වරදකරුවන්ට නවාතැන්දීම.
අපරාධ නීතිය ශිෂ්ට සම්පන්න සමාජයක් පවත්වාගෙන යෑම සඳහා උපකාර වේ. මිනිසුන් නීතිය අතට ගෙන කටයුතු කිරීම වැළැක්වීමද එහි එක් අරමුණකි. මිනිසුන් එසේ කටයුතු කරන විට යහපාලනය පවත්වාගෙන යාම උගහටය. මෙනිසා අන් අයට ද එසේ කටයුතු කිරීම සඳහා දෙවරක් සිතීම සැලැස්වීමට අපරාධ නීතියෙන් දඩුවම් ද හඳුන්වා දී තිබේ. එපමණක් නොව අපරාධ නීතියේදී වැරදිකරුවන්ට නවාතැන් දීම ද වරදක් බවට පත්කර තිබේ. අද අප සරලව විමසා බලන්නේ මේ ප්‍රතිපාදනයයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය මීට අදාල වගන්තිය වේ. ඒ අනුව යම් අයකු විසින්,
· යම් වරදක් කරන ලද විටක,
· ඒ වරද කල තැනැත්තා යැයි දන්නා වූ හෝ වරද කල තැනැත්තා යැයි විශ්වාස කිරීමට කරුණු ඇත්තා වූ තැනැත්තකුට,
· වරදට අදාළ නීත්‍යානුකූල දඬුවමින් ආවරණය කර ගැනීමේ අදහසින්,
· නවාතැන් දෙන හෝ සඟවන හෝ උපකාර කරන හෝ නඩත්තු කරන්නේ නම්,
වරදක් කරන්නේ ය. ඊට අදාළ දඬුවම 209 වගන්තියේ දී මෙසේ දක්වා තිබේ.
shall, if the offence is punishable with death, be punished with imprisonment of either description for a term which may extend to five years, and shall also be liable to fine;
and if the offence is punishable with imprisonment which may extend to ten years, shall be punished with imprisonment of either description for a term which may extend to three years, and shall also be liable to fine;
and if the offence is punishable with imprisonment which may extend to one year and not to ten years, shall be punished with imprisonment of the description provided for the offence for a term which may extend to one-fourth part of the longest term of imprisonment provided for the offence, or with fine, or with both.
209 වගන්තියට අනුව මේ වරදට ව්‍යතිරේකයක් ඇත. ඒ අනුව මෙසේ වරද කරන්නේ වරදකරුගේ සැමියා හෝ බිරිඳ නම් එවිට එය වරදක් නොවේ.
209 වගන්තියේ මීට අදාළ නිදර්ශනයක්ද ඇත. ඒ අනුව B කොල්ලකෑමේ වරද කළ බව දනිමින් ඔහුට ලැබිය හැකි නීත්‍යානුකූල දඬුවමෙන් ආවරණය කරගනු පිණිස දැන දැනම A විසින් B සඟවා ගනු ලබයි. මෙහිදී අවුරුදු 10 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකට B යටත් බැවින් අවුරුදු 3 ට වැඩි නොවිය හැකි කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට A යටත් වේ. ඔහු දඩයකට ද යටත් වේ.
මේ අනුව ලංකා අපරාධ නිතියේදී වරදකරුවකුට නවාතැන්දී දඬුවමින් බේරීමට කටයුතු කරන අයව සැහැල්ලුවෙන් සලකන්නේ නැත. 209 වගන්තියට අනුව ‘වරදකරුවා’ යන්න නීතියෙන් ඔප්පුව තිබිය යුත්තක් නොවේ. අවශ්‍ය වන්නේ වරදක් සිදු ව තිබීමත්, ඒ වරද සිදු කල තැනැත්තා අහවලා බව දැන ඒ අහවලාට රැකවරණය දීම පමණි.
නිදසුනකට ගෙදරකට කඩා පැන ගිනි තැබීමක් කරන අවස්ථාවක් ගන්න. ඒ ගිනි තැබීම තුලින් අනර්ථය, අයුතු ඇතුළුවීම, කොල්ලකෑම, සොරකම ආදී වැරදි කීපයක්ම විය හැක. එම වරද කල අයවලුන්ව ඔබ දන්නා බව සිතන්න.
දැන් එම වරද කල අයව පොලීසිය විසින් සොයයි. ඔබ ඔවුන්ට පෙර ඔහුව පොලීසියට අල්ලා ගැනීමට නොහැකි වන සේ සඟවා තබා ගනී. එසේම ඒ අය ඔබේ බිරිඳ හෝ සැමියාද නොවේ. දැන් ඔබ කරන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකි.
මෙසේ වරදක් නිර්මාණය කර ඇත්තේ සියළු දෙනා මහජන ශිෂ්ඨත්වය ආරක්ෂා කිරීමට මිස එය කඩා දැමීමට කටයුතු නොකල යුතු නිසාවෙනි.
තවද, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවැනි වරදක් කරන අයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි අතර මුල් අවස්ථාවේදීම වරෙන්තුවක් ද නිකුත් කල හැක. එසේම එය ඇප දිය නොහැකි වරදකි. එනිසා අවශ්‍ය නම් එවැනි වරදක් කරන අයකුට අපේක්ෂිත ඇපයක් ඉල්ලීමටද හැකියාව ඇත.
තවද මෙවැනි වරදක් කරන අයකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 135 වගන්තියේ සීමා අදාළ නොවන නිසා පුද්ගලික පැමිණිල්ලක් වුවද ඉදිරිපත් කල හැක.
මේ අනුව බැලූවිට වරදකරුවකුට නවාතැන් දීම යනාදී වැරදිකරුවන්ව ආරක්ෂා කිරීමට කරනු ලබන කටයුතු ලංකා නීතියේදී පිළිනොගන්නා අතර (ව්‍යාතිරේඛී අවස්ථාවකට යටත්ව) එකී කටයුතු කරන අයට දඬුවම් ද ලබා දීමට කටයුතු කරනු ඇත.
Comments
Post a Comment