සැකකරුවකු විදෙස්ගත වීම හා මහේස්ත්‍රාත් අධිකරණය
යම් තැනැත්තකු ආකාර දෙකකට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැක. ඒ සැකකරුවකු ලෙසින් මෙන්ම චූදිතයෙකු ලෙසිනි. මේ දෙදෙනා එකිනෙකට වෙනස් නෛතික බලපෑම් දරණ අයවලුන් වෙති. නමුත් දෙදෙනාම එකම තැනැත්තෙක් වෙයි. වන්නේ තත්වය වෙනස් වීමයි. සමහරු සැකකරු වී චූදිතයෙකු බවට පෙරලේ. සමහරු සැකකරුව සිට එතැනින්ම අවසන්ව යයි. මේ කෙටි ලිපිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැකකරුවකු විදෙස්ගත වීමට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේදී වන තත්වය පිළිබඳවය.
සැකකරුවෙකුට නීතිඥ සහය ලබාගැනීමට ඇති හැකියාව අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තිය යටතේ සඳහන්ව තිබේ. නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 260 වගන්තියේ විධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවෙන් ලැබෙන නීතිඥ සහාය ලබාගැනීමේ අයිතිය හෝ ICCPR පනතේ 4(1) වගන්තිය යටතේ නීතිඥ සහාය ලබැගැනීමට ඇති අයිතියට එම අයිතිය අන්තර්ගත වන්නේ නැත.
එසේම සැකකරුවෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 144 වගන්තියේ විධාන අදාළ වන්නේ ද නැත. 144 වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කරනු ලබන කවර හෝ විටක ස්වකිය අභිමතය පරිදි පුද්ගලිකව පෙනී සිටින ලෙස නියම නොකොට නීතිඥවරයෙකු මගින් පෙනී සිටීමට චූදිතයාට අවසර දිය හැක.
ඒ අනුව සැකකරුට නීතිඥ සහාය ලබා ගැනීමට හැකි වුවද ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය යුතු වේ. එම පසුබිම මත මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින සැකකරුවකු විදෙස්ගත වීම පිළිබඳව සළකා බැලිය යුතුය. සැකකරු විසින් ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විදෙස්ගත වීම සඳහා අවසර ඉල්ලා සිටින අවස්ථා දක්නට ලැබේ.
මෙහිදී පලමුවෙන් සඳහන් කළ යුතු දෙය වන්නේ විදෙස් ගමන් තහනම් කර නැති පුද්ගලයෙකු විසින් එවැනි ඉල්ලීමක් කිරීමට අවශ්‍යතාවක් නැති බවයි. එවැනි ඉල්ලීමක් කළයුතු වන්නේ විදෙස්ගමන් තහනම් කර ඇති අයෙකු විසිනි. එය එසේ වුවත් සැකකරුවෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවන විට පුද්ගලිකව පෙනී සිටිය යුතුය. ඒ අනුව එම සැකකරු විදෙස් ගතව සිටියත් නඩු දිනයට අධිකරණයේ පෙනී සිටිය යුතුය.
එසේ නොවන විට වරෙන්තුවක් නිකුත් විය හැක. යම් අවස්ථා වලදී නීතිඥවරු සැකකරු සම්බන්ධයෙන් වන විට සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට බලය පැවරූ ලිපි ඉදිරිපත් කරති. මෙය එක හෙලාම නීතියට පටහැනි භාවිතාවකි. සැකකරුවෙකුට නියෝජිතයකු මගින් අධිකරණයේ පෙනී සිටීමට පියවර ගත නොහැකිය. එවැනි තත්ත්වයක් ලංකා අපරාධ නීතියෙන් පිළිගෙන නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකරු විදෙස්ගත වුවද නඩුව අඬගහන දිනයේදී පෙනී සිටීමට සිදු වීමයි. ඒ වෙනුවෙන් නීතිඥවරයා පෙනී සිටීම ප්‍රමාණවත් නැත. මහේස්ත්‍රාත් අධිකරණයකදී සැකකරුවෙකු විදෙස්ගත වීම හඳුනාගත යුත්තේ එම තත්ත්වය තුලය.
ඒ අනුව අවසන් වශයෙන් කිව හැක්කේ මහේස්ත්‍රාත් අධිකරණයකදී සැකකරුවෙකුට නීතිඥ නියෝජනයක් තිබුණ ද, නැතිද, විදෙස්ගමන් තහනම් කර නැත්නම් විදෙස්ගත විය හැකි බවත්, එසේ විදෙස්ගත වුවත් නඩුව අඬගහන දිනයේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටිය හොත් වරෙන්තුවට ලක්විය හැකි බවත්ය. නීතිඥවරයා පෙනි සිටියා කියා එයින් ගැළවීමට සැකකරුට හැකියාව නැත.
Comments
Post a Comment