1999 අංක 37 දරණ නඩත්තු පනත
“1999 අංක 37 දරණ නඩත්තු පනත ද, මහෙස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය ලබා දෙන පනතකි. මේ පනත යටතේ වන ඉල්ලීමකට ආඥාවක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බලය ඇත. පනතට අනුව අවස්ථා 4 කදී මහෙස්ත්‍රාත්වරයාට නඩත්තු ඉල්ලීම් ඉදිරිපත් විය හැක. ඒ පහත ලෙසිනි.
1. තමාට තමා නඩත්තුව කරගෙන යා නොහැකි කලත්‍රයකු නඩත්තු කිරීම, ප්‍රමාණවත් වත්කමක් ඇති අනෙක් කලත්‍රයා විසින් නොසලකා හරින හෝ අයුක්ති සහගත ලෙස ප්‍රතික්ෂේප කර ඇති සහ ඉල්ලීම කරන කලත්‍රයා අනාචාරයේ ජීවත් නොවන හෝ කලත්‍රයන් දෙදෙනා අන්‍යොන්‍ය කැමැත්තෙන් වෙන්වී නොසිටින විටෙක.
2. තමාට තමා නඩත්තු කර ගත නොහැකි විවාහයෙන් උපන් හෝ විවාහයකින් නූපන් හෝ දරුකමට හදාගත් හෝ වයස අවුරුදු 18 ට නොපැමිණි ළමයකු, ප්‍රමාණවත් වත්කමක් ඇති මව්පියන්ගෙන් විසින් හෝ ඉන් කෙනකු විසින් නොසලකා හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන හෝ අවස්ථාවකදී,
3. තමාට තමා නඩත්තු කර ගත නොහැකි විවාහයෙන් උපන් හෝ නූපන් හෝ දරුකමට හදාගත් හෝ වයස 18 ට වැඩි නමුත් අවු. 25 ට අඩු දරුවකු නඩත්තු කිරීම, ප්‍රමාණවත් වත්කමක් ඇති මව්පියන්ගෙන් කෙනකු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන හෝ නොසලකා හරින හෝ අවස්ථාවකදී,
4. තමාට තමා නඩත්තු කරගත නොහැකි, ජීවිකාවක් කර ගැනීමට හෝ ඔහුට හෝ ඇයට ප්‍රමාණවත් ලෙස යැපීමට නොහැකි වන පරිදි ශාරීරික හෝ මානසික වශයෙන් ආබාධිත තත්ත්වයකට පත්ව ඇත්තා වූ හෝ එසේ පත්වන්නා වූ හෝ විවාහයෙන් උපන් හෝ නූපන් නැතහොත් දරුකමට හදාගත් ඕනෑම වයසක දරුවකු නඩත්තු කිරීම, ප්‍රමාණවත් වත්කමක් ඇති මව්පියන්ගෙන් කෙනකු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන හෝ නොසලකා හරින හෝ අවස්ථාවකදී ,
(ඉහත අවස්ථා සම්බන්ධයෙන් පනතේ 2(1)(2)(3)(4) වගන්ති බලන්න)
මින් මුල් අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා, ඉල්ලුම්කරු විසින් වගඋත්තරකරු තමන්ව නඩත්තු කිරීම නොසලකා හැරි බව හෝ අයුක්ති සහගත ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව ඔප්පු කරනු ලැබ ඇත්දැයි විමසිය යුතුය. යම් හෙයකින් එසේ ඔප්පු කර ඇති බවට ඔහු සෑහීමට පත් වේ නම්, ඒ තැනැත්තාගේ වත්කම් හා අවස්ථානුගත කරුණුද, ආදායමද සැලකිල්ලට ගෙන ඉල්ලුම්කරුව නඩත්තු කිරීමට සුදුසු යැයි සලකනු ලබන යම් මාසික අනුපාතයක් මත මාසික දීමනාවක් ගෙවීමට ආඥා කල හැක.
අනිකුත් අවස්ථාවල දී මහෙස්ත්‍රාත්වරයා විසින් ඉල්ලුම්කරු විසින් වගඋත්තරකරු නඩත්තු කිරීම නොසලකා හැරි බව හෝ ප්‍රතික්ෂේප කිරීම ඔප්පු කර ඇත්ද යන්න සලකා බැලිය යුතුය. ඒ අනුව, මව්පියන්ගේ ආදායම සහ ළමයාගේ වත්කම් හා අවස්ථානුගත කරුනු සැලකිල්ලට ගෙන සුදුසු අනුපාතයකින් මාසික දීමනාවක් ගෙවීමට ආඥා කල හැක.
නමුත් යම් හෙයකින් ළමයා විවාහයෙන් නූපන් දරුවකු නම් මව්පියභාවය ප්‍රභල සාක්ෂි මගින් තහවුරු වීමක් අවශ්‍යය.
ඉහත කී තෙවන අවස්ථාවේදී සහ සිව්වන අවස්ථාවේදී ද එම තත්ත්වයට අදාල වේ.
*. මින් ළමයෙකු, වියපත් දරුවකු හෝ ආබාධිත දරුවකු නඩත්තු කිරීම සඳහා වන ඉල්ලීමක දී පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම මත හෝ අධිකරණයේ මෙහෙයවීම මත, මව්පියන්ගෙන් ඉල්ලීමට නොමැති තැනැත්තා පාර්ශ්වකරුවකු ලෙස එක් කරනු ලැබිය හැකි අතර ආඥාව මව්පියන්ගෙන් එක් තැනැත්තකුට හෝ දෙදෙනාටම බලපාන ලෙස ලබා දීමට හැක.
*. අධිකරණ පාත්‍රතාවය සහ ඉල්ලුම් කල හැක්කේ කවුරුන්ද යන්න සම්බන්ධව පනතේ 4 වගන්තිය බලන්න.
නඩත්තු ඉල්ලීමක් දිව්රුම් ප්‍රකාශයකින් සනාථ කලයුතු අතර, එම දිව්රුම් ප්‍රකාශයේ දක්වනු ලැබ ඇති කරුණු ප්‍රමාණවත් බවට මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත්වන්නේ නම්, එකී ඉල්ලීම ප්‍රදානය නොකිරීමට හේතු දක්වන ලෙස දිව්රුම් ප්‍රකාශයේ පිටපතක්ද සමග වගඋත්තරකරුට සිතාසි නිකුත් කල යුතුය (11 (1) වගන්තිය ).
එසේම මුල් අවස්ථාවේදීම, එනම් වගඋත්තරකරු නොමැති විටක වුවද මාසික දීමනාවක් ගෙවීම සඳහා අතුරු ආඥාවක් කිරීමට පනතේ 11 වගන්තියේ අතුරු විධානයෙන් මහෙස්ත්‍රාත්වරයාට බලය ලබා දී ඇති අතර එවැනි අතුරු ආඥාවක් තුලින් වෙනස් කරනු ලැබුවහොත් හෝ ප්‍රත්‍යාදීෂ්ඨ කරනු ලැබුවහොත් මිස ඉල්ලීම පිළිබඳව ආඥාවක් නිකුත් කරන තෙක් බලාත්මකව තිබිය යුතුය. එසේම එම අතුරු ආඥාව ඉල්ලීම ඉදිරිපත් කරන දින සිට හෝ මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලබන යම් සෙසු දිනයක සිට බලාත්මක විය යුතුය.
නඩත්තු ඉල්ලීම පිළිබඳව පරික්ෂණයකට නියම කල විට, 12 (2) උප වගන්තියට යටත්ව (වගඋත්තරකරුනොමැති වීමේ තත්ත්වය) වගඋත්තරකරුගේ ඉදිරිපිට දී හෝ ඔහු පුද්ගලිකව පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති විට ඔහුගේ නීතීඥවරයා ඉදිරිපිට දී සාක්ෂි මෙහෙය විය යුතු අතර, කලත්‍රයන්ට අනෙක් කලත්‍රයකුට එරෙහිව සාක්ෂි ලබා දිය හැක.
ඒ ආකාරයට සාක්ෂි ලබා දීමෙන් පසු මහේස්ත්‍රාත්වරයාට නඩත්තු ඉල්ලීම පිළිගනිමින් හෝ ප්‍රතික්ෂේප කරමින් ආඥාවක් කල හැක. එම ආඥාව හෝ එම ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා වු ඉල්ලීමක් මුද්දර ගාස්තුවෙන් නිදහස් අතර, සිතාසි ද මුද්දර ගාස්තුවෙන් නිදහස්ය. ආඥාව මහේස්ත්‍රාත්වරයා විසින් අත්සන් යොදා සහතික කල යුතු අතර එහි සහතික පිටපතක් ආඥාව කරනු ලැබු තැනැත්තාට හෝ එම තැනැත්තන්ගේ සැබෑ භාරකාරත්වය දරන්නෙක් වේ නම් ඔහුට හෝ දීමනාව ගෙවිය යුතු යම් තැනැතත්තකු වේ නම් ඔහුට ද ගෙවීමකින් තොරව භාර දිය යුතුය. ආඥාවේ ප්‍රකාරව ගෙවීම් පැහැර හැරිය බව හා පාර්ශ්වකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු වූ බවට නිශ්චිත වූ පසුව අධිකරණය විසින් පනතේ 5 වගන්තිය හෝ 6 වගන්තිය යටතේ කටයුතු කරගෙන යා යුතුය.
නඩත්තු ගෙවීම තැපැල් කාර්යාලය මගින් හෝ බැංකුව මගින් ගෙවීමට අවසර ලබා දීමට මහේස්ත්‍රාත්වරයාට පනතේ 7 වන වගන්තියෙන් බලය ලබා දී තිබේ. එසේම එවැනි අවසරයක් ලබා දී තිබියදී එය පැහැර හැරියහොත් වගඋත්තරකරුවකුට ලබා දිය හැකි දඬුවම් සහ ඒ සම්බන්ධ අනිකුත් කරුණු සඳහා 7 (2) වගන්තිය බලන්න.
පෙර කී 5 වන වගන්තියට අනුව වගඋත්තරකරු විසින් ආඥාවට අනුව කටයුතු කිරීම (අතුරු ආඥාවක් ද අදාළ ය) නොසලකා හරින විටක, ආඥාව කඩකරන සෑම විටකම, ගෙවීම පැහැර හැර ඇති එක් එක් මාසයේ සම්පුර්ණ දීමනා හෝ ඉන් යම් කොටසක් වෙනුවෙන්, එක් මාසයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි කාලයකට බරපතල වැඩ ඇතිව හෝ නැතිව වගඋත්තරකරු බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩන නියමයක් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. නමුත්, නඩත්තු ආඥාව යටතේ වූ යම් ගෙවීමක් ලැබීමට හිමිකම ඇත්තා වූ, යම් තැනැත්තකු ඒ පිළිබඳව ඉල්ලීමක් කර ඇත්නම් පෙර ලෙස බන්ධනාගාර ගත කිරීමට පෙර සාමාන්‍ය ලෙස මහේස්ත්‍රාත් අධිකරණවල දඩ අය කර ගන්නා විධිවිධාන අනුව කටයුතු කිරීමට පනතේ 5 වගන්තියෙන් බලය ලැබී ඇත.
එසේම නඩත්තු ආඥාවක් අනුව දීමනාවක් ලැබීමට හිමිකම ඇති අයකුට, මාස 02 ක කාලයකට වඩා වැඩි කාලයක් එම දීමනාව ලැබී නොමැති විටක, එසේ නොලැබී ඇත්තේ වගඋත්තරකරුගේ පැහැර හැරීම නිසා බව මහේස්ත්‍රාත්වරයාට පෙනී යන්නේ නම් (පරික්ෂණයකින් පසු) පනතේ 6 (1) වගන්තිය යටතේ වැටුප් තහනම් කිරීමේ ආඥාවක් සිදු කල හැක. එම ආඥාව මඟින්, එහි සඳහන් කරන කාලයකට, ආඥාවේ සඳහන් කරන යම් මුදලක් වගඋත්තරකරුගේ වැටුපෙන් අඩුකර, අධිකරණය විසින් විධාන කරන ආකාරයට වහාම ගෙවිය යුතු බවට වගඋත්තරකරුගේ සේවායෝජකයා ලෙස පෙනී සිටින තැනැත්තකුට නියම කල හැක. මෙම මුදල නියම කිරීමේ දී මහේස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකරුගේ සම්පත් හා අවශ්‍යතා සහ නඩත්තු ගෙවීම පැහැර හරින ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාගේ අවශ්‍යතා ද සැලකිල්ලට ගනු ලැබිය යුතු ය. මෙහිදී වැටුප යන්නට, සියලු දීමනා සහ වේතන ඇතුළත් වේ.
කෙසේවෙතත් ඉහත ආකාරයට ආඥාවක් කිරීමට පෙර ඒ ආකාරයට ආඥාවක් සිදු නොකළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව හේතු ඇතොත් දක්වන ලෙසට සහ දක්වා ඇති කාලය තුළ වගඋත්තරකරුගේ වැටුප් විස්තරය සපයන ලෙස එකී සේවායෝජකයා ලෙසින් සලකන තැනැත්තාට නියෝග කළ යුතු ය.
මේ ආකාරයට නිකුත් කළ වැටුප තහනම් කිරීමේ ආඥාවක් ක්‍රියාත්මක වන්නේ එම ආඥාව ලද තැනැත්තාට එය ලැබී දින 14 ක් ගත වීමෙන් පසුව ය (6 (5) වගන්තිය).
මෙකී 6 (1) වගන්තිය යටතේ කළ ආඥාවකට එරෙහිව අභියාචනා කළ හැක්කේ වූවද, එම අභියාචනය පවතිද්දී වුවත් මහේස්ත්‍රාත්වරයාට නඩත්තු නඩුව පවත්වා ගෙන යා හැකිය.
අනෙක් අතට වගඋත්තරකරුවකුට ද මහේස්ත්‍රාත්වරයා විසින්, (1) ඔහුට සිටින සේවායෝජකයන්ගේ නම් සහ ලිපින, (11) ඔහුගේ දැනුමට අනුව අඩුකිරීම් ද ඇතුළුව ඔහුගේ වැටුප, (111) ඔහුව හඳුනාගැනීමට සේවායෝජකයන්ට අවශ්‍ය විය හැකි විස්තර සපයන ලෙසට ද ආඥා කළ හැක (6 (2) (ආ) වගන්තිය). ඒ අනුව සපයන ලද ප්‍රකාශයක් නඩත්තු නඩුවේ සාක්ෂියක් ලෙසින් පිළිගන්නා අතර, ඊට පටහැනි තත්ත්වයක් ඔප්පු කරනු ලැබූ විටදී හැර මෙකී කරුණු සම්බන්ධයෙන් බැලූ බැල්මට පිළිගත හැකි සාක්ෂියක් වන්නේ ය.
යම් හෙයකින් අදාළ නඩත්තු ආඥාවට අනුව කටයුතු කිරීමට වගඋත්තරකරුට නොහැකිව ඇත්තේ ඕනෑකමින්ම පැහැර හැරීමකින් හෝ නොසැලකිල්ල නිසාවෙන් නොවන බව මහේස්ත්‍රාත්වරයාට පෙනී යන්නේ නම් එවිට වැටුප් තහනම් කිරීමේ ආඥාවක් කරනු නොලැබිය යුතු වේ. එසේම වගඋත්තරකරුගේ හෝ නඩත්තු දීමනාව ලැබීමට හිමිකම ඇති තැනැත්තාගේ ඉල්ලීම පිට වැටුප තහනම් කිරීමේ ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. එසේ වෙනස් කරනු ලැබූ විටක දී සේවායෝකයා හෝ ඒ ආඥාව ලද තැනැත්තා වෙනස් කරන ලද ආඥාවට අනුව කටයුතු කළ යුතු වේ.
මේ ආකාරයට වැටුප් තහනම් කිරීමේ ආඥාවක් කර තිබිය දී හෝ එය කිරීමට පෙර අදාළ වැටුප හිමි තැනැත්තාගේ වැටුප තහනම් කිරීමට තවත් ආඥාවක් පවතින්නේනම්, සේවායෝජකයා එම ආඥාවට අනුව කටයුතු කිරීමට පෙර මෙම ආඥාව අනුව කටයුතු කළ යුතු වේ. එසේම වැටුප තහනම් කර ගෙවීමට සේවායෝජකයකු කටයුතු කරන විට ඒ අඩු කරන මුදල නිශ්චිතව සඳහන් කරමින් ප්‍රකාශයක් වගඋත්තරකරුට වහාම ලබා දීමට සේවායෝජක කටයුතු කළ යුතු ය.
මෙවැනි වැටුප් තහනම් කිරීමේ ආඥාවකට අනුව ක්‍රියාකිරීම පැහැර හරින සේවායෝජකයකු වරදක් කරන අතර වරදකරු කළ විටදී රු.500/- කට නොවැඩි දඩයකට මුල් අවස්ථාවේ දී ද පසු අවස්ථාවලදී රු.1,000/- කට නොවැඩි දඩයකට යටත් කළ යුතු අතර තමා විසින් එම ආඥාවට අනුකූලව ක්‍රියා කිරීම සඳහා සියලු යුක්ති සහගත පියවර ගනු ලැබී යැයි එම සේවායෝජකයා ඔප්පු කරන්නේනම් එය විත්ති වාචකයක් ද වන්නේ ය (6 (11) වගන්තිය).
නඩත්තු ආඥාවක් කර තිබියදී එය අවලංගු කිරීම හෝ සංශෝධනය කිරීම සඳහා වන බලය මහේස්ත්‍රාත්වරයාට පනතේ 8 වන වගන්තියෙන් ලබා දී තිබේ.
නඩත්තු ආඥාවකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින්ම එම ආඥාවේ ක්‍රියාකාරීත්වය නතර වන්නේ නැත. ඒ සඳහා ම පළාත්බද මහාධිකරණයෙන් විධානයක් කළ යුතු වේ.
මේ පනත යටතේ වන ඉල්ලීමක් හෝ අභියාචනයක් හෝ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අවස්ථාවෝචිත පරිදි ඒ ඉල්ලීම පිළිබඳ හෝ ඒ ඉල්ලීම සහ අභියාචනය පිළිබඳව හෝ නඩු ගාස්තු සියල්ල හෝ ඉන් යම් කොටසක් හෝ ගෙවන ලසෙ පාර්ශ්වකරුවන්ගෙන් කවර හෝ පාර්ශ්වකරුවකුට අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකි අතර, එවැනි ආඥාවක් යටතේ අයවීමට ඇති මුදල, එය දඩයක් වූවාක් මෙන් අයකර ගනු ලැබිය යුතු ය. ඒ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් එක් මාසයක් නොඉක්මවන කාලයකට බරපතල වැඩ නොමැති බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් නියම කරනු ලැබිය යුතු ය.”
අපරාධ නීති, e අත් පොත
Comments
Post a Comment