1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු
1995 අංක
14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත තවමත් නීතියේ දී වැදගත් වන පනතකි. විශේෂයෙන් ම
අපරාධ අධිකරණයන්හි නඩු කටයුතුවල යෙදෙන අයවලුන්ට වීඩියෝ/ඔ්ඩියෝ සාක්ෂි මෙහෙයවීමේ දී
මේ පනත වැදගත් වේ.
මේ පනතේ 7 වන වගන්තිය නඩු තීන්දු කීපයකදී ම අර්ථ නිරූපනයට ලක්ව ඇත. එහි දැක්වෙන්නේ පනත යටතේ සාක්ෂියක් මෙහෙය වීමට බලාපොරොත්තු වන පාර්ශ්වයක් විසින් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියේ කොටසකි. ඒ අනුව 7(1)(අ) වන වගන්තියෙන් දක්වන්නේ එවැනි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාර්ශ්වය විසින් පරීක්ෂණය හෝ නඩු විභාගය පැවැත්වීමට නියමිත දිනයට දින 45 කට පෙර අදාළ පියවර ගත යුතු බවයි.
මේ 7(1)(අ) වගන්තියේ දැක්වෙන ‘පරීක්ෂණය හෝ නඩු විභාගය පැවැත්වීමට නියම කර ඇති දිනට දින හතළිස් පහකට පෙර’ යන පාඨය අර්ථ දැක්වීමේ දී අභියාචනා අධිකරණයේ නඩු තීන්දු මත දෙකක සිටින බව පෙනේ.
එයින් එක් මතයක් වන්නේ මේ කියන්නා වූ දිනය, නඩුවේ පළමු විභාග දිනයට පෙර දින 45 ක් විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වන විට CA /COC /0005/2017 decided on 23.11.2021 නියෝගය වැදගත් වේ.
අනෙක් මතය වන්නේ මේ කියන්නා වූ දිනය පළමු විභාග දිනය නොව ඔ්නෑම විභාග දිනයකට පෙර විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් වන විට KAATSU HIGHLY ADVANCED MEDICAL TECHNOLOGY TRAINING CENTER v. A.G. SHENAL PIGERA [C A PHC APN No: CPA/117/2023 decided on 10.11.2023] නියෝගය වැදගත් වේ.
මේ KAATSU HIGHLY ADVANCED MEDICAL TECHNOLOGY TRAINING CENTER නියෝගය පෙර කී CA/COC/0005/2017 නියෝගය අධිතීරණය කර නැත. මේ නියෝග දෙකම අභියාචනාධිකරණයේ ද්විපුද්ගල නියෝග වේ. නියෝග දෙකේ දී ම විනිසුරුතුමන්ලා තමුන්ගේ මතය සම්බන්ධයෙන් හේතු දක්වා ඇත.
එකම කරුණ සම්බන්ධයෙන් මේ ආකාරයට නියෝග දෙකක් දෙයාකාරයකට පවතින විට කුමන නියෝගය තෝරා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවීම සාමාන්‍ය දෙයකි.
1995 අංක 14 දරන පනතේ 7(1)(අ) වන වගන්තිය අනුව මෙහිදී සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ සාක්ෂියක් ඉදිරිපත් කිරීම ය. අපරාධ නඩුවකදී චූදිතයකුට එරෙහිව කැඳවීමට බලාපොරොත්තු වන සාක්ෂි පිළිබඳව පැමිණිල්ල විසින් නඩු විභාගයට පෙර චූදිතට දැන්වීමට බැඳී සිටී. මේ පිළිබඳව ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ පවතී. සිවිල් නඩුවකදී මේ පිළිබඳව වන තත්ත්වය පැහැදිලි ය. එය නඩු විභාගයට පෙර සිදු කළ යුතු ය.
අපරාධ නඩුවකදී මේ අනුව තමුන් චූදිතයකුට එරෙහිව මෙහෙයවීමට බලාපොරොත්තු වන සාක්ෂි පිළිබඳව නඩු විභාගයට පෙර දැනුම් දීම නොකිරීම, සාධාරණ නඩු විභාගයක් සඳහා වන චූදිතයාට ඇති අයිතියට අගතිදායී වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනිසාවෙන් ම නඩු විභාගයට පෙර චූදිතට එරෙහිව කැඳවීමට බලාපොරොත්තු වන සාක්ෂි මොනවාද යන්න දැනුම් දීමේ වගකීම පැමිණිල්ලට පවරා ඇත. මෙය බැඳී පවතින්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයත් සමග ය.
ඒ තත්ත්වය සමග සැලකීමේ දී මේ කියන්නා වූ 1995 අංක 14 පනතේ 7(1)(අ) වගන්තියේ දී නඩු විභාගයට පෙර ලෙසින් දැක්වීමේ දී පළමු නඩු විභාග දිනය ලෙසින් සඳහන් කර නැති වුවද අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වන විට මෙයින් අදහස් කරන්නේ එය බව පෙනී යයි. එසේ වන විට CA/COC/0005/2017 නියෝගය සමග එකී තත්ත්වය ගැලපෙන්නේ යැයි කෙනකුට කිව හැක.
කෙසේවෙතත් අපරාධ නඩු විභාගයේදී චූදිත විසින් සාක්ෂි ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් දක්වා නැත. එය දක්වා ඇත්තේ පැමිණිල්ලට පමණි. මෙනිසා චූදිතයකු සම්බන්ධයෙන් වන විට මෙකී 7(1)(අ) වගන්තියේ බලපෑම සලකා බැලීමේ දී දක්නට ලැබෙන්නේ ඔහුට නඩුවේ වෙනත් විභාග දිනයකට පෙර වුව ද කටයුතු කිරීමට අවස්ථාව ඇති බවයි. නමුත් ලංකාවේ අපරාධ සාක්ෂි නීතිය අනුව චූදිතයාගේ සාක්ෂි, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට ඉදිරිපත් කර නොමැති විට දී ඇත්තේ අවම වටිනාකමකි. ඒ තත්ත්වය චූදිතයා විසින් සිහි තබා ගත යුතු වේ.
මෙහි දක්වා ඇත්තේ අපගේ මතයක් පමණි. මේ සම්බන්ධයෙන් ඔබට වෙනත් අදහස් තිබිය හැක.
Comments
Post a Comment