විශ්වසනීයත්වය
සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් වටිනා සාක්ෂියක් බවට පත්කිරීම සඳහා ඇති ගුණයක් ලෙස එකී සාක්ෂියේ සහ සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය හැඳින්විය හැක. කෙසේවෙතත් සාක්ෂිකරුවකුගේ ශක්නුතාවය මෙයට මූලික අවශ්‍යතාවක් වේ. ශක්නුතාවය නොමැති සාක්ෂිකරුවකුගේ සාක්ෂිය අධිකරණයට සැලකීමට ගත නොහැකි නිසා එහිදී විශ්වසනීයත්වය කරලියට නොපැමිණේ. මෙයින් අප අවබෝධ කර ගත යුතු දෙය වන්නේ ශක්නුතාවය සහ විශ්වසනීයත්වය යනු එකිනෙකට වෙනස් අංගයන් දෙකක් වන බවයි. මෙනිසා ජූරිය සහිත නඩු විභාගයකදී සාක්ෂිකරුවකුගේ ශක්නුතාවය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරද්දී විශ්වසනීයත්වය පිළිබඳව ජූරිය විසින් තීරණය කරනු ලබයි. අප විසින් සිහිතබා ගත යුත්තේ සාක්ෂිකරුවාට සාක්ෂි දීමට ශක්නුතාවය ඇතත් එම සාක්ෂියේ විශ්වසනීයත්වයක් නොමැති විට එකී සාක්ෂියේ වටිනාකමක් නොමැති වීමයි.
සාක්ෂිකරුවකුගේ විශ්වසනීයත්වයට බලපෑමක් ඇති කරන කරුණු කීපයක්ම අපට හඳුනාගත හැක. උදාහරණ ලෙස සාක්ෂිකරු සම්බන්ධව සිටින ව්‍යාපාරය, සාක්ෂිකරුගේ නරක චරිතය, සත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුට ඇති කීර්තිනාමය වැනි දේ ඒ අතර වේ. එසේම නඩුවේ පාර්ශවකරුවකුට සාක්ෂිකරුගේ ඇති සම්බන්ධය මෙන්ම තමන්ට යම් අපරාධමය වගකීමක් පැවරිය හැකි යම් කරුණක් වසන් කිරීමට දරන උත්සාහය වැනි දේ ද මේ සඳහා යොදා ගත හැක. සාක්ෂි දෙනු ලබන සිදුවීම සිදුවන අවස්ථාවේ දී හෝ සාක්ෂි ලබා දෙන අවස්ථාවේ සාක්ෂිකරු මත්ව සිටීමද සමහර අවස්ථාවලදී මේ සඳහා යොදා ගත හැක. නඩු කටයුත්තෙන් සාක්ෂිකරුට වාසියක් ලැබෙන්නේ නම් එයද විශ්වසනීයත්වය සම්බන්ධයෙන් මතු කල හැකි තත්ත්වයකි. එසේම සාක්ෂියේ විශ්වසනීයත්වයට දොස් තැබීමට පරස්පර සහ ඌණතා ලකුණු කල හැක. එසේම සාක්ෂිකරුගේ සාක්ෂියේ විශ්වසනීයත්වය මැන බැලීමට ඔහුගේ මතකය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසිය හැක (කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බොගිනිබායි එ. හිර්ජාබායී නඩුව බලන්න). එසේම නඩුවේ පාර්ශ්වයක් සාක්ෂි දීමට අපොහොසත්වීම, තමන්ට කැඳවීමට හැකි සහ අවශ්‍ය සාක්ෂිකරුවකු සාක්ෂියට නොකැඳවීම ද මෙයින් ආවරණය වේ. මෙකී සාක්ෂිකරුව අනෙක් පාර්ශ්වයටත් කැඳවීමට නොහැකි තත්ත්වයක් අැත්නම් එහි බලපෑම ඉතා වැඩිය. විශ්වසනීයත්වය සම්බන්ධයෙන් වන විටදී මෙවැනි කරුණු සිවිල්, අපරාධ භේදයකින් තොරව අදාළ වේ.
සාක්ෂිකරුවකු තමන්ට හොඳින් මතක නැති හෝ තමන්ගේ දැනුමට අදාළ නොමැති කරුණු සම්බන්ධයෙන් ලබා දෙන සාක්ෂි ද විශ්වසනීයත්වය සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරයි. එසේම දිගු කලකට පෙර සිදු වූ කරුණක් සම්බන්ධව සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවකු ඉතාමත් නිවැරදිව සාක්ෂි ලබා දෙයි නම්,(උදාහරණ ලෙස දිනය, වේලාව ආදිය නිශ්චිතව දක්වමින් සාක්ෂි ලබා දේ නම්) එවිට ද ඔහුගේ සාක්ෂිය අදාළ කර ගැනීමේදී අධිකරණය ප්‍රවේශම් විය යුතුය. මක්නිසාදයත් එය සාමාන්‍ය මිනිස් මතකයේ ස්වභාවයට වඩා වෙනස් නිසාවෙනි. එසේම සාක්ෂියට කැඳවන සාක්ෂිකරු, තමන්ව කැඳ වූ කාරණය ගැන නිවැරදිව සාක්ෂි ලබා දුන්නත්, ඒ අවස්ථාවේදීම සිදු වූ අනිකුත් සිදුවීම් ගැන සාක්ෂි ලබා දීමට නොහැකි වන්නා වූ අවස්ථාවලදී ද ඒ සාක්ෂිය දුර්වලය. නමුත් මෙවැනි විටකදී සාක්ෂිකරුගේ සාක්ෂිය අවිශ්වාසනීය යැයි කීමට නොහැක.
සාක්ෂිකරු සාක්ෂි දෙන ආකාරය අනුව සහ ඔහුගේ හැසිරීම අනුව ද විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කල හැක. එනිසාවෙනි සාක්ෂිකරුගේ හැසිරීම දැක තීන්දු ලබා දෙන පහල අධිකරණයේ තීන්දුවක් කෙරේ ඉහල අධිකරණ මැදිහත්වීම අවම වන්නේ. විශ්වසනීයත්වය සහ සාක්ෂිකරුවකුගේ හැසිරීම සම්බන්ධයෙන් අයියර් සහ අයියර්ගේ හරස් ප්‍රශ්න කිරීමේ කලාව කෘතියේ මෙන්ම වෙල්මන්ගේ හරස් ප්‍රශ්න කිරීමේ කලාව කෘතියේද කරුණු දක්වා අැත. සාක්ෂිකරුගේ හැසිරීම කෙසේවෙතත් සාක්ෂිකරු ලබා දෙන සාක්ෂිය ස්වභාවයෙන්ම විය නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් එවිට එය විශ්වාස කල නොහැක.
සාක්ෂිකරුවෙකු දැන දැනම අසත්‍ය සාක්ෂි ලබා දෙන විට "falsus in uno falsus in omnibus" ආප්තය අනුව යමින් සම්පූර්ණයෙන්ම එකී සාක්ෂිය ප්‍රතික්ෂේප කිරීමට වුවත් අධිකරණයට හැකියාව අැත. කෙසේවෙතත් වත්මන් අධිකරණ පරිචය අනුව එකී අසත්‍ය සාක්ෂියේ පිලිගත හැකි යම් සත්‍ය සාක්ෂි කොටසක් ඇත්නම් ඒ අනුව කටයුතු කිරීමටත් අධිකරණයට හැකියාව ඇත.
සාක්ෂිදෙන සාක්ෂිකරුවෙකු පාර්ශ්වයකට පක්ෂපාතීව හෝ සම්බන්ධතාවයක් දක්වන අයකු ලෙසින් හඳුනාගත්තේනම් එකී සාක්ෂි ඇගයීමේදී අධිකරණය ප්‍රවේශම් විය යුතුය. සාක්ෂියේ විශ්වසනීයත්වයට කෙලෙසකින් මෙය බලපාන්නේ ද යන්න තීරණය කිරීම අධිකරණයේ කාර්යයි.
යම් අවස්ථාවකදී සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අතර ගැටළුකාරී තත්ත්වයක් පවතින විටදී එකී ගැටළුව නිරාකරණය කිරීමේ යුතුකම ඇත්තේ අධිකරණයට ය. නමුත් එසේ ගැටුම නිරාකරණය කිරීමට නොහැකිනම් විශ්වාස කල හැක්කේ කුමන සාක්ෂිකරුගේ සාක්ෂිය ද යන්න අධිකරණය විසින් තීරණය කල යුතුය.
සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් නොදක්වන "ස්වාධීන" සාක්ෂිකරුවන් සම්බන්ධතාවය දක්වන සාක්ෂිකරුවන්ට වඩා විශ්වසනීයත්වයෙන් යුතු බව පිලිගනී. එහෙත් මෙකී පදනමම මත පමණක් සිට සාක්ෂියක විශ්වසනීයත්වය මැනිය නොහැක.
ඔබගේ අවබෝධය සඳහා කම්කරු විනිශ්චය සභාවක දී සේවයෙන් ඉවත් කල ඉල්ලුම්කරුට එරෙහිව සාක්ෂි ලබා දෙන දැනටත් සේවායෝජක වගඋත්තරකරු සමග සේවය කරන සේවකයකු විසින් ලබා දෙන සාක්ෂිය, අපසහායකයකු සාක්ෂිකරුවකු ලෙසින් කැඳ වූ විට තත්ත්වය, සාක්ෂි ආඥාපනතේ 134 වගන්තිය වැනි කරුණු හදාරන්න.
එක් සාක්ෂිකරුවකු විසින් ලබා දෙන විශ්වසනීය සාක්ෂියක් එසේ විශ්වාස කල නොහැකි සාක්ෂි ගණනාවකට වඩා බලවත් ලෙසින් සැලකීමේ වරදක් නැත. නමුත් එය අදාළ අවස්ථානුගත කරුණු මත රැඳී පවතී. සම්පූර්ණ සාක්ෂි විමසීම අවසන්වන තෙක් කුමන සාක්ෂිය සත්‍ය ද කුමක් විශ්වාස කල නොහැකිද යන්න පිලිබඳව තීරණයකට ඒමට අධිකරණයට නොහැක. එසේම තමන්ගේ සේවාදායකයා හෝ සාක්ෂිකරු/සාක්ෂිය, විශ්වසනීයත්වය තැබිය හැක්කක් නොවන බව නීතීඥවරුන්ට කිව නොහැක.
Comments
Post a Comment