Skip to main content

විවෘත අධිකරණයේ දී හැසිරීම - සාක්ෂිකරුවන්ට සහ එදිනෙදා අධිකරණයට පැමිනෙන්නන්ට.


විවෘත අධිකරණයේ දී හැසිරීම - සාක්ෂිකරුවන්ට සහ එදිනෙදා අධිකරණයට පැමිනෙන්නන්ට.


ඔබ ඇලන් පේටන් විසින් රචිත Cry, the Beloved Country නවකථාව කියවා ඇත්ද? ඔහු විසින් දකුණු අප්‍රිකානු අධිකරණ ශාලාවක විස්තරයක් එහිදී පහත ලෙසින් දක්වයි.

“You may not smoke in this Court, you may not whisper or speak or laugh. You must dress decently, and if you are a man, you may not wear your hat unless such is your religion. This is in honour of the Judge . . . and in honour of the Law behind the Judge, and in honour of the People behind the Law.”

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන අධිකරණ බලය පාර්ලිමේන්තුව මඟින් කලින් කලට පිහිටවන අධිකරණ පද්ධතියක් මඟින් ක්‍රියාත්මක වේ. එය පිහිටුවීමෙන් පසුව ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. ඒ තුළට කිසිවකුට මැදිහත් විය නොහැක. ලංකාවද නීතියේ ආධිපත්‍යය පිළිගෙන කටයුතු කරයි. ඒ අනුව අතීතයේ පටන්ම අධිකරණ පද්ධතියට රටවැසියන්ගෙන් ලැබී ඇත්තේ වන්දනීය පිළිගැනීමකි. එය අදටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ. උදාහරණයකට, අධිකරණ ශාලාවක සිටින ඕනෑම කෙනකු අධිකරණය ඇමතීමට පෙර හිස නමා ගෞරව කරයි. විනිසුරුවරයා ආරම්භයේ දී ආචාර කර අධිකරණයේ කටයුතු අරඹන අතර අධිකරණයේ කටයුතු අවසානයේ නැවත ආචාර කර පිටව යයි. සමහරක් සාක්ෂිකරුවන් අදත්, සාක්ෂි දීමට පෙර ඔවුන්ගේ පා වැසුම් ගලවා සාක්ෂි කූඩුවට ගොඩ වෙයි. සමහර සාක්ෂිකරුවන් කිසිවකුගේ උගැන්වීමකින් තොරවම විනිසුරුවරයා අමතන්නේ ‘හාමුදුරුවනේ’ ලෙසිනි. මිනිසුන්ගේ මෙවැනි ගෞරවයක් විදහා දැක්වෙන අනෙක් ස්ථානය වන්නේ පිළිගත් පූජා ස්ථානයි. එනිසාවෙන්ම යම් අවස්ථාවලදී නීති සාහිත්‍යයේදී මෙන්ම සාමාන්‍ය සාහිත්‍යයේදී අධිකරණය, ‘යුක්තියේ දේවාලය ලෙසින් හැඳින්වේ. එවැනි පිළිගැනීමක් ලැබෙන අධිකරණයේ දී හැසිරිය යුතු ආකාරය පිළිබඳව නවකථාවල, ටෙලිනාට්‍යවල, චිත්‍රපටවල නොයෙක් අවස්ථාවලදී නිරූපනය වන අයුරු මා දැක ඇත. ඒ සියල්ල තුලින් පෙන්වන්නේ අධිකරණයට අපගේ ඇති ගෞරවයයි. එම ගෞරවය විනිසුරුවරයාටම පමණක් නොවන අපේ අධිකරණ පද්ධතියට සහ නීතියට ලැබෙන ගෞරවයකි.

නීතීඥවරුන්ට නීතියෙන්ම පිළිගත් හැසිරීම් පද්ධතියක් හඳුන්වා තිබේ. ඒ තුළදී අධිකරණයට පමණක් නොව විරුද්ධ පාර්ශ්වයේ නීතීඥවරුන්, සහෝදර නීතීඥවරුන්, සේවාදායකයින් ආදී පාර්ශ්වයන් සමඟ සම්බන්ධතාවය පවත්වන ආකාරය විධිමත් කර ඇත. කෙසේවෙතත් සාක්ෂිකරුවන්ට සහ විවෘත අධිකරණයට පැමිණෙන්නන්ට එවැනි පිළිගත් සහ විධිමත් හැසිරීම් පද්ධතියක් නොමැත. එය අධිකරණයේ විනිසුරුවරයා විසින් ඒ ඒ අවස්ථාවලදී පවත්වාගෙන යනු ලබන පාලනයට යටත් වේ. 

ඒ අනුව විවෘත අධිකරණයේ විධිමත්භාවය සහ ගෞරවය පවත්වාගෙන යාම සඳහා විශාල බලයක් විනිසුරුවරයකුට ලැබී ඇති අතර සාක්ෂිකරුවකුට පමණක් නොව නරඹන්නෙකුට වුවද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීමට මේ තුළ බලය ඇත. නමුත් ඒ අධිකරණයේ ගෞරවයට සහ නඩු කටයුත්තට හානි වන කටයුත්තක යෙදෙන්නේ නම් ය. එනිසා අධිකරණයට පැමිණෙන ඕනෑම අයකු සාමාන්‍ය මිනිසකු හැසිරෙන මට්ටමින් සහ ගෞරවාන්විත භාවයෙන් කටයුතු කිරීමට උත්සුක වීම වැදගත් වේ. අධිකරණයට පැමිණෙන ඕනෑම කෙනකු හැසිරෙන ආකාරය සහ භාවිතා කරන වචන ඔහුගේ ප්‍රතිරූපය බැලුබැල්මට විදහා දක්වන අතර අධිකරණයට දක්වන ගෞරවය මැනීමේ මූලික අංගයක් ලෙසින් එය ක්‍රියාත්මක වේ.

සාමාන්‍යයෙන් අධිකරණයකට පැමිණෙන ඕනෑම තැනැත්තකු විසින් සිහි තබා ගන්නවානම්, වැදගත් විය හැකි කරුණු කීපයකි. ප්‍රධාන වශයෙන්ම අධිකරණ කටයුතුවලට අසාධාරණ සහ අහේතුක ලෙසින් කරදරයක් වන ආකාරයේ හැසිරීමක් ඇති කිරීමෙන් වැළකීම ඒ අතරින් ප්‍රධාන වේ. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වූ විට සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේදයක් ඇත. කැමරා, වීඩියෝ හෝ ඕඩියෝ රෙකෝඩන ඔවුන්ට වුවමනා වුවමනා ආකාරයට අධිකරණයේ දී භාවිතා කිරීමට නොහැකි නමුත් වාර්තාකරණයේ යෙදීමට කිසිඳු බාධාවක් නැත. කෙසේවෙතත් අධිකරණ කාර්යයට කුමනාකාරයෙන් හෝ බාධා කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙසින් සැලකේ. අවශ්‍යවේනම් එවැනි විටක එසේ හැසිරෙන තැනැත්තා අධිකරණයෙන් ඉවත් කිරීමට අධිකරණය විසින් කටයුතු කරයි. අසල සිටින්නන් සමඟ සාකච්ඡා, විහිලු තහලු, කෙඳිරිගෑම්, අධිකරණයේ කටයුතු වලට බාධාවන ආකාරයෙන් ඈණුම් ඇරීම්, පොත් පත් බිමදැමීම්, පුවත්පත් බැලීම්, දුරකථන නාදවීමට සැලැස්වීම්, නින්දට පත්වීම, නින්දෙන් ගෙරවීම වැනි දේ අධිකරණයකදී සිදු කිරීම සුදුසු නැත. ඔබ නොදන්නවා වුවත් විනිසුරුවරයකු බවට පත්වීම ඉතා වැදගත් සහ අගනා කාර්යයකි. ඒ මඟින් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් පාලනය කිරීමට හැකියාව ලැබේ. එය සියල්ලන්ටම කළ හැක්කක් නොවේ. ඒ සඳහා පුරවැසියන් අතරින් තෝරා ගනු ලබන්නේ ඉතාමත් සීමිත පිරිසකි. ඒ මඟින්ම ඔවුන් යම් ආකාරයක ගෞරවනීය තත්ත්වයකට පත් වේ. එසේම විනිසුරුවරුන්ට පමණක් නොව අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන, විවාද කරන නීතීඥවරුන්ට මෙන්ම නඩුවේ පාර්ශ්වකරුවන්ට ද ගරු කිරීම අවශ්‍ය කරුණකි. මෙවැනි පසුබිමක දී සාමාන්‍යයෙන්,

  • ·         නිශ්ශබ්දව විවෘත අධිකරණයට පැමිණීම සහ පිටවීම 
  • ·         අවධානයෙන් ඇහුම්කන් දීම සහ නැරඹීම 
  • ·         අනවශ්‍ය ශබ්ද කිරීම් කිරීමෙන් වැළකීම 
  • ·         ආහාර ද්‍රව්‍ය හෝ සිසිල් බීම වැනි දේ විවෘත අධිකරණයට රැගෙන ඒමෙන් වැළකීම 
  • ·       අධිකරණයේ වැඩ කටයුතු පැවැත්වෙන අවස්ථාවේදී මිතුරු සාකච්ඡා පැවැත්වීම වැනි දෙයින්          වැළකීම. ඔබට යමක් නොවැටහෙන්නේ නම් සහ ඔබට යමක් කීමට ඇත්නම් එය විවේක කාලය ලැබෙන තුරු ප්‍රමාද කරන්න.  
  • ·    විවෘත අධිකරණයට පැමිණි පසු, අසනීපයක් හෝ අපහසුතාවක් ඇත්නම් මිස අධිකරණයෙන් පිටව නොයන්න.
  • ·         කිසිවක් විසි නොකරන්න.
  • ·         පිටේ එල්ලා යන බෑග් සහ ජැකට්ටු වැනි දේ අධිකරණයට රැගෙන ඒමෙන් වළකින්න.
  • ·         අධිකරණයට දුරකථන රැගෙන ඒමෙන් වළකින්න. රැගෙන එනු ලැබූවත් පාවිච්චියෙන් වළකින්න. 
  • ගැලපෙන ඇඳුම් පැලඳුමින් සැරසී පැමිණෙන්න. එසේම හිස් වැසුම් පැළදීමෙන් වළකින්න (ආගමික විශ්වාසයන් මත හැර).
 වැනි කරුණු වැදගත් වේ.

අධිකරණ පොලිස් නිලධාරිවරයා අධිකරණය තුළ විනය ආරක්ෂා වන පරිදි කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරයි (පොලිස් දෙපාර්තමේන්තු නියෝග  සී 23). එසේම අධිකරණයේත් ඒ අවටත් සාමය පවත්වා ගැනීම උසාවි පොලිස් නිලධාරිවරයාගේ කාර්යයි. එසේම තෝල්කවරයා ද යම් යම් අවස්ථාවල ඒ සඳහා මැදිහත් වේ. මෙනිසා ඔවුන් විසින් දෝෂයක් පෙන්වා දුන්විට ඒ පිළිබඳව හොඳින් කල්පනා කර ප්‍රතිචාර දක්වන්න.

අධිකරණ කටයුතු ආරම්භ කිරීමට විනිසුරුවරයා පැමිණෙනවිට එක්කෝ අධිකරණ පොලිස් නිලධාරිවරයා විසින් නැත්නම් ඝෝෂක විසින් ඒ පිළිබඳව දැනුම් දේ. එවැනි විටක සියලු දෙනාම අසුන්වලින් නැඟිටීමටත් කටයුතු කළ යුතුය. එක්කෝ විනිසුරුවරයා අසුන් ගත් විට නැත්නම් නිලධාරියකු විසින් දැනුම් දුන් විට පමණක් නැවත අසුන් ගත හැක. එසේම අධිකරණ කටයුතු අවසන් කරන විට හෝ කල් තබන විටදී ද මේ ආකාරයෙන් ම කටයුතු කළ යුතු වේ.

මෙකී කරුණු නීතියෙන් නියම කර ඇති දේවල් නොවේ. නමුත් අධිකරණයේ විනය සහ ගෞරවය පවත්වාගෙන යාමට ඉවහල් විය හැකි කරුණු ය. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අධිකරණයට පැමිණෙන නඩු කියන්නන් ඇතුලු සියලු දෙනාටම වැදගත් වනු ඇත.



Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...