කුඹුරු ඉඩමක් හා බැඳුණ ආරවුලකට 66 වගන්තියේ නඩුවක් පැවරිය නොහැකි ද?
කුඹුරු ඉඩමක් හෝ රජයේ ඉඩමක් හෝ සමග බැඳුණු ආරවුලක් සම්බන්ධයෙන් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වන වගන්තිය යටතේ ඉල්ලීමක් සිදු කළ නොහැකි ය යන මතයක් සමහරක් අවස්ථාවල වෘත්තිකයන් සතුව ඇත. වත්මන් නීතිමය තත්ත්වය අනුව මේ සම්බන්ධයෙන් කෙටි විමසීමක් කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.
(2019) 2 ශ්‍රී ලංකා නී.වා. 188 පිටුවේ සඳහන් මුණසිංහ සහ තවත් අය එදිරිව ප්‍රභාත් කුමාර නඩු තීන්දුව මේ සම්බන්ධයෙන් වැදගත් වේ. මෙම නඩු තීන්දුවේ දී මෙයට පෙර තීරණය වී තිබූ මන්සූර් එදිරිව ස්ථානාධිපති, අවිස්සාවේල්ල නඩු තීන්දුව පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
සාරාංශයක් ලෙසින් ගත් විට මෙම නඩු තීන්දුවේ දැක්වෙන ආකාරයට පෙත්සම්කරුවන් විසින් 66 (1)(ආ) වගන්තිය යටතේ ඉල්ලීමක් කර තිබුනේ වගඋත්තරකරු විසින් බලහත්කාරයෙන් ඔවුන්ව අසන්තක කළ නිසා ඒ සම්බන්ධයෙන් පනතේ 68(3) වගන්තිය යටතේ නියෝගයක් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කරමිනි. මෙකී ඉඩම කුඹුරු ඉඩමක් විනි. මහේස්ත්‍රාත් අධිකරණය මෙකී ඉල්ලීම පිළිගෙන ඉල්ලා ඇති ලෙසින් නියෝගයක් ලබා දෙන ලදි. ඊට විරුද්ධව මහාධිකරණයට කළ ඉල්ලීමේ දී මහාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීම ඉවතලනු ලැබූවේ අදාළ ඉඩම කුඹුරු ඉඩමක් මෙන්ම රජයේ ඉඩමක් වීම නිසාවෙන් එකී ආරවුල සම්බන්ධයෙන් නඩු අසා නියෝගයක් ලබා දීමට අධිකරණය බලය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවත් එකී ආරවුල 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ විධාන යටතේ විසඳාගත යුතු බවත් දක්වමිනි. මෙකී නියෝගය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයට අභියාචනා කරන ලදි.
අභියාචනාධිකරණය විසින් තීන්දුවේ දී කරුණු කීපයක් සඳහන් කරමින් අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට යෙදුනි. අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ප්‍රධාන හේතුව වූයේ ආරවුල පිළිබඳව වන ඉල්ලීම මාස 2 ක කාලය ඉක්මවීමෙන් පසුව සිදු කර තිබීම හේතුවෙනි. ඒ හැර මේ තීන්දුවේ දී මෙම ලිපියේ මාතෘකාවට අදාළ කරුණු කීපයක් ම දක්වා තිබේ.
ඉන් එකක් වන්නේ ගොවිජන සංවර්ධන පනත මගින් අදාළ ඉඩම කුඹුරු ඉඩමක් වීම හේතුවෙන් ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය මගින් මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දී ඇති බලය ඉවත් කර නොමැති බවයි. ගොවිජන සංවර්ධන පනතේ විධාන අදාළ වීම සඳහා ආරවුල් කරන පාර්ශ්ව අතර කුඹුරු හිමි සහ අඳ ගොවි සබඳතාවය පිළිගෙන තිබිය යුතු බව එහිදී ප්‍රකාශ කරන්නට යෙදුනි. ගොවිජන සංවර්ධන පනතේ පූර්විකාව අනුව මෙකී තත්ත්වය නිවැරදි බව පෙනී යයි. ඒ අනුව එකී සබඳතාවය ස්ථාපනය නොවන අවස්ථාවකදී කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වන ආරවුලක් සඳහා වන 66 වගන්තිය යටතේ නඩුවක්, ප්‍රාථමික අධිකරණයට අධිකරණ බලය නොමැති වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වන්නේ නැත.
තීන්දුවේ දී මේ සම්බන්ධයෙන් සමයවර්ධන විනිසුරුතුමා මෙසේ දක්වයි.
Agrarian Development Act is a special Act passed, as the long title of the Act suggests, predominantly, to "provide for matters relating to landlords and tenant cultivators of paddy lands". Hence the jurisdiction of the ordinary courts to entertain and determine such disputes is ousted. Section 98 of the Agrarian Development Act enacts:
The provisions of this Act shall have effect notwithstanding anything to the contrary in any other written law, and accordingly, in the event of any conflict or inconsistency between the provisions of this Act and such other/aw, the provisions of this Act shall prevail.
However, the Agrarian Development Act does not oust the jurisdiction of the Magistrates' Courts exercisable under section 66 of the Primary Courts' Procedure Act merely because the dispute relates to a paddy land. For the former Act to be applicable, and if the jurisdiction of the Magistrate's Court is to be ousted, there shall be a landlord and tenant cultivator relationship between the two contending parties.
තවදුරටත් මේ නඩු තීන්දුව අනුව හඳුනා ගත හැකි කරුණක් වේ. යම් ඉඩමක් රජයේ ඉඩමක් හෝ කුඹුරු ඉඩමක් වූවා කියා එමගින් ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 75 වගන්තියේ දැක්වෙන ඉඩම් පිළිබඳව වන අර්ථ නිරූපනයෙන් බැහැර වන්නේ නැත. මෙනිසා යම් හෙයකින් ප්‍රාථමික අධිකරණය විසින් කුඹුරු හිමි සහ අඳ හිමි සබඳතාවය පිළිගනු ලැබූවද පාර්ශ්වයන් විසින් ගොවිජන සංවර්ධන පනත යටතේ සහනයක් ලබා ගන්නා තුරු පවත්නා තත්ත්වය එලෙසින් පවත්වා ගෙන යාම සඳහා නියෝගයක් ලබා දීමට ප්‍රාථමික අධිකරණයට ඇති නෛසර්ගික අධිකරණ බලයට බාධාවක් ඇති නොවේ. එනම් පවත්නා තත්ත්වය එලෙසින් පවත්වාගෙන යාම සඳහා ගොවිජන සංවර්ධන පනත අදාළ වන අවස්ථාවකදී වුවද නියෝගයක් ලබා දීමට ප්‍රාථමික අධිකරණයට බලය පවතී.
මේ අනුව කුඹුරු ඉඩමක් හා බැඳුණ ආරවුලකින් සාමය කඩවීමේ තත්ත්වයක් එනම් ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 7 වන පරිද්ඡේදය යටතේ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රාථමික අධිකරණයට හැකියාව පවතී. කෙසේවෙතත් අදාළ ආරවුලේ පාර්ශ්වයන් විසින් තමුන් අතර කුඹුරු හිමි සහ අඳ ගොවි සබඳතාවය පවතින බව පිළිගන්නා විටක දී පනතේ 68 හෝ 69 වගන්තිය යටතේ නියෝගයක් කිරීමට නොහැකි නමුත් පවත්නා තත්ත්වය එලෙසින් පවත්වාගෙන යාම සඳහා නියෝගයක් කිරීමට පමණක් ප්‍රාථමික අධිකරණයට බලය ඇත.
Comments
Post a Comment