දික්කසාද නඩුවක් පවතින අතරතුර දීමනාවක් ලබා ගැනීම

දික්කසාද හෝ විවාහ ශුන්‍ය කිරීමේ  නඩුවක් පවරා ඇති අවස්ථාවකදී නඩුවේ පාර්ශ්වයකට අවශ්‍ය නම් අනෙක් පාර්ශ්වයෙන් දික්කසාද දීමනාවක් හෝ නඩු ගාස්තු ලබා ගැනීමේ හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් අදාළ වන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 614 වන වගන්තිය වේ.

මේ සඳහා වන ඉල්ලීමක් කලත්‍රයන්ගෙන් ඔ්නෑම අයකුට කල හැකි අතර එය ලඝු කාර්ය පටිපාටිය අනුව සිදු කළ යුතු ය.  ඒ අනුව පෙත්සමක් හා දිව්රුම් පෙත්සමක් මගින් ඉල්ලීම කළ හැකි ය. මෙහිදී නියම කරන දික්කසාද දීමනාව, ආඥාවේ දිනයට ඉහතින් අන්තිමට වූ අවුරුදු තුන තුළ අනෙක් කලත්‍රයාගේ ආදායමෙන් 1/5 ට අඩු නොවිය යුතු අතර මෙසේ ලබා දෙන දීමනාව, තීන්දු ප්‍රකාශය නියත කරන තෙක් හෝ ස්ථිර කරන තෙක් ගෙවීමට කටයුතු කළ යුතු වේ. මේ ආඥාව පැහැර හැරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙසින් සැල කේ. කෙසේවෙතත් මෙවැනි නියෝගයක් ලබා දී ඇති විට නියෝගය ලබා දී ඇති පාර්ශ්වය මිය යන්නේ නම් ඒ සමග නියෝගයේ බලාත්මක භාවය ද අවසන් වෙයි.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 218(ඔ්) වගන්තිය අනුව ගෙවන ලෙස ආඥා කරන සියලු නඩත්තු දීමනා, දික්කසාද දීමනා සහ නඩු ගාස්තු තහනම් කිරීමට හෝ විකිණීමට යටත් නොවේ.

614(3) වන වගන්තියට අනුව නඩු කීමේ ගාස්තු දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් හෝ වත්කමක් නැති කලත්‍රයකුට එකී ගාස්තු දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් හෝ වත්කමක් ඇති කලත්‍රයා විසින් යුක්ති සහගත යැයි අධිකරණය සලකන මුදලක් ඒ ආදායම් නැති කලත්‍රයාට ගෙවන ලෙස නඩුවේ කවර අවස්ථාවකදී වුවද අධිකරණය විසින් ආඥා කළ හැකිය. එනම් නඩු කීමට වත්කම් නැති කලත්‍රයාගේ නඩු ගාස්තු ගෙවන ලෙස වත්කම් ඇති කලත්‍රයාට එරෙහිව නියෝගයක් කල හැක.

* මේ යටතේ වන දික්කසාද දීමනාව ගෙවිය යුතු වන්නේ නඩු පැවරූ දින සිට බලපැවැත්වෙන පරිදි ය.

* මෙවැනි ඉල්ලීමකදී සලකා බැලෙන්නේ ඉල්ලීම කරන පාර්ශ්වයට ප්‍රමාණවත් ආදායම් නැත්ද යන්නත්, අනෙක් පාර්ශ්වයට ප්‍රමාණවත් ආදායම් ඇත්ද යන්නත් පමණි. දික්කසාදයට අදාළ කරුණු මෙහිදී සලකා බලන්නේ නැත.

* කෙසේවෙතත් ඉල්ලුම් කරන පාර්ශ්වයට ප්‍රමාණවත් වත්කම් ඇති බවට අනෙක් පාර්ශ්වයට පෙන්වා දිය හැක.

* මේ ආකාරයට දික්කසාද දීමනාවක් ගෙවන ලෙසින් නියෝගයක් කර ඇති විට සහ නියෝගය කර ඇති ආකාරයට ගෙවීම් නොකරන විට ගෙවීම අවසන් කරන තුරු නඩු කටයුතු නතර කිරීමට අධිකරණයට හැකියාව තිබේ.

* නඩු ගාස්තු සලකා බැලීමේ දී පාර්ශ්වයන්ගේ වත්කම් සැලකිල්ලට ගෙන කටයුතු කරනු ලැබේ.


Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.