ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත.
ශ්‍රී ලංකාව තුළ අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහි වූවන් ඇති බව සාමාන්‍ය පිළිගැනීමකි. ඊට හේතුව අන්තරායදායක ඖෂධ ලංකාව තුළ පැතිරී තිබීමයි. පොලීසිය ඇතුළු නීතිය ආරක්ෂා කරන ආයතන මේ අන්තරායදායක ඖෂධ සමාජයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටී. මෙවැනි ඖෂධයන්ගේ ස්වභාවය ඒවා පාවිච්චි කරන්නා ඊට ඇබ්බැහි කරලීමට ඇති හැකියාවයි. එවැනි ඖෂධයන්ට ඇබ්බැහිවූවන් නිසා ඇති වන නොයෙක් ප්‍රශ්නකාරී තත්ත්වයන් එදිනෙදා සමාජයේ දී ඇසීමට දැකීමට ලැබේ. රජය මේ සම්බන්ධයෙන් වූ මැදිහත්වීමක් ලෙසින් 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත හැඳින්විය හැක. මේ පනත මඟින් එවැනි ඖෂධයන්ට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනයට යොමු කිරීමට හෝ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විධාන සලස්වා තිබේ. ඒ අනුව දැනට පනත ප්‍රකාරව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයක් ම ලංකාව පුරා පිහිටුවා තිබේ. මේ ලිපියේ දී මා කෙටියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරනු ලැබන්නේ එම පනතේ දක්නට ලැබෙන එක් කරුණක් සම්බන්ධයෙනි.
2007 අංක 54 දරන පනතේ ප්‍රතිපාදන අනුව අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහිවූ තැනැත්තන් ප්‍රතිකාර හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුල් වීමේ ක්‍රම කීපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව පනතේ 9 වගන්තියෙන් ස්වේච්ඡාවෙන් අදාළ තැනැත්තාට එවැනි මධ්‍යස්ථානයකට ඇතුළත්වීමේ ක්‍රමවේදය සළස්වා ඇත. එය එතරම් සාකච්ඡා කළ යුත්තක් නොවේ. සාකච්ඡා කළ යුත්තේ අනිවාර්යයෙන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරවීමේ ක්‍රමවේදය යි.
ඇබ්බැහිවූවකු අධිකරණයට ඉදිරිපත් කළ පසු මේ අනිවාර්ය යොමු කිරීම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් විධාන ඇත්තේ පනතේ 10 වගන්තියේ ය.
අනිවාර්ය පුනරුත්ථාපනය සඳහා තැනැත්තකු යැවීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලැබෙන්නේ පනතේ 10(3) වගන්තියෙනි. කෙසේවෙතත් ඒ සඳහා එකී තැනැත්තා සම්බන්ධයෙන් පනතේ 10(1) සහ (2) වගන්තිවල විධාන අනුගමනය කර තිබිය යුතු ය.
ඒ අනුව පනතේ 10(1) සහ (2) වගන්තිවල දැක්වෙන විධාන සැලකිල්ලට ගැනීම වටී.
10(1) වගන්තියේ දැක්වෙන ආකාරයට ඇබ්බැහිවූවකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය ඇරඹෙන්නේ පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියකුට ලැබෙන තොරතුරක් අනුව ය. මෙකී තොරතුර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තියේ දැක්වෙන තොරතුර ලෙසින් ම අර්ථ දැක්වීමට නොහැක. එම තොරතුර ලැබෙන්නේ අපරාධයක් නැත්නම් වරදක් සම්බන්ධයෙනි. යම් තැනැත්තකු අන්තරායදායක ඖෂධ පුරුද්දක් ලෙසින් පාවිච්චි කිරීම හා එනිසා ඊට ඇබ්බැහි වීම ලංකාවේ නීතියට අනුව අපරාධයක් හෝ වරදක් නොවේ. මෙනිසා මෙකී තොරතුර ලැබූ පසුව එවැනි තැනැත්තකු අත්අඩංගුවට ගැනීමේ බලයක් පොලිස් නිලධාරියකුට ලැබේ යැයි සිතිය නොහැක. මේ ආකාරයට තොරතුරු ලද පසුව ස්ථාන භාර නිලධාරියා සිදු කළ යුත්තේ අදාළ තැනැත්තාව රජයේ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවීමට අවශ්‍ය පියවර ගැනීමයි. මේ පියවර මොනවාදැයි වගන්තියේ හෝ පනතේ විස්තර කර නැත. සාමාන්‍යයෙන් මෙනිසා මෙවැනි තැනැත්තන් අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයාට ඉදිරිපත් කර කෙටි හෝ සම්පූර්ණ වෛද්‍ය වාර්තාව සමඟ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට වුවද හැකියාවක් ඇත. නමුත් පෙර දී සඳහන් කළ ආකාරයට 10(1) වගන්තියෙන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් ලබා දී නැති නිසා මෙවැනි ක්‍රියාවක් අනුගමනය කරන්නේ නම් ප්‍රවේශම් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි අවස්ථාවකදී සුදුසු සහ යහපත් ම ක්‍රියාව වන්නේ ඇබ්බැහි වූ තැනැත්තා පිළිබඳව තොරතුර ලැබීමෙන් පසුව අධිකරණයට කරුණු වාර්තා කොට මුල් අවස්ථාවේ දී අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීම බව අපගේ හැඟීම යි. එම නියෝගය ලබා ගත යුත්තේ අදාළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නොවේ. එම තැනැත්තාව රජයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරවීමට ය. මේ ආකාරයට වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ පසුව ඔහු විසින් අදාළ තැනැත්තාව පරීක්ෂා කරන අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව, ඇබ්බැහි වූ තැනැත්තා තමුන් වෙත ඉදිරිපත් කළ ස්ථානාධිපතිට හෝ පොලිස් නිලධාරියාට ලබා දිය යුතු ය. එකී වාර්තාවේ දී යම් හෙයකින් ඇබ්බැහි වූ බව කියන තැනැත්තා ඇබ්බැහි වී නැත්නම් ඒ බව සඳහන් විය යුතු අතර ඇබ්බැහි වී ඇත්නම් එසේ තීරණය කිරීමට වන හේතු සඳහන් කළ යුතු ය.
මේ හේතු සම්බන්ධයෙන් වන විට පනතේ 13 වගන්තිය ද වැදගත් වේ. එහි දැක්වෙන ආකාරයට හේතු දැක්වීමේ දී තමන් එකී නිගමනයට එනම් ඇබ්බැහිවූවකු බවට වන නිගමනයට පැමිණීමේ හේතු නිශ්චිතව සඳහන් කළ යුතු අතර වෙනත් අය විසින් වෛද්‍යවරයා වෙත දැනුම් දෙන ලද කරුණු අනුව ඔහුට පෙනෙන අවස්ථාගත කරුණු ද සවිස්තරව දැක්විය යුතු ය. යම් හෙයකින් වෛද්‍ය වාර්තාවේ දී අදාළ තැනැත්තා ඇබ්බැහිවූවක් බවට තීරණය කිරීමට වෛද්‍යවරයාට ඇති හේතුව අනුන්ගෙන් ලද තොරතුරු පමණක් බව සඳහන්ව ඇත්නම් කිසිඳු ආඥාවක් කිරීමට මහේස්ත්‍රාත්වරයා බැඳී නොසිටින බව පනතේ 13(2) වගන්තියේ දැක් වේ.
එසේම ඇබ්බැහිවීමේ ප්‍රමාණය පිළිබඳ විස්තර ද ඇතුළත් විය යුතු ය. විශේෂයෙන්ම වෛද්‍ය වාර්තාවේ දී ඇබ්බැහිවීමේ ප්‍රමාණය පිළිබඳව දැක්වීම වැදගත් වන්නේ අදාළ තැනැත්තා පුනරුත්ථාපනය සඳහා යොමු කරන කාලසීමාව පිළිබඳව නිගමනයකට එළඹීමට එයින් මහේස්ත්‍රාත්වරයාට හැකියාව ලැබෙන නිසාවෙනි. මේ අනුව ඇබ්බැහි වූ බව කියන තැනැත්තකු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තාවක අනිවාර්ය අවශ්‍යතා දෙකක් පවතින බව පැහැදිලි ය. ඒ, අදාළ තැනැත්තා ඇබ්බැහි වූවකු බව වෛද්‍යවරයා නිර්ණය කරනවා නම් ඊට හේතු සහ ඇබ්බැහි වීමේ ප්‍රමාණය යි.
10(2) වගන්තිය අනුව යම් හෙයකින් අදාළ තැනැත්තා අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහිවූවකු බව වෛද්‍යවරයා තීරණය කර ඇත්නම් ස්ථාන භාර නිලධාරියා විසින් එම තැනැත්තා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු හෝ ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතු ය.
මෙකී විධාන අනුගමනය නොකරන අවස්ථාවකදී මහේස්ත්‍රාත්වරයා විසින් යම් තැනැත්තකු පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් බොහෝදුරට එකී තැනැත්තාට මහේස්ත්‍රාත්වරයාගේ එකී ආඥාවට එරෙහිව ප්‍රතිශෝධන ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව පෙනී යයි.
එසේම මේ පනත යටතේ වැරදි දැක්වෙන්නේ පනතේ 14, 16, 17 හා 18 වගන්තිවල පමණි. මෙනිසා ඇබ්බැහිවූවකු යැයි කියමින් කෙටි වෛද්‍යවාර්තාව මත මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කරන තැනැත්තකු පූර්ණ වෛද්‍යවාර්තාව ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලීමට හැකියාව පොලිස් නිලධාරියකුට මෙයින් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම මේ පනතේ 10 වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන තැනැත්තා සැකකරුවකු හෝ චූදිතයකු නොවේ. එය අධිකරණයද පොලීසිය ද මතකයේ තබා ගත යුතු ය.
මීට අමතරව පනතේ 10(4) වගන්තිය අනුව ද යම් තැනැත්තකු පුනරුත්ථාපනයට යොමු කිරීමට හැක. එසේ යොමු කළ හැක්කේ විෂ ද්‍රව්‍ය, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනත යටතේ වන වරදකට වැරදිකරුවූවකු පමණි. එවැනි වරදකට දඬුවම් නියමවූවකුට ඉදිරිපත් වූ දිව්රුම් සාක්ෂි අනුව අදාළ තැනැත්තා අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහි තැනැත්තකු බවට අධිකරණය (මෙය මහාධිකරණය වුවද විය හැක) සෑහීමට පත් වූ විට, අදාළ තැනැත්තාගේ ඇබ්බැහිවීමේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන (මෙහිදී ඇබ්බැහිවීමේ ප්‍රමාණය පිළිබඳව නිර්ණය කිරීමට අවශ්‍ය නම් වෛද්‍ය වාර්තාවක් වුවද කැඳවිය හැකි බව පනතේ 13(1) වගන්තිය අනුව පෙනී යයි) අධිකරණය විසින් ඒ තැනැත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට භාර දිය හැකිය. එවැනි විටක ප්‍රතිකාර ලබා ගෙන ඇති කාලය, දඬුවමේ කොටසක් ලෙසින් සැලකීමට ද අධිකරණයට හැකියාව ඇත.
මෙකී අවස්ථාවේදී වැදගත් වන්නේ ප්‍රතිකාර සඳහා යොමු වන තැනැත්තා දඬුවම් නියම වූ තැනැත්තකු වීමයි.
ඉහතින් සාකච්ඡා කිරීමට යෙදුන කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට සිතුවේ මේ සම්බන්ධයෙන් තවමත් වෘත්තකයන් තුළ ප්‍රමාණවත් කතිකාවතක් මතු ව ඇති බවක නොපෙනෙන නිසාවෙනි.
Comments
Post a Comment