුපාඩු ඉහළ අධිකරණ වලින් නිවැරදි කරනවා අපි නඩු තීන්දුවලදි දැකලා තියෙනවානේ. නීතීඥවරයා දැනගන්න ඕනා මේ විනිසුරුවරයාට දැනෙන⁣, තේරෙන විදියට කරුණු ඉදිරිපත් කරන්න. ඒකට ලිංග භේදය, ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ භේදය, උස මිටි භේදය වගේ දේවල් අදාළ වෙන්නෙ නෑ. මේ ගැන කියද්දි සාමාන්‍ය කථාවක් තියෙනවා 'හොඳ නීතීඥවරයා විනිසුරුවරයා දන්නවා' කියලා. අහලා ඇති නෙ. Rifkind මේ ගැන මෙහෙම කියනවා.


 අධිකරණ කටයුතු සැළසුම් කිරීම

නීතීඥවරයකුට, නීතීඥවරියකට අධිකරණයකදි කටයුතු කරන හැටි සැලැසුම් කරන්න ක්‍රම හුඟක් තියෙනවා. අපි දකින විදියට මෙයින් ජනප්‍රියම එක තමයි අධිකරණයට එද්දිම එදා කථාව ලියාගෙන එන එක. විනිසුරුවරයාට නඩුව කථා වෙද්දි කියන්න ඕනා එකත් ලියන් එනවා. නඩු විභාගයේදි සාක්ෂිකරුවන්ගෙන් අහන ප්‍රශ්නත් ලියන් එනවා. සමහරවිට ඔබත් මේක කරලා ඇති. ඒක නරකයි කියලා අපි කියන්නේ නෑ. තම තමුන්ට ගැලපෙන විදියට හදා ගන්න ඕනා. කොහොමහරි වෙන්න ඕනා තමුන්ගේ පණිවිඩය අධිකරණයට ලැබෙන්න සැලැස්වීම.

මෙතනදි ඔබට මතක්වේවි ජනප්‍රිය 3 ඉඩියට් චිත්‍රපටියෙ කොටසක්. ඒකෙ තියෙනවා එක්තරා උත්සවයකදි ශිෂ්‍යයෙක් සභාව මැද්දෙ ඉඳන් පවත්වන කථාවක දර්ශනයක්. මේ කථාව එයා හොඳට හදා ගන්නවා. හැබැයි අමීර් ඛාන් මොකද කරන්නේ, කථාවෙ මැද තියෙන සමහර වචන වෙනස් කරනවා. ඒ වචන වෙනස් කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ සභාව මැද්දෙ මහ විහිළුවක් බවට පත්වීම. 

හිතන්න ප්‍රවෘත්ති කියන නිවේදකයෙක්. අද නම් ඉස්සර වගේ නෑ. ඒත් සමහර චැනල්වල තාමත් කොළය බලන් තමයි ප්‍රවෘත්ති කියන්නේ. ඒකෙ මොකක් හරි ඇක්ටිව් ගතියක් තියෙනවාද? තොරතුරු දැන ගැනීමේ ආශාව නිසා බලනවා මිසක් නැත්නම් බලන්නෙ නෑ. ඒ ක්‍රමය වෙනස් කරපු මාධ්‍යවල ප්‍රවෘත්ති අර මාධ්‍යවලට වඩා ජනප්‍රිය වුනා.

කරන්න යන කරුණු දැක්වීමට අදාළව මූලික කරුණු ලියා ගැනීම වරදක් විදියට අපි දකින්නෙ නෑ. ඒත් සම්පූර්ණ ඉල්ලීම ම බලන් කියන්න යන එක ටිකක් අවුල් වගේ. අදහස් ප්‍රකාශ කරද්දි පුළුවන් හැම වෙලේම අපි බලන්න ඕනා අපේ අසන්නාගේ ඇස් දිහා. ලියාගෙන කරද්දි අපිට බලන්න වෙන්නේ කොලේ දිහා. එහෙම බලන් කියද්දි කිසිම සජීවි ගතියක් දැනෙන්නෙ නැහැ. අනෙක ඔබ ලියන් ආපු කථාව අවසන් වෙනකන් විනිසුරුවරයා බලන් ඉන්න ඕනා කියලා ඔබට එතකොට හිතෙන්න පුළුවන්. ඒත් ප්‍රායෝගිකව ඒක ටිකක් අමාරු වැඩක්. මොකද සමහර විනිසුරුවරු ඔබේ ඉල්ලීම ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට ගොත ගැහුනම මොකද වෙන්නෙ? නඩු විභාගයේදී කියලාත් මේකෙ වෙනසක් නෑ. ඔබ අහන ප්‍රශ්නෙට ඔබට ලැබෙන පිළිතුර නඩුව විතරක් නෙමෙයි ඔබවත් වෙනස් වෙන විදියෙ පිළිතුරක් වෙන්න පුළුවන්. 

මෙතනදි වැදගත්වෙන තවත් දෙයක් තියෙනවා. දැන් ඔබ කොළයක් බලන් කියවද්දි කථාවෙ හැටියට ශරීරයේ අංගචලනය වෙන්නෙ නෑ. හැබැයි ඔබ හිතලා කරන කථාවකදි ඔබගේ අංගචලනය ස්වභාවිකව සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදි අපි දැකලා තියෙනවා සමහර නීතීඥවරු හරිම සැහැල්ලුවෙන් හිනාවෙවී අධිකරණය එක්ක තමුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්නෙ ‘ෂහ් දක්ෂ ලෝයර් කෙනෙක් නෙ ආ‘ කියලා. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර නීතීඥවරු කථා කරන ගමන් පිටිපස්ස හැරිලා බලනවා රැස්වෙලා ඉන්න පිරිස දිහා. එතකොට පිරිස දන්නවා ආ මෙයා කථා කරන්නෙ අපිටනෙ බොලේ කියලා. අධිකරණයට කථා කරන්න එනා කෙනා එහෙ නොබලා පිටිපස්සෙ ඉන්න ප්‍රේක්ෂකයො දිහා විශේෂයෙන් බලන්න ඕනා නෑ නේ නේද? 

අනිත් එක තමයි කථා කරද්දි විශේෂයෙන්ම ප්‍රශ්න අහද්දි ඊට ලැබෙන ප්‍රතිචාරත් එක්ක නොයෙක් අවුල් ඇති වෙනවා. අපි කොළයක ලියාගෙන ඇවිත් සැලසුම් කරන් ඉන්න ප්‍රශ්න අහද්දි උත්තර දෙන කෙනා දන්නවා රටාව යන හැටි. ඔබ දන්නවානේ මනසේ ස්වභාවය. සමහර වෙලාවලදි අපි පොතක් කියවන කොට මුලයි අගයි විතරයි කියවන්නෙ, හැබැයි අදහස මනස අල්ලන් ඉවරයි. ඒ වගේ තමයි. අනික එක මිනිහෙක් අහන තේරවිල්ලක්, නැත්නම් හරස් පදයක් තව කෙනෙක් කඩනවා, විසඳනවා. ඕක තමයි ස්වභාවය. ඉතින් අහන ප්‍රශ්නවලටත් හරි ලස්සන උත්තර ලැබෙනවා. ඊළඟට මේ වගේ වෙලාවකදි නොයෙකුත් ආකාරයේ උත්තර ලැබෙද්දි අර සැළැස්මෙ ඉදිරි පියවර අමතක වෙලා යන්න පුළුවන්. හිතලා බලන්න සමහර වෙලාවට කථා කර කර ඉද්දි අහන් ඉන්න කෙනා අහන ප්‍රශ්න නැත්නම් එයා ඒ සංවාදයට සම්බන්ධ වුන ආකාරය අනුව ‘මන් දැන් කොතනද නැවැත්තුවේ...‘ කියන ප්‍රශ්නය ඔබ විසින් අහපු අවස්ථා නැද්ද කියලා. අධිකරණයක ප්‍රශ්න අහන් ඉද්දි ඕක නොවෙයි කියලා ඔබ හිතනවද? මේවා සේරම මැද්දෙන් තමයි අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නෙ. 

මෙහෙම බැලුවම ඔබ අහන්න පුළුවන් හොඳයි එහෙනම් මොකක් ද යෝජනා කරන්නෙ කියලා. ඔව්. අපෙත් යෝජනාවක් තියෙනවා. නරකද කොළයක ලියලා සැළසුම් නොකර මනසින් සැළසුම් කලානම්. ඒ කියන්නෙ mind map. එතනදි වෙන්නෙ කියන්න ඕනා දේ මුල් කරගෙන ඒක ගලාගෙන යන්න ඕනා විදිය ගැන මනසෙන් සැළැස්මක් අඳින එක. ෂර්ලොක් හෝම්ස් කථාවලදි නැත්නම් පෙරී මේසන් කථාවලදි භාවිතා කරන්නෙ මේ ක්‍රමයට සමාන ක්‍රමයක්. මේ සැළැස්ම අවස්ථානුකූලව හරි ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. අනික හරි ලේසියෙන් මතක තියා ගන්නත් පුළුවන්. මුලින්ම සැළැස්ම ගහගත්තට පස්සෙ, සැරින් සැරේ ඔබට පුළුවන් ඒක දියුණු කරන්න. කොලේක ලිව්වට පස්සෙ ඉතින් කොලේ ෆයිල් එකට දැම්මට පස්සෙ අයිත් අතට එන්නෙ නඩුව දවසෙ උදේ නේ. නමුත් mind map එහෙම නෙමෙයි. ඔබ දන්නවා ඔබේ ඉච්ඡානුගත ක්‍රියාවන්ට මූලිකත්වය දෙන්නෙ මනස කියලා. ඉතින් මේ සැළැස්ම ක්‍රියාත්මක වෙද්දි මනසේ මූලිකත්වය නිසා අංග චලනයත් ස්වභාවිකවම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කථාවත් එක්ක ම සජීවී ගතියක් ඉදිරිපත් වෙනවා. දැන හෝ නොදැන මේ ක්‍රමය පාවිච්චි කරන නීතීඥවරුන් නීතීඥවරියන් අපි ඕනා තරම් දකිනවා.

Comments

Post a Comment

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...