මුදල් ණයට දීමේ ආඥාපනතේ 8 වන වගන්තිය පිළිබඳව කෙටි හැඳින්වීමක්.
ලංකාවේ මුදල් ණයට දීම ප්‍රධාන වශයෙන් ම ආකාර දෙකකට සිදු කරයි. ඒ ව්‍යාපාරයක් ලෙසින් මුදල් ණයට දෙන්නන් විසින් මුදල් ණයට දීම සහ ණයට දීමේ ව්‍යාපාරයේ නොයෙදෙන තැනැත්තන් විසින් මුදල් ණයට දීම ලෙසිනි. ලංකාවේ මුදල් ණයට දීම ව්‍යාපාරයක් ලෙසින් කරන්නන් (සාමාන්‍ය ව්‍යවහාරයේ දී පොලී මුදලාලි ලෙසින් හැඳින්වෙන) විසින් එය සිදු කළ යුතු වන්නේ මුදල් ණයට දීමේ ආඥාපනතේ විධාන ප්‍රකාරව ය. එම නීතිය එකී කාර්යය සම්බන්ධයෙන් පවතිනා නීතිය සංගෘහිත ව්‍යවස්ථාව වේ. අනෙක් ක්‍රමයේ ණයට දීමක් සිදු වූ අවස්ථාවකදී පොදු නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව පවතින්නේ ය. කෙසේවෙතත් සංශෝධිත 1990 අංක 4 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යෙදෙන ආයතන සම්බන්ධයෙන් මුදල් ණයට දීමේ ආඥාපනතේ විධාන අදාළ වන්නේ නැත. මෙම ලිපිය තුළදී මා අවධානය යොමු කරන්නේ ව්‍යාපාරයක් ලෙසින් මුදල් ණයට දෙන්නන් සම්බන්ධයෙන් සහ එහි දී අදාළ වන නීති තත්ත්වය සම්බන්ධයෙන් පමණි.
මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නන් ද කොටස් දෙකකි. ඒ ස්වභාවික පුද්ගලයන් හා නෛතික පුද්ගලයන් ලෙසින් ය. මේ දෙකොටස සඳහා ම සංශෝධිත 1918 අංක 2 දරන මුදල් ණයට දීමේ ආඥාපනතේ විධාන අදාළ වේ. වර්තමානයේ මෙවැනි මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නා වූ ආයතන විශාල ප්‍රමාණයක් ලංකාවේ පවතී. කෙසේවෙතත් ආඥාපනතේ 8(3) වන වගන්තිය අනුව අප මේ ලිපියෙන් පසුව සාකච්ඡා කරන්නා වූ විධාන නිසි පරිදි සංස්ථාපිත කර ඇති බැංකු හො බැංකු වැනි සමාගම් සඳහා අදාළ නොවේ.
මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නන් විසින් අනුගමනය කළ යුතු විධාන පිළිබඳව ආඥාපනතේ 8(1) වන වගන්තියේ දක්වා තිබේ. එම වගන්තිය පහත පරිදි ය.
A person who carries on the business of money lending, or who advertises or announces himself or holds himself out in any way as carrying on that business, shall keep or cause to be kept a regular account of each loan, clearly stating in plain words and numerals the items and transactions incidental to the account, and entered in a book paged and bound in such a manner as not to facilitate the elimination of pages or the interpolation or substitution of new pages.
මේ අනුව මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නකු විසින් සෑම ණයක් පිළිබඳව ම විධිමත් ගිණුම් විස්තර තබා ගත යුතු ය. එසේ තබා ගන්නා ගිණුම් විස්තර, වචනයෙන් මෙන්ම ඉලක්කම් වලින් ද ලියා තැබැයි යුතු ය. එසේම ඒ ආකාරයට ලියනු ලබන ගිණුම් විස්තර ඇතුළත් පිටු ගලවා ඉවත් කිරීමට නොහැකි වන ලෙස මෙන්ම ඒ අතරතුරට වෙනත් පිටු එකතු කළ නොහැකි වන ලෙසට අදාළ පොත පවත්වාගෙන යා යුතු ය.
ආඥාපනතේ 8(2) වන වගන්තිය පහත පරිදි වේ.
If any person, subject to the obligations of this section, fails to comply with any of the requirements thereof, he shall not be entitled to enforce any claim in respect of any transaction in relation to which the default shall have been made:
Provided that in any case in which the court is satisfied - (a) that the default was due to inadvertence and not to any intention to evade the provisions of this section ; and (b) that the receipt of the loan, the amount thereof, the amount of the payments on account, and the other material transactions relating thereto satisfactorily appear by other evidence, the court may give relief against any such default on such terms as it may deem just.
මේ අනුව 8(1) වන වගන්තියේ විධාන අදාළ වන ඕනෑම තැනැත්තකු විසින් එකී 8(1) වන වගන්තියේ අන්තර්ගත ව ඇති අවශ්‍යතා සැපරීමට අපොහොසත් වන්නේ නම් එකී අපොහොසත්වීම සිදු වූ ගණුදෙනුව සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් කිරීමට හැකියාව නොලබන්නේ ය.
මෙය නිදසුනකින් මෙසේ පැහැදිලි කර දෙන්නෙමි.
ඩිෂාන් යනු මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙකි. සුරංග තම අවශ්‍යතාවකට ඩිෂාන්ගෙන් යම් මුදලක් ණයට ඉල්ලා ලබා ගනී. ඒ අනුව ඩිෂාන් සුරංගට උකසක් හෝ පොරොන්දු නෝට්ටුවක් හෝ ඇපයක් ලෙසින් තබා ගෙන ඒ ණයට ඉල්ලූ මුදල පොළියට ලබා දෙයි. කෙසේවෙතත් ඩිෂාන් විසින් සුරංගට ලබා දුන් ණය මුදල සම්බන්ධයෙන් මුදල් ණයට දීමේ ආඥාපනතේ 8(1) වන වගන්තියේ දැක්වෙන ආකාරයට අකුරෙන් සහ අංකවලින් ලියනු ලැබූ ගිණුමක් පවත්වාගෙන යන්නේ නැත. දැන් සුරංග අදාළ ණය මුදල ඩිෂාන්ට ගෙවීම පැහැර හරී. එකී ණය මුදල ඉල්ලා ඩිෂාන් විසින් සුරංගට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරයි. ඒ පවරනු ලැබූ නඩුවේ දී සුරංග විත්ති වාචකයක් ලෙසින් ඩිෂාන් විසින් මුදල් ණයට දීමේ ආඥාපනතේ 8(1) වන වගන්තිය යටතේ වන අවශ්‍යතා සපුරා නොමැති බවට වන විත්ති වාචකයක් ගනී. ඩිෂාන් විසින් 8(1) වන වගන්තිය අනුව කටයුතු කර නැත්නම් සුරංගට එරෙහිව ඇති නඩුව අසාර්ථක වේ.
එදිනෙදා අධිකරණයේ කටයුතු කරද්දී මුදල් ණයට ලබා ගැනීමේ සිද්ධි මුල් කර ගනිමින් පවරන නඩු හමු වේ. ඔබටත් එවැනි නඩු පිළිබඳව අසන්නට දකින්නට ලැබී ඇතුවාට සැක නැත. මෙවැනි නඩුවක පැමිණිලිකරු වන්නේ මුදල් ණයට දුන් තැනැත්තා ය. විත්තිකරු වන්නේ මුදල් ණයට ගනු ලැබූ තැනැත්තා ය.
යම් හෙයකින් මුදල් ණයට දෙන්නා විසින් සුරැකුමක් ලෙසින් පොරොන්දු නෝට්ටුවක් ලබා ගන්නේ නම් එකී පොරොන්දු නෝට්ටුව මුදල් ණයට දීමේ ආඥාපනතේ 10 වන වගන්තියේ විධාන අනුව සකස් කළ යුතු ය. පොරොන්දු නෝට්ටුවට අමතරව තවත් විවිධාකාරයේ සුරැකුම් ණය සඳහා ලබා ගැනීමට මුදල් ණයට දෙන්නකුට හැකියාව ඇත. එකී සුරැකුම් ලබා ගෙන ඔහු විසින් මුදල් ණයට ලබා දෙයි.
ඒ ආකාරයෙන් මුදල් ණයට දෙන්නකු විසින් ලබා දුන් ණයක් පිළිබඳව නඩු පැවරීමේ දී ඔහු මුදල් ණයට දීමේ ව්‍යාපාරිකයකු නම් ඒ තැනැත්තා ආඥාපනතේ 8(1) වන වගන්තියේ දැක්වෙන ගිණුම් පොත ඉදිරිපත් කිරීමට සූදානම් ව සිටිය යුතු ය. ඔහුට ඒ පොත් පසුව සම්පූර්ණ කිරීමට හැකියාව නැත. ණයට දීම සිදු කළ අවස්ථාවේ සිට ඒ පිළිබඳව කටයුතු කළ යුතු ය. එසේ කටයුතු කර තිබිය යුතු වන්නේත් 8(1) වන වගන්තියේ දැක්වෙන අවශ්‍යතා සම්පූර්ණ කරමිනි.
මුදල් ණයට දුන් තැනැත්තා මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙක් ද නැත්නම් සාමාන්‍ය ලෙසින් මුදල් ණයට දුන් තැනැත්තෙක් ද යන්න නඩුවේ දී ඔප්පු කිරීමට හැකියාව ඇත. යම් හෙයකින් පැමිණිලිකරු මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ යෙදෙන්නෙක් බව නඩුවේ දී ඔප්පු වුවහොත් එවිට මේ 8(1) වන වගන්තියේ විධාන ඔහු සම්බන්ධයෙන් අදාළ වේ. ඩයස් නාගහවත්ත එ. අල්විස් අප්පුහාමි - (1987) 1 ශ්‍රි ලංකා නී.වා. 288 නඩු තීන්දුවේ දී තීරණය වී ඇති ආකාරයට මුදල් ණයට දෙන්නකු සහ මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙකු අතර වෙනසක් ඇත. පැමිණිලිකරු විසින් තැනැත්තන් කීප දෙනකුට පොළිය ලබා ගනිමින් දිගු කලක් තිස්සේ මුදල් ණයට ලබා දී ඇති අවස්ථාවක, මුදල් ණයට ගත් සේවාදායකයින් පැමිණිලිකරු දන්නා හඳුනන සීමිත පිරිසක් වීම නිසාවෙන් ම මුදල් ණයට දීමේ ව්‍යාපාරයක් කරන්නෙකු නොවන්නේයැයි සැලකිය නොහැකි බවත්, පැමිණිලිකරු විසින් ලබා ගෙන ඇති විවිධාකාරයේ සුරක්ෂිතයන් (උකස් ඔප්පු, පොරොන්දු නෝට්ටු, චෙක්) මගින් වෘත්තීය ණයට දෙන්නකු බව පෙන්නුම් කරන බවත් මෙහිදී පෙන්වා දී තිබේ.
සාමාන්‍යයෙන් මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නන් සුරක්ෂිතයක් ලෙසින් කුමක් හෝ දෙයක් ලබා ගනී. පෙරදී සුරක්ෂිතයන් ලෙසින් උකස් ඔප්පු ලබා ගැනීම පිළිබඳව සඳහන් කරන්නට යෙදුනි. පෙරේරා එ. අමරසේන (74 න.නී.වා. 545) නඩු තීන්දුවේ දී අධිකරණය තීරණය කර ඇත්තේ මුදල් ණයට දීමේ ආඥාපනත සඳහා උකස් ඔප්පු ද අදාළ වන බවයි. එවැනි තැනැත්තකු විසින් ආඥාපනතේ 8(1) වන වගන්තිය යටතේ කටයුතු කර නොමැති විටදී ඔහුට මුදල් ණයට ගත් තැනැත්තාට එරෙහිව ඉල්ලීමක් පවත්වාගෙන යා නොහැකි බව මේ නඩුවේ දී වැඩිදුරටත් තීරණය වී ඇත. එසේම දිසානායක එ. සරවනපරනාතන් (66 න.නී.වා. 187) නඩු තීන්දුවේ දී තීරණය වී ඇත්තේ විත්තිකරු විසින් ණයට ලබා ගත් මුදලක් සඳහා පැමිණිලිකරුට ලබා දුන් චෙක් පතක් ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමේ දී අගරු වූ විටක දී එකී චෙක්පත විත්තිකරු විසින් පැමිණිලිකරුට ලබා දී ඇත්තේ ණයකට සුරැකුමක් ලෙසින් බවත්, පැමිණිලිකරු වනාහි මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙකු බවටත් ඔප්පු වී පවතින විට සහ ආඥාපනතේ 8(1) වන වගන්තිය යටතේ කටයුතු කර නොමැති බව අනාවරණය වී ඇත්නම් එවිට එකී චෙක්පත අගරු වීම සම්බන්ධයෙන් කිසිඳු නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවයි. කෙසේවෙතත් මෙවැනි අවස්ථාවකදී පෙර දැක් වූ ලෙස ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමේ හැකියාව පැමිණිලිකරුවකුට ඉතිරිව පවතී. කෙසේවෙතත් පලනිඅප්පා චෙට්ටි එ. අසීස් (31 න.නී.වා. 425) නඩුවේ දී තීරණය වී ඇත්තේ හිස් පොරොන්දු නෝට්ටුවක් ලබා ගත් පැමිණිලිකරු පසුව එය පුරවනු ලැබූ විට එකී පොරොන්දු නෝට්ටුව බලාත්මක කිරීමේ හැකියාව පැමිණිලිකරුට නොපවතින බව ය. එසේම ණයකට සුරක්ෂිතයක් ලෙසින් ලබා ගත් පොරොන්දු නෝට්ටුවට නිසි පරිදි මුද්දර අලවා නොමැති විට දී මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙකුට එකී පොරොන්දු නෝට්ටුව බලාත්මක කිරීමේ හැකියාව නොපවතින බව අබේසේකර එ. ජයතිලක (38 න.නී.වා. 130) නඩුවේ දී පෙන්වා දී තිබේ. නමුත් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ නොයෙදී මුදල් ණයට දීමක් කර ඇති අවස්ථාවකදී මෙවැනි පොරොන්දු නෝට්ටුවක් වුවත් බලාත්මක කර ගැනීමට හැකියාව පවතී.
දේවසුරේන්ද්‍ර එ. ද සිල්වා (34 න.නී.වා. 313) නඩු තීන්දුවේ දී සාක්ෂි අනුව අදාළ පුද්ගලයා තමුන්ගේ ආදායම උපයා ගන්නේ මුදල් ණයට ලබා දීමෙන් (Where a person supplemented his income by money lending, which was proved to be systematic and continuous) බව ඔප්පු වී තිබිණි. ඒ අනුව අධිකරණය තීරණය කලේ එම තැනැත්තා මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙකු බවයි. සභාරත්නම් සහ තවත් අය එ. ඉන්දු ලංකා ප්‍රොවිඩන්ට් ඉන්ෂුවරන්ස් සමාගම (49 න.නී.වා. 231) නඩු තීන්දුවේ දී තීරණය වී ඇත්තේ විටින් විට ලබා දුන් සහ අසම්බන්ධිත ණය ලබා දීම් මගින් මුදල් ණයට ලබා දීම ඔප්පු නොවන බවයි. එය විධිමත් ව සහ නොකඩවා නැවත නැවත සිදු වන ව්‍යාපාරයක් බව පෙන්වීමට ද සිදුවන බවයි.
ද සිල්වා එ. එදිරිසූරිය (41 න.නී.වා. 457) නඩු තීන්දුවේ දී දැක්වෙන ආකාරයට මාළු වෙළෙන්දකු විසින් තමුන්ගේ ඥාතීන් නොවන තැනැත්තන්ට සටහන් තබා ගෙන මුදල් ණයට ලබා දීම සිදු කර ඇති බවට සාක්ෂි ඉදිරිපත්ව තිබිණි. එපමණක් නොව ඔහුගේ මුදල් ගණුදෙනු විධිමත්ව පවත්වා ගෙන ගොස් ඇති බවට ද සාක්ෂි ඉදිරිපත් විනි. ඒ අනුව අධිකරණය තීරණය කරනු ලැබුවේ මේ පුද්ගලයා මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරනු ලබන්නෙකු බවයි. එවැනි විටක ඔහු විසින් ආඥාපනතේ 8(1) වන වගන්තිය යටතේ කටයුතු කරනු ලැබූ බවට වන කරුණ ඔප්පු කිරීමේ වගකීම පැවරෙන බව ද එහිදී තීරණය විනි.
ද සිල්වා එ. මොහොමඩ් (66 න.නී.වා. 165) නඩු තීන්දුව අනුව මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන තැනැත්තකු විසින් ගිණුම් පිළිබඳව පොතේ සටහන් කර තිබුනේ අංක වලින් පමණි. අකුරු වලින් ඒ පිළිබඳව ලියා තිබුනේ නැත. ඒ අනුව පැමිණිලිකරුට විත්තිකරු විසින් ගෙවීම පැහැර හැර ඇති ගණුදෙනුව සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට හැකියාව නොමැති බවට තීරණය විය.
මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නෙකු විසින් තමුන් ලබා දුන් මුදල් ආපසු නොලැබීම සම්බන්ධයෙන් නඩු පවරද්දී මුදල් ණයට දීමේ ආඥාපනතේ 8(1) වන වගන්තියේ විධාන තමුන් විසින් අනුගමනය කළ බව පෙන්වීමට බැඳී සිටින බව මේ අනුව පැහැදිලි වනු ඇත.
ආඥාපනතේ 8(2) වන වගන්තිය ඉහතින් දක්වා තිබේ. එහි අතුරු විධානයක් පවතින අතර එය නැවතත් මෙහිදී සඳහන් කරමි.
Provided that in any case in which the court is satisfied - (a) that the default was due to inadvertence and not to any intention to evade the provisions of this section; and (b) that the receipt of the loan, the amount thereof, the amount of the payments on account, and the other material transactions relating thereto satisfactorily appear by other evidence, the court may give relief against any such default on such terms as it may deem just. (තද කළු කිරීම කරනු ලැබුවේ මා විසිනි.)
ආඥාපනතේ 8(1) වන වගන්තිය යටතේ කටයුතු කර නොමැති අවස්ථාවක දී මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරනු ලබන තැනැත්තකුට ඒ සඳහා ප්‍රතිකර්ම ලබා ගත හැකි එකම අවස්ථාව මේ 8(2) වන වගන්තියේ දැක් වේ.
බොහෝ මුදල් ණයට ලබා දුන් පුද්ගලයන් විසින් සාක්ෂි දීමේ දී තමුන් මෙවැනි ආඥාපනතක් ලංකාවේ පවතින බවක් දන්නේ නැති බව ද කියයි. එය අනවධානය යන්නට ඇතුළත් නොවේ. මන්දයත්, සියල්ලෝම නීතිය දන්නේ යැයි පූර්ව නිගමනය කරන නිසාවෙනි. සින්නපිල්ලේ එ. වීරගති සහ අයෙක් (39 න.නී.වා. 321) නඩු තීන්දුවේ දී දැක්වෙන ආකාරයට මේ 8(2) වන වගන්තියෙන් සහන ලබා දීමට බලාපොරොත්තු වී ඇත්තේ ගිණුම් පොත් නොතැබූවන්ට නොව ගිණුම් පොත් තබා ගත්තත් ඒ අවස්ථාවේ දී යම් සිදුවීමක් නිසාවෙන් හෝ වැරදීමක් නිසාවෙන් අදාළ ණය පිළිබඳව සටහන් තැබීමට නොහැකි වූ තැනැත්තන්ට පමණකි. නීතිය පිළිබඳව නොදැනීම නිසා ගිණුම් තැබීමට අපොහොසත්වීම මේ වගන්තියෙන් ආවරණය නොවන බව වැඩිදුරටත් මේ නඩුවේ දී පෙන්වා දී ඇත. පෙර කී ඩයස් නාගහවත්ත එ. අල්විස් අප්පුහාමි නඩුවේ දී තීරණය වී ඇති ආකාරයට නීතිය පිළිබඳව ඇති වැරදි අවබෝධයක් මේ 8(2) වන වගන්තියෙන් ආවරණය වන්නේ නැත.
කෙසේවෙතත් රාසු චෙට්ටියාර් සහ තවත් අය එ. පොන්වන්ඩු (57 න.නී.වා. 268) නඩු තීන්දුවේ දී තීරණය වී ඇත්තේ මුදල් ණයට දෙන්නකු විසින් ඔහුගේ පොත්වල ව්‍යාපාරයක් ලෙසින් ලබා දුන් ණය පිළිබඳව මෙන්ම එසේ නොවන ණය පිළිබඳව ද සටහන් තබා ඇති අවස්ථාවකදී එකී සටහන් අනුව ව්‍යාපාරයක් ලෙසින් ණය ලබා දුන් ගණුදෙනු සහ අනෙක් ගණුදෙනු වෙන් කර හඳුනා ගත හැකි අවස්ථාවලදී ඔහු ආඥාපනතේ 8(1) වන වගන්තිය අනුව කටයුතු කර ඇති බවයි. ජයසිංහ එ. රාමනාදන් චෙට්ටියාර් (50 න.නී.වා. 546) නඩු තීන්දුවේ දී පෙන්වා දී ඇති ආකාරයට පැමිණිලිකරු රු.1,500/- විත්තිකරු වෙත ණයට ලබා දී තිබූ නමුත් ගිණුම් පොතේ සටහන් කොට තිබුණේ රු.750/- ක් ණයට ලබා දුන් ලෙසට ය. ඒ අනුව ඉතිරි රු.750/- සඳහා ඉල්ලීමක් කිරීමට ආඥාපනතේ 8 වන වගන්තිය යටතේ හැකියාවක් පැමිණිලිකරුට නොපවතින බව තීරණය විනි.
මේ අනුව සීමිත අවස්ථාවලදී 8(1) වන වගන්තියේ පියවර අනුගමනය කිරීමට නොහැකි වූ බව පෙන්වා සහන ලබා ගැනීමට අවස්ථාව මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරනු ලබන පුද්ගලයන්ට 8(2) වන වගන්තියෙන් ලැබේ. එය ඉතා සීමිත අවස්ථාවකි. ඒ බව සිහි තබා ගත යුතු ය.
වර්තමානයේ පවතින බොහෝ මුදල් අයකර ගැනීමේ නඩුවලදී මෙකී මුදල් ණයට දීමේ ආඥාපනතේ විධාන අදාළ වේ. නමුත් ඒ පිළිබඳව නිසි දැනුමක් සහිතව උත්තරවාද ගොනු කරන බවක් පෙනී යන්නේ නැත. විශේෂයෙන් ම විත්තිකරු විසින් මෙවැනි නඩුවක උත්තරය ගොනු කිරීමේ දී මෙකී විධාන පිළිබඳව දැනුවත් ව කටයුතු කිරීම වැදගත් වේ. මන්දයත්, උත්තරවාද වලින් නොකියූ කථා පසුව කීමෙන් ඵලක් නොලැබෙන නිසාවෙනි.
Comments
Post a Comment