සාවද්‍ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම
ශ්රී ලංකාවේ මහේස්ත්රාත් අධිකරණයන්හි පවතින නඩු අතර සෑහන ප්රමාණයක් සාවද්ය
පරිහරණය සහ සාපරාධී විශ්වාස කඩ කිරීමේ වරද යන වැරදි මුල් කර ගත් නඩු වේ.
දැන් දැන් මේ වැරදි වලට අමතරව ණය ආපසු අය කර ගැනීමේ පනතේ 25(1) වගන්තිය ද
ඇතුළත් වන පැමිණිලි දැක ගත හැක. කෙසේවෙතත් සාවද්ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වැරදි ඔප්පු වන අවස්ථා දැක ගත හැක්කේ අඩු ප්රමාණයකිනි. වරද ඔප්පු කර ගැනීමට නොහැකි වීම ඊට ප්රධානම හේතුව වේ.
දණ්ඩ නීති සංග්රහයේ 386 වගන්තියේ දී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් වන ප්රධාන වරද දක්වා තිබේ. ඒ පහත ලෙසිනි.
Whoever dishonestly misappropriates or converts to his own use any movable property shall be punished with imprisonment of either description for a term which may extend to two years, or with fine, or with both
මේ වගන්තියට අනුව වරදේ අංග කීපයකි. ප්රධාන වශයෙන් ම වරද මානසික අංගයකින් සහ භෞතික අංගයකින් සමන්විත වේ. භෞතික අංගය තුළින් ක්රියාව
විස්තර කරන අතර මානසික අංගය තුළින් වරද කිරීම සඳහා මුල් වූ චේතනාව විස්තර
කරයි. ඒ අනුව 386 දී මානසික අංගය dishonest ලෙසින් දක්වා ඇති අතර භෞතික
අංගය misappropriates or converts to his own use ලෙසින් දක්වා තිබේ. මේ
වරදේ ප්රධාන අංග දෙකයි. තෙවන අංගය වන්නේ වරදට සම්බන්ධ වන දේපල ය. එය වගන්තියේ දී any movable property ලෙසින් දැක් වේ. මේ අනුව සාවද්ය
පරිහරණය වරද සම්බන්ධ වන නඩුවකදී චූදිත විසින් ඕනෑම චංචල දේපලක් වංක
අදහසින් තමන්ගේ පරිහරණයට ගැනීම හෝ වැරදි ලෙසින් පාවිච්චි කිරීම අදහස් වේ.
මේ කියනා වංක අදහස දණ්ඩ නීති සංග්රහයේ
දී විස්තර කර ඇත්තේ Whoever does anything with the intention of causing
wrongful gain to one person, or wrongful loss to another person, is said
to do that thing dishonestly ලෙසිනි.
දැන්
ඔබ මේ වගන්තිය කියවද්දී අදාළ චංචල දේපල කාට අයත් දේපලක්දැයි සඳහන් කර
නොමැති බව දැක ගත හැකි වනු ඇත. කෙසේවෙතත් 388 වගන්තියේ විස්තර කර ඇති
සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද බලන්න. එහි දැක්වෙන්නේ මෙලෙසිනි.
Whoever, being in any manner entrusted with property, or with any dominion over property, dishonestly misappropriates or converts to his own use that property, or dishonestly uses or disposes of that property in violation of any direction of law prescribing the mode in which such trust is to be discharged, or of any legal contract, express or implied, which he has made touching the discharge of such trust, or willfully suffers any other person so to do, commits ”criminal breach of trust”.
දැන් මේ වගන්තියේ දී ප්රකාශිතව නැතත් යමකුට අයිති දේපලක් අදහස් වන බව පෙනී යනු ඇත. මන්දයත්, භාරයට පත් කරනු ලැබූ දේපලක් එහි දී දක්වා ඇති නිසාවෙනි.
කෙසේ
හෝ 386 වගන්තිය යටතේ වන වරදකදී චූදිත විසින් ඕනෑම චංචල දේපලක් වංක අදහසින්
තමන්ගේ පරිහරණයට ගැනීම හෝ වැරදි ලෙසින් පාවිච්චි කිරීම සිදු කළ බව
පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු වේ. මෙනිසා පැමිණිල්ල
විසින් පැමිණිලිකරුගේ දේපල චූදිත විසින් සාවද්ය පරිහරණය කළ බව ඔප්පු කිරීමට උත්සාහ දරයි.
මෙවැනි
අවස්ථාවක් නිදසුනකින් හඳුනා ගනිමු. සුරංග විසින් ඩිෂාන්ගේ පොතක් බිම වැටී
තිබී අහුලා ගනී. එය ඩිෂාන්ගේ බව සුරංග දැන ගනී. පසුව ඩිෂාන්ව හමුවූ විට
සුරංග විසින් පොත ඩිෂාන්ට බාර දෙයි. එවිට සාවද්ය
පරිහරණය වරද සිදු නොවේ. නමුත් නැවත හමුවන ඩිෂාන්ට සුරංග විසින් පොත භාර
නොදී තමුන්ගේ පුස්ථකාලයට එකතු කරයි. එවිට ඔහු මේ වරද සිදු කරයි.
බොහෝ නඩුවලදී දේපල වන්නේ මුදල් ය. සාමාන්යයෙන් මුදල් ලබා ගන්නේ වියදම් කිරීමට නිසා මේ වරද ඔප්පු කිරීමේ දී වංක සිතින් තමුන්ගේ ප්රයෝජනයට අදාළ මුදල පාවිච්චි කරනු ලැබූ බව නැත්නම් තමුන්ගේ ප්රයෝජනයට ඒ මුදල භාවිතා කළ බව පැමිණිල්ලෙන් ඔප්පු කළ යුතු ය. වංක සිත පැවතිය යුත්තේ වරද කරන අවස්ථාවේ දී ය (Walgamage v. The Attorney General - (2000) 3 Sri LR 1).
මෙය ඔප්පු කිරීම කෙතරම් අපහසු කාර්යක්දැයි බැලූ බැල්මට ම ඔබට පෙනී යනවා
ඇත. මෙනිසා සමහර අවස්ථාවලදී සෑම මුදල් ගණුදෙනුවක් ම අපරාධ නොව සිවිල්
ගණුදෙනු බවට වුවත් කෙනකු පවසන්නේ නම් එහි වරදක් නොවේ. සමහර අවස්ථාවලදී ව්යාපාර සඳහා ලබා ගනු ලබන ණය ගනුදෙනු සම්බන්ධයෙන් ද මේ වරද ඇතුළත් පැමිණිලි මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වේ. පවතිනා තත්ත්වයන් අනුව ව්යාපාරය පාඩු ලැබූ නිසා අදාළ මුදල් ආපසු ලබා දීමට නොහැකි බව චූදිතයා පෙන්වුවහොත් (ව්යාපාරය
පාඩු ලැබූ බව බොහෝ දුරට දන්නේ චූදිත විසිනි) ඔහුව මේ යටතේ වරදකරු කළ
නොහැක. වරදකරු කළ හැක්කේ පැමිණිල්ලෙන් කියා සිටින මුදල් චූදිත සතුව තිබීත්
පැමිණිලිකරුට නොගෙවන විටදී ය. ඒවා කිසිවක් නොමැතිව නඩුව අධිකරණයට රැගෙන
විත් චූදිත නිදොස් වූ විට අධිකරණයට දොස් කීමේ ඵලක් නොවේ.
සාපරාධී විශ්වාසය කඩ කිරීම වරද තුල සාවද්ය
පරිහරණය කිරීම ද ඇතුලත් වන බව ඉහතින් දක්වා ඇති 388 වගන්තිය නිරීක්ෂණය කරන
විට පෙනී යයි. කෙසේවෙතත් 388 වගන්තිය අනුව සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද
සංයුක්ත වීම සදහා ද අංග කීපයක් පැවතිය යුතු අතර, පැමිණිල්ල විසින් සාධාරණ
සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය. වගන්තියට අනුව වරදේ මානසික අංගයක් ද භෞතික
අංගයක් ද වේ. මානසික අංගය වංක ලෙස යන පාඨයෙන් ආවරණය වේ. භෞතික අංගය “සාවද්ය පරිහරණය කිරීම, තමාගේ ප්රයෝජනයට ගැනීම, භාරයට ඉෂ්ඨකල යුතු ක්රමය නියම කරනු ලබන නීතියේ නියමයකට විරුද්ධව දේපල වංක ලෙස පාවිච්චි කිරීම එකී භාරය ඉෂ්ඨ කිරීම සම්බන්ධයෙන් තමා බැඳුණු ප්රකාශිතයන්ගෙන් ව්යංගික නීත්යානුකූල
ගිවිසුමකට නීති පිළිබදව නියමයකට විරුද්ධව පාවිච්චි කිරීම, එකී දේපලට යමක්
කිරීම හෝ වෙනත් අයෙකුට ඕනෑකමින් එබන්දක් සිදුකිරීමට ඉඩ හැරීම” යන කොටස
තුලින් ආවරණය කරනු ලැබේ.
388
වගන්තිය අනුව සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරදකදී දේපල නිශ්චල ද චංචල ද යන්න
අදාල කරුණක් නොවේ. වගන්තියේ ඇත්තේ යම් දේපලක් ලෙසයි. නමුත් ඒ දේපල කුමන
ආකාරයකින් හෝ චූදිත භාරදෙනු ලැබීම නැත්නම් දේපලට ආධිපත්ය
භාරදෙනු ලැබූ බව පැමිණිල්ලෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතු වේ. පෙර
සඳහන් කල ආකාරයට මුදල් ණයට දෙනු ලැබූ හා චූදිත විසින් එම මුදල් ආපසු
නොගෙවනු ලැබූ විටක මේ වගන්තිය යොදා ගත හැකිද යන්න විමසා බලන්නේ නම් යහපත්ය.
ණයක් දෙන්නේ නැත්නම් භාණ්ඩ මිලට ලබාදීම වෙනුවෙන් චෙක්පත්ර
ලබාගන්නේ වාණිජ කටයුත්තක් සම්බන්ධයෙනි. යම් දිනයක දී ණය මුදල් පොළිය සමඟ
හෝ නැතුව ගෙවීමට චූදිත බැඳී මුදල් ලබා ගනී. එවිට ඒ මුදල් චූදිතට මාරුවුනත්
ඔහු එය පාවිච්චි කරන්නේ වංක අදහසින් බව පෙන්වෙන්නේ කෙසේද? පෙනී යන ආකාරයට
එය අපහසු කාර්යයකි. ණය දෙන්නේම අදාළ ණය මුදල පාවිච්චි කිරීමට වන කොන්දේසිය ද
සහිතවය. ඒ බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. තවද බොහෝ අවස්ථාවල දී චෙක්පත් ලබා
දී භාණ්ඩ ලබාගන්නා අවස්ථා සහ ඒ ලබාගත් භාණ්ඩ වල වටිනාකමට දුන් චෙක්පත් අඟරු
වන අවස්ථා වේ. එවිට අගරු චෙක්පත් ලබාදී සාපරාධි විශ්වාසය කඩකළ බවට
පැමිණිලි කරයි. එය නිවැරදි ද යන්න 388 වගන්තියම කියවා බලන විට ඔබට පැහැදිලි
වනු ඇත.
388 වගන්තියේ දැක්වෙන සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද සම්බන්ධයෙන් වන විට දේපලක් භාරදීම හෝ දේපලක ආධිපත්ය භාරදීම වැදගත් කරුණකි. චූදිත ප්රථමයෙන්ම
මේ කාණ්ඩ දෙකෙන් එක් කාණ්ඩයකට ඇතුලත් වන බව පැමිණිල්ලෙන් ඔප්පු කල යුතුය.
එය ඔප්පු කල පසු පෙර දී දැක්වූ භෞතික අංගය ඔප්පු කල යුතුය. ඉන්පසුව එකී
භෞතික අංගය සිදුකිරීමේ දී චූදිත සතුව වංක චේතනාවක් පැවති බවත් ඔප්පු කල
යුතුය. දෙවනුව මේ වගන්තිය තුල දේපලක භාරය නැත්නම් ආධිපත්ය
පැවරීම පමණක් ඇති නිසා දේපලේ හිමිකම චූදිතට පැවරීමක් සිදු නොවේ. නමුත්
හිමිකම නොවන අයිතීන් චූදිතට පැවරිය යුතුය. එය අනිවාර්යය අංගයකි. තෙවනුව එකී
දේපල භාරයක් මෙන් දැරිය යුතු වේ. එම දේපල භාරය ආධිපත්ය චූදිතට පැවරූ බව ඔප්පු කල යුතුය. ආධිපත්ය තුලදී දේපල පාවිච්චි කිරීමේ අයිතිය ද පවතී. වංක ලෙස යන්න දණ්ඩ නීති සංග්රහයේ විස්තර කර තිබේ. සාපරාධී විශ්වාසය කඩකිරීම ඔප්පු කිරීමේ දී අදාල දේපල වංක ලෙස සාවද්ය පරිහරණය කල බව ඔප්පු කිරීම ද වැදගත් සාධකයකි.
සාවද්‍ය
පරිහරණය කිරීම හා සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද අතර වෙනස්කම් :- දණ්ඩ නීති සංග්‍රහයට අනුව වගන්ති වෙනස් ය.
- සාවද්‍ය පරිහරණයේ දී දේපල චංචල දේපලකි. නමුත් සාපරාධී විශ්වාසය කඩකිරීමේ දී එය නිශ්චල දේපලක් ද විය හැක.
- සාවද්‍ය පරිහරණයේ දී දේපල චූදිතට සාමාන්‍ය ලෙස පැවරේ. සාපරාධී විශ්වාසය කඩකිරීමේ දී දේපලේ භාරය චූදිතට පැවරී තිබිය යුතුය.
- සාවද්‍ය පරිහරණයේ දී චූදිතත්, පැමිණිලිකරුත් අතර ගිවිසුම්ගත සම්බන්ධතාවක් නැත. නමුත් සාපරාධි විශ්වාසය කඩකිරීමේ දී චූදිතත් පැමිණිලිකරුත් අතර ගිවිසුම්ගත සබඳතාවක් තිබිය යුතුය. මෙහිදී පැමිණිලිකරු ලෙසින් අදහස් කරන්නේ දේපලේ හිමිකරුයි.
- මේ අනුව සාවද්ය පරිහරණය හා සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරද යන වැරදි එකම සිදුවීමක දී වුවත් සිදුවිය හැකි අතර එසේ නොවීමට ද හැක. නමුත් සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරදක දී සාවද්ය පරිහරණය කිරීමේ වරද සිදුවිය හැක. නමුත් සාවද්‍ය පරිහරණය කිරීම තුලදී සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරද සිදු නොවේ.
අධිකරණයට මුදල් ගණුදෙනු වලට අදාළව පැමිණිලි කරද්දී මේ චෝදනා දෙකම ඇතුලත් කළද, ඉහතින් දක්වන්නට යෙදුන කරුණු අනුව එම ක්‍රියාපිළිවෙත කොතරම් සාර්ථකදැයි ඔබටම හඳුනාගත හැකි වේ යැයි සිතමි.
Comments
Post a Comment