සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්.
මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ.
දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව සාක්ෂියක් ලබා දීමට මෙන්ම ලේඛනයක් සාක්ෂි ලෙසින් ඉදිරිපත් කරවීමට ද සිතාසි නිකුත් කරනු ලැබේ. ඒ අනුව සිතාසියේ අදාළ සාක්ෂිකරු කැඳවන්නේ කුමන කාරණයකට ද යන්න සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරීමක් තිබිය යුතු ය. එසේම සාක්ෂිකරු පැමිණිය සිටිය යුතු වේලාව, දිනය එහි දක්වා තිබිය යුතු ය. තවද, සාක්ෂිකරු කැඳවීම සඳහා වැය වන වියදම වෙනුවෙන් තැන්පතුවක් හෝ ගාස්තුවක් අධිකරණයේ තැන්පත් කර ඇත්නම් ඒ පිළිබඳව ද සිතාසියේ දක්වා තිබිය යුතු ය. මේ ගාස්තුව සාමාන්‍ය භාවිතාවේ දී ‘බටා ගාස්තුව‘ ලෙසින් හඳුන්වයි. කෙසේවෙතත් එවැනි ගාස්තුවක් තැන්පත් කර නැත්නම් ඒ පිළිබඳව ද සිතාසියේ දැක්විය යුතු ය.
බටා ගාස්තු වන විට දී සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධාන ප්‍රකාරව අධිකරණයේ සිට සැතපුම් 4 කට වඩා අඩු දුරක සිටින සාක්ෂිකරුවකු සම්බන්ධයෙන් බටා තැන්පත් කිරීමේ අවශ්‍යතාවක් නැත. එයින් කියැවෙන්නේ සැතපුම් 4 කට වඩා දුරින් සිටිනා සාක්ෂිකරුවකු සම්බන්ධයෙන් බටා තැන්පත් කිරීම අවශ්‍ය බව පෙනී යයි. කෙසේවෙතත් සිතාසියක් නිකුත් කිරීම සඳහා බටා ගාස්තු තැන්පත් කිරීම අනිවාර්ය සාධකයක් නොවේ. යම් සාක්ෂිකරුවකු සැතපුම් 4 කට වඩා දුරින් සිටී නම් සහ ඒ සාක්ෂිකරු වෙනුවෙන් බටා ගාස්තු තැන්පත් කර නැත්නම් සිතාසියේ දී එකී ගාස්තු තැන්පත් කර නොමැති වීම හේතුවෙන් අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය නොවන බව ද සඳහන් කළ යුතු වේ.
මෙකී ගාස්තුව, සාක්ෂිකරු පදිංචිව සිටින දුර අනුව සහ යන වියදම අනුව තීරණය කළ හැකි අතර තැන්පත් කරන මුදල ඒ අනුව සාක්ෂිකරුගේ ‘දිනක‘ වියදම සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් තැන්පත් කරන ලෙසින් සාක්ෂිකරු කැඳවීමට බලාපොරොත්තු වන පාර්ශ්වයට නියම කිරීමට අධිකරණයට හැකියාව තිබේ. එම නියම කරන මුදල නොගෙවයිනම් එම මුදල සඳහා ඒ පාර්ශ්වකරුගේ චංචල දේපල තහනමට ගෙන විකුණා එකී විකිණීමේ වියදම සමඟ අදාළ හිඟ මුදල අයකරවා ගැනීමට අධිකරණයට හැකි අතර අවශ්‍ය නම් සාක්ෂිකරු සාක්ෂි ලබා නොගෙන මුදා හැරීමට ද අධිකරණයට අවස්ථාව ලබා දී තිබේ (බලන්න සිවිල් නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය). මෙවැනි විටකදී මේ ආකාර දෙකම අනුව කටයුතු කිරීමට අධිකරණයට හැකියාව තිබේ.
යම් හෙයකින් කැඳවන සාක්ෂිකරුව එක් දිනකට වඩා රඳවා ගැනීමට සිදුවන්නේ නම් එනම් තවත් දිනක කැඳවීමට සිදුවන්නේ නම් ඒ සාක්ෂිකරු කැඳවන පාර්ශ්වය විසින් ඒ දිනය හෝ දින සඳහා යන වියදම දැරිය යුතු බවට ආඥා නිකුත් කිරීමට අධිකරණයට බලය ඇත (බලන්න සිවිල් නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය). එම මුදල් නොගෙවනු ලැබූවිටදී ද පෙර දැක් වූ ආකාරයට දේපල තහනම් කර විකිණීම ඇතුලු කටයුතු කිරීමේ හැකියාව තිබේ.
මේ ආකාරයට බටා ගාස්තු තැන්පත් කර ඇති විටක සාක්ෂි ලබා දීමට පෙර ඒ මුදල ඉල්ලා ගැනීමට සාක්ෂිකරුවකුට හැකියාව ඇති බව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 123 වගන්තියේ දක්වයි. කෙසේවෙතත් අද අපි සාමාන්‍යයෙන් දකින්නේ සාක්ෂි ලබා දීමෙන් පසුව බටා ගාස්තු ගෙවන ආකාරය යි. මුල් අවස්ථාවේ දී ගාස්තුව ලබා නොගන්නේ සමහරවිට සාක්ෂිකරු ඒ පිළිබඳව නොදන්නා නිසාවෙන් දෝ කියා වරක සිතේ.
මේ ආකාරයට වන සිතාසියක් සාක්ෂිකරුවකුට බාර කරවීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇති විත්තිකරුවකුට සිතාසි භාර දීමට විධාන කර ඇති ආකාරයට සිදු කළ යුතු වේ. එය භාර දීම, සිතාසියේ දක්වා ඇති කාලයට හෝ වෙලාවට පෙර සාක්ෂිකරුට සූදානම්ව පැමිණීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන පරිදි සිදු කරවීමට කටයුතු කළ යුතු බව 130 වගන්තියේ දී දක්වා තිබේ.
යම් හෙයකින් පිස්කල්වරයාට සාක්ෂිකරුට සිතාසි භාර දීමට නොහැකි වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු අතර අධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ලබා ගත යුතු ය. වර්තමානයේ දී පිස්කල්වරයා විසින් සිතාසි භාර දීමට නොහැකි වීම සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලබන අතර එය මෙහිදී සාක්ෂියක් ලෙසින් සැලකිය හැක. මේ ආකාරයට වාර්තා කරනු ලැබූ පසු සහ සාක්ෂියක් ගනු ලැබූ පසු, අදාළ සාක්ෂිකරු සිතාසි ලබා ගැනීම මගහරින්නේනම් හෝ පැනගොස් සැඟ වී සිටින බව අධිකරණයට පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවකදී අධිකරණයේ අභිමතය ප්‍රකාරව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව තිබේ. සිවිල් වරෙන්තුව ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ මේ වරෙන්තුවයි.
මෙකී වරෙන්තුවේ ආකෘතිය සිවිල් නඩු විධාන සංග්‍රහයේ 39 ආකෘතියේ දැක් වේ.
තවද, සාක්ෂි ලබා දීමට හෝ ලේඛනයක් ඉදිරිපත් කිරීමට අධිකරණයේ පෙනී සිටින සාක්ෂිකරුවකු සාක්ෂි ලබා දීමට පෙර හා අධිකරණයේ කටයුතු නිම වී ඇත්නම් මිස සහ එසේ කරන තුරු හෝ අධිකරණයෙන් ඉවත්ව යෑමට අවසර ලබා ඇත්නනම් මිස හා එසේ ලබා ගන්නා තුරු අධිකරණයෙන් ඉවත්ව නොයා යුතු අතර එසේ ඉවත්ව යන සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට ද නියම කිරීමට අධිකරණයට හැක. මෙනිසා අධිකරණයේ සාක්ෂි ලබා දීමට පැමිණෙන සාක්ෂිකරුවකුට අධිකරණයෙන් අවසරය ලැබෙන තුරු පිටත්ව නොයන ලෙසින් උපදෙස් දීම වැදගත් වේ. යම් සාක්ෂිකරුවකු දිසා අධිකරණයේ සාක්ෂි දීමට පෙනී සිට ඉදිරි දිනයක පෙනී සිටීමට නියම වන අවස්ථාවේ දී පෙනී නොසිටියහොත් හා ඒ සඳහා නීත්‍යනුකූල හේතුවක් ඉදිරිපත් කළ නොහැකියැයි අධිකරණයට පෙනී යයි නම් එවිට ද වරෙන්තුවක් නිකුත් කළ හැකි වේ. අධිකරණය ද සාක්ෂි දී අවසන් වූ සාක්ෂිකරුවකුට ඔහුගේ කාර්යය අවසන් නම් අධිකරණයෙන් පිටව යෑමට අවසර ලබා දිය යුතු ය. එසේ නොවන්නේ නම් සාක්ෂිකරුට නිස්කාරනේ අධිකරණයේ රැඳී සිටීමට සිදු වනු ඇත. මේ ආකාරයට අධිකරණයට ඉදිරිපත් කරන තැනැත්තකු සිතාසියට අනුකූලව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූල හේතුවක් තමාට තිබුණු බවට අධිකරණය සෑහීමට පත් නොකරන්නේ නම් අධිකරණයට අපහාස කරනු ලැබූ සේ සලකා ඒ තැනැත්තා සම්බන්ධයෙන් දඬුවම් නියම කරනු ලැබීමට යටත් විය යුතු ය.
වරෙන්තුවකට යටත්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන සාක්ෂිකරුවකුව ඇපයක් මත මුදාහැරීමට අධිකරණයට හැකියාව තිබේ.
මේ වරෙන්තුවේ ස්වභාවය අනුව වරෙන්තුව නිකුත් කරන අධිකරණයට ම ඒ තැනැත්තාව ඉදිරිපත් කිරීමට සිදු වන හෙයින් අපරාධ අධිකරණයේ වරෙන්තුවකට වඩා වැඩි බලපෑමක් සිදුවන බවක් පෙනී යයි. මෙහිදී මා අදහස් කරනු ලැබූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ඇති වරෙන්තුවේ පිටසන් කිරීමට ඇති හැකියාව දිසා අධිකරණයේ දී නොමැති නිසාය.
කෙසේවෙතත් එවැනි වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ සාක්ෂිකරුවකුට යොමු කරන සිතාසිවලට අදාළ විධාන සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 133 වන වගන්තියේ විධාන ප්‍රකාරව කටයුතු කර තිබිය යුතු වේ.
Comments
Post a Comment