මේ වන විට ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. සාමාන්‍ය දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා කටයුතු කිරීමට වඩා වෙනස් ස්වභාවයක් සුළු හිමිකම් අධිකරණ භාවිතාවේ දී දක්නට ලැබෙන නිසා මෙම ලිපිය ඒ පිළිබඳව කෙටි විමසුමක් කිරීමට සම්පාදනය කළෙමි.
සුළු හිමිකම් අධිකරණය
2022 අංක 34 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතෙන් සුළු හිමිකම් අධිකරණය හඳුන්වා දෙයි. මෙහි ඇසෙන නඩු සිවිල් නඩු වේ. පනතේ 29අ වගන්තියට අනුව අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන නඩු අසා තීන්දුවක් ලබා දීමේ මුල් අවස්ථා අධිකරණ බලය ඇත්තේ සුළු හිමිකම් අධිකරණය වෙත ය. එහි කාර්ය පටිපාටිය, 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත මඟින් විධිමත් කර තිබේ. 2022.12.15 දිනැති අංක 2310/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව 2023.01.01 දින සිට සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. මෙකී නඩු, නඩු කටයුත්ත ඇරඹී මාස 18 ක් තුළ අවසන් කිරීමට සෑම උත්සාහයක්ම සුළු හිමිකම් අධිකරණය විසින් දැරිය යුතු ය.
සුළු හිමිකම් අධිකරණයේ පැවරෙන නඩු
පෙර කී ලෙස අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන කාරණා සඳහා නඩු පැවරීම සිදු කළ යුතු වන්නේ සුළු හිමිකම් අධිකරණයේ ය. එකී කරුණු වන්නේ,
1. මුදල් ආපසු අයකර ගැනීම සඳහා පවරනු ලබන යම් නඩුවක් (අනතුරක දී සිදු වූ අලාභ අයකර ගැනීම සඳහා හෝ පෞද්ගලික හානි හෝ වෙනත් යම් සමාන වර්ගයක නඩුවක් ඇතුළුව ණයක් හෝ ගාස්තුවක් හෝ ගෙවීමක් හෝ අලාභයක් හෝ හිමිකම්පෑමක් ලෙස),
2. චංචළ දේපළ නැවත අත්කර ගැනීම සඳහා පවරනු ලබන යම් නඩුවක්,
3. 1 සහ 2 වන අයිතමයේ නිශ්චිතව සඳහන් කරනු ලබන යම් නඩු නිමිත්තක් සම්බන්ධයෙන් ප්‍රතිහිමිකම්පෑමක් සඳහා පවරනු ලබන යම් නඩුවක්,
4. වෙනත් යම් නීතියක් මඟින් එයට පවරනු ලබන වෙනත් යම් අධිකරණ බලයක්.
කෙසේවෙතත් අධිකරණ සංවිධාන පනතේ 29අ (2) වගන්තිය අනුව එවැනි නඩුවක වටිනාකම, පොළිය හැර, රු.1,500,000/- ක මුදල් ප්‍රමාණය හෝ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් අමාත්‍යවරයා විසින් කලින් කල නියම කරනු ලැබිය හැකි වෙනත් යම් මුදල් ප්‍රමාණයක් නොඉක්මවනු ලැබිය යුතු වේ. මේ සම්බන්ධයෙන් දැනට ගැසට් නිවේදනයක් නොමැති නිසා රු.1,500,000/- ක වටිනාකම මූල්‍ය සීමාව වේ.
යම් හෙයකින් එක් එක් නඩු නිමිත්තේ වටිනාකම එම මුදල නොඉක්මවන අවස්ථාවකදී, පැමිණිලිකරු විසින් එකම පාර්ශ්ව අතර පවතින එකම ක්‍රියාවක් හෝ ගනුදෙනුවක් තුළින් උපචිත වන නඩු නිමිති දෙකක් හෝ වැඩි ගණනක් එක් කරනු ලැබිය හැකි ය.
පැමිණිල්ල
සුළු හිමිකම් අධිකරණයක නඩුවක් පැවරීම පැමිණිල්ලකින් සිදු කළ හැකි ය. ඊට අදාළ ආකෘතිය සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනතේ (මින් ඉදිරියට පනත ලෙසින් හඳුන්වනු ලබන) උපලේඛනයේ 1 වන ආකෘතියේ දැක් වේ. පනතේ 7(1) වගන්තියට අනුව පැමිණිල්ල එම ආකෘතියේ විය යුතු අතර යථා පරිදි මුද්දර අලවන ලද්දක් විය යුතු ය. මුද්දර සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන නීතිය අනුව කටයුතු කරනු ලැබිය හැකි ය. එසේම පැමිණිල්ල, පැමිණිලිකරු විසින් හෝ තමාගේ ලියාපදිංචි නීතීඥවරයා විසින් ගොනු කරනු ලැබිය හැක. ඒ අනුව පෙරකලාසිය සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධාන අදාළ වේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ දී එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දිව්රුම් ප්‍රකාශයක් ගොනු කරනු ලැබිය යුතු අතර තමුන්ගේ ඉල්ලීම තහවුරු කිරීමට අදාළ තමුන්ගේ සන්තකයේ හෝ බලය යටතේ ඇති සියලු ලේඛනමය සාක්ෂි (සාධන පත්‍ර, ගිවිසුම්, එකඟවීම්, විනිමය බිල්පත්, පොරොන්දු නෝට්ටු, චෙක්පත් ආදී) ඒ සමඟ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.
මෙසේ ඉදිරිපත් කරන පැමිණිල්ල පනතට අනුකූල නොවේනම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46 වගන්තියේ විධාන ප්‍රකාරව සංශෝධනයට ලබා දීම හෝ ප්‍රතික්ෂේප කිරීමට විනිසුරුවරයාට බලය තිබේ.
යම් හෙයකින් පැමිණිල්ල භාර ගත හොත් එවිට පනතේ උපලේඛනයේ අංක 2 ආකෘතියෙන් සිතාසි නිකුත් කරනු ලැබිය යුතු වේ. සිතාසි බාර දීම සම්බන්ධයෙන් සිවින් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අදාළ කර ගත හැකි වේ.
විත්තිකරු සහ උත්තරය
සිතාසි ලද විත්තිකරු නියමිත දින අධිකරණයේ පෙනී සිටියහොත් හා පැමිණිල්ලෙන් කර ඇති ඉල්ලීම ඔහු පිළිගන්නේ නම්, එකී ඉල්ලීම පිළිගන්නේ ද නැද්ද යන්න අධිකරණය විසින් විත්තිකරුගෙන් විමසිය යුතු ය, එය වාර්තා කොට පැමිණිලිකරුගේ වාසියට විත්තිකරුට එරෙහිව නඩු තීන්දුවක් ඇතුළත් කළ යුතු ය. විත්තිකරු මෙසේ පිළිගැනීමක් කරන්නේ නම් එය නීතීඥවරයකු විසින් විත්තිකරුගේ අත්සන සහතික කර ඇති ලේඛනයකින් සිදු කළ යුතු වේ.
යම් හෙයකින් විත්තිකරු පැමිණිල්ල පිළිනොගන්නේ නම් ඔහුට උත්තරයක් ගොනු කළ හැකි අතර එය ඔහුට ම හෝ ලියාපදිංචි නීතීඥවරයා මඟින් සිදු කළ හැක. හරස් ඉල්ලීමක් වේ නම් එයද එහි නිශ්චිත ලෙසින් දැක්විය යුතු වේ. උත්තරයේ මුද්දර ගාස්තු දිසා අධිකරණයේ ආකාරයට ය. එසේම උත්තරයේ අන්තර්ගතය ද සිවිල් නඩු විධාන සංග්‍රහයේ 75 වගන්තියේ ආකාරයට විය යුතු වේ. උත්තරයේ ආකෘතිය උපලේඛනයේ අංක 3 හි දැක්වෙන අතර ඒ ආකාරයෙන් විය යුතු ය.
දිසා අධිකරණයේදී මෙන් නොව සුළු හිමිකම් අධිකරණයේදී විත්තිකරු විසින් අධිකරණයේ පෙනී සිට මසක් ඇතුළත උත්තරය ගොනු කළ යුතු වේ. ඊට වඩා වැඩි කාලයක් ලබා දිය හැක්කේ පැමිණිලිකරුට දැනුම් දීමෙන් පසුව රෙජිස්ට්‍රාර් කාර්යාලයේ උත්තරය ගොනු කිරීම සඳහා උචිත අවස්ථානුගත කරුණු යටතේ කාලයක් ලබා දී ඇත්නම් පමණි.
එසේ ගොනු කරන උත්තරයද දිව්රුම් පෙත්සමකින් සනාථ කර තිබිය යුතු අතර විත්ති වාචකය හෝ හරස් ඉල්ලීම සනාථ කරන සහ විශ්වාසය තබන, විත්තිකරුගේ භාරයේ ඇති සියලු ලේඛනගත සාක්ෂි අමුණා තිබිය යුතු ය.
හරස් ඉල්ලීම පැමිණිලිකරු පිළිගන්නේ නම් එයද ලිඛිතව සිදු කළ යුතු අතර පැමිණිලිකරුගේ අත්සන නීතීඥවරයකු විසින් සහතික කර තිබිය යුතු වේ.
එසේම හරස් ඉල්ලීම, සුළු හිමිකම් අධිකරණයේ මූල්‍ය සීමාව ඉක්මවා යන්නේ වුවද තීන්දුවක් වාර්තා කිරීමට සුළු අධිකරණයට හැකි අතර එසේ සිදු කරන්නේ බහුවිධ නඩුකර වැළැක්වීම සඳහා ය.
උත්තරය සහ ප්‍රතිඋත්තරය සමඟ අමුණා ඇති සියලු දිව්රුම් ප්‍රකාශ සහ ලේඛන, විරුද්ධ පාර්ශ්වයට භාර දෙනු ලැබිය යුතු වේ.
උත්තරවාද සංශෝධනය කිරීම
යම් අයැදීමක් සංශෝධනය කිරීම සඳහා සුළු හිමිකම් අධිකරණයේදී අවසර ලැබෙන්නේ ඉතා සීමිත ආකාරයෙනි. පනතේ 16 වගන්තියට අනුව,
v එකී සංශෝධනය සඳහා වන ඉල්ලීමට අධිකරණය අවසරය ලබා නොදුනහොත් බරපතල සහ පිළියම් යෙදිය නොහැකි අසාධාරණයක් වන බවට සහ;
v එම ඉල්ලීම සිදු කරන පාර්ශ්වය ප්‍රමාදයට වරදකරුවකු නොවන බවට අධිකරණය සෑහීමට පත් වේ නම් සහ;
v එසේ සෑහීමට පත්වීමට හේතු වූ කරුණු වාර්තාගත කිරීමෙන් හැර,
වෙනත් කිසිදු හේතුවක් මත වන කිසිඳු ඉල්ලීමකට අධිකරණය විසින් අවසර ලබා නොදිය යුතු ය.
මෙය අදාළ නොවන්නේ අයැදීමක වන ලිපිකරු හෝ අංකමය දෝෂ නිවැරදි කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් පමණි.
සමථයට පත් කිරීම
පනතේ 21(1) වගන්තිය අනුව උත්තරය හෝ ප්‍රතිඋත්තරය ගොනුකිරීමෙන් පසුව වහාම අයැදීම් සම්පූර්ණ කිරීමේ දිනයේ සිට සති හතරක කාලසීමාවක් තුළ සමථයට පත්වීම සඳහා දිනයක් නියම කරනු ලැබිය යුතු ය. සමථයට පත් වීම සඳහා පාර්ශ්වකරුවන් උනන්දු කිරීම සුළු අධිකරණයේ කාර්යය වේ. සමථයක් ඇත්නම් එම සමථය පරිදි තීන්දුවක් ඇතුළත් කළ යුතු ය.
සමථය සඳහා නියම කර ඇති දින පුද්ගල වශයෙන් පාර්ශ්වයක් නොපැමිණේ නම්, එම දිනයේ දී පාර්ශ්වකරුවන් සමථයකට එළඹේ නම් මිස, එම පැහැර හැරීමේ පාර්ශ්වයට එරෙහිව නඩු ගාස්තු අය කර ගැනීමේ ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාව ඇත.
වාචික සාක්ෂි නොමැතිව තීන්දුව
යම් නඩුවකදී, පාර්ශ්වයන්ගේ එකඟත්වය ඇතිව සහ ඉදිරිපත් කර ඇති දිව්රුම් ප්‍රකාශ සහ ලේඛන මත නඩු තීන්දුව ප්‍රකාශ කළ යුතු බවට සුළු හිමිකම් අධිකරණයේ අදහස වන අවස්ථාවකදී, සියලු පාර්ශ්ව විසින් සිදු කරන කරුණු ඉදිරිපත් කිරීම් විභාග කිරීමෙන් පසුව නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තීන්දු ප්‍රකාශයක් ඇතුළත් කරනු ලැබිය යුතු ය. නඩුව විභාගයට නියම කරන්නේ එසේ නොවන විටදී ය.
ලේඛනමය සාක්ෂි
සමථයට පත් වීම සඳහා නඩුව නියම කරන ලද දිනයේදී හෝ එදිනට පෙරාතුව පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයන්ට දැන්වීමක් කර,
(අ) අධිකාරයන් නිකුත් කිරීම,
(ආ) කරුණු පිළිබඳ විශේෂ සහ ස්වාධීන දැනීමක් ඇති තැනැත්තන්ගෙන් වාර්තා කැඳවීම,
(ඇ) යම් පාර්ශ්වයක සන්තකයේ හෝ බලය යටතේ පවතින ලේඛන අනාවරණය කිරීම, ඉදිරිපත් කිරීම, පරීක්ෂා කිරීම හෝ ලේඛනවල නිර්ව්‍යාජත්වය පිළිබඳව පිළිගැනීම සඳහා නියෝගයක් නිකුත් කරවා ගැනීම,
(ඈ) පනතේ 17(1)(ඈ) වගන්තියේ දැක්වෙන ආයතනයක සන්තකයේ පවතිව ලේඛනවල සහතික පිටපත් නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කර ගැනීම
(ඉ) පාර්ශ්වකරුවන් විවිධ මත දැරීමේ දී යම් කරුණක් පිළිබඳව ඔහු විසින් සුදුසු හෝ යෝග්‍ය යයි සිතන පරිදි යම් තුන්වන පාර්ශ්වයක සන්තකයේ පවතින ලේඛන අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් වෙනත් යම් උචිත ආඥාවක් නිකුත් කර ගැනීම
සඳහා ඉල්ලීමක් සිදු කළ හැකි ය.
කෙසේවෙතත් සුළු හිමිකම් අධිකරණයේදී විචාරණ නැත.
සුළු හිමිකම් අධිකරණය විසින් තමාගේම අභිමතය පරිදි හෝ යම් පාර්ශ්වයක ඉල්ලීම පරිදි, පාර්ශ්වකරුවන් විවිධ මත දරනු ලබන කරුණු පිළිබඳව නඩු කටයුතු සිදු කරන අතරතුර දී අනාවරණය කරගනු ලබන එහෙත් පැමිණිල්ල හෝ උත්තරය, ප්‍රතිඋත්තරය සමඟ අමුණා නොමැති ලේඛන, දිව්රුම් ප්‍රකාශයක් ද සමඟ ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබාදිය හැකි ය.
නඩු විභාගය
පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇති කිරීමට උත්සාහ කොට එකඟතාවක් නැත්නම් නඩු විභාගය ඇරඹිය යුතු වේ. එහිදී පිළිගැනීම් වාර්තා කළ යුතු ය. ඒ පිළිගැනීම් ඔප්පු නොකළ යුතු නිසාවෙනි. විසඳිය යුතු ප්‍රශ්න වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොමැති අතර අවශ්‍යයැයි අධිකරණයට පෙනී යන්නේ නම් වාර්තා කොට නඩු විභාගය ඒ මත පැවැත්විය හැක. මීට අමතරව සාක්ෂි ලැයිස්තු සුළු හිමිකම් අධිකරණයේ දී අදාළ වන්නේ නැත (පනතේ 24(2) වගන්තිය).
නඩු විභාගයේදී මූලික සාක්ෂිය ලෙසින් සැලකෙන්නේ උත්තරවාද සමඟ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය වේ. මීට අමතරව අධිකරණයේ අවසරය ඇති ගොනු කළ අතිරේක දිව්රුම් ප්‍රකාශයද ඒ සඳහා සැලකිය හැක. පනතේ 23(2) වගන්තියේ දී අතිරේක සාක්ෂි මෙහෙයවීමට අවසර ලබා දිය හැකි අවස්ථා දක්වා තිබේ.
යුක්තියේ යහපත පිණිස, යම් පාර්ශ්වයක් විසින් සිදුකරන ඉල්ලීමක් මත, උත්තරවාදවල සඳහන් කර නොමැති වෙනත් යම් සාක්ෂිකරුවකු හෝ සාක්ෂිකරුවන් කැඳවීම සඳහා හෝ උත්තරවාද සමඟ අමුණා නොමැති යම් ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබා දීමට අධිකරණයට හැක. එසේම, අවශ්‍ය බවට පෙනී යන අවස්ථාවලදී, අධිකාරයක් මාර්ගයෙන් සොයාගන්නා ලද හෝ අනාවරණය කරගනු ලබන යම් ලේඛන මත තවදුරටත් වූ සාක්ෂි මෙහෙයවීම සඳහා සුළු හිමිකම් අධිකරණය විසින් පාර්ශ්වකරුවන් වෙත අවසර ලබා දිය හැකි ය.
විභාගයේ දී සිවිල් නඩු විධාන සංග්‍රහයේ 151අ වගන්තියේ විධාන ද අදාළ වේ.
එසේම සාක්ෂි ආඥාපනත ද අදාළ වේ.
නඩු විභාගයේ දී ලේඛන ඔප්පු කිරීම
නීතියට අනුව එහි සඳහන් වලංගු හේතු සමඟ යම් ලේඛනයක නිර්ව්‍යාජත්වය පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් දෝෂාභියෝගයට ලක්කර සිටී නම් මිස, සුළු හිමිකම් අධිකරණයට භාර දී ඇති හෝ පනතේ විධාන යටතේ අනාවරණය කර ගනු ලබන යම් ලේඛනයක් ඉදිරිපත් කර ඔප්පු කිරීම අවශ්‍ය නොවේ. යම් හෙයකින් එවැනි විරෝධතා ඉදිරිපත් කර, ලේඛනය ඔප්පු කිරීමට සාක්ෂි මෙහෙයවා ලේඛනය ඔප්පු කරනු ලැබුවහොත්, ලේඛනය නොපිළිගත් පාර්ශ්වය විසින් බදු ගාස්තුවලට අමතරව එම ලේඛනය ඔප්පු කිරීමේ දී දරන ලද පිරිවැය ගෙවීමට ද යටත් වේ.
මෙනිසා නඩු විභාගයේදී ලේඛනවලට විරුද්ධ වීමේ දී දෙවරක් සිතීම යහපත් බව පෙනී යයි.
තීන්දුව
සිවිල් නඩු විධාන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ විධාන තීන්දුව හෝ තීන්දු ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ වේ.
Comments
Post a Comment