නඩත්තු නඩුවකදී විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීම
මෙම ලිපියේදී නඩත්තු නඩුවකට අදාළව විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කෙටියෙන් විමසීමට මා අදහස් කරමි.
නඩත්තු පනතේ 5 වගන්තියට අනුව නඩත්තු ගෙවීම සඳහා පනතේ 2 වගන්තිය හෝ 11(1) වගන්තිය යටතේ ආඥාවක් ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇත. මෙකී ආඥා දෙකෙන් කුමන ආඥාවක් හෝ ලබා දී ඇති අවස්ථාවක, එකී ආඥාවෙන් බලපෑමට ලක්ව ඇති තැනැත්තා ඒ ආඥාවට අනුව කටයුතු කිරීම නොසලකා හැර ඇති විටක, ඒ පැහැර හරින දීමනාව වෙනුවෙන් බන්ධනාගාර ගත කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට ද මහේස්ත්රාත්වරයාට බලය ඇත. කෙසේවෙතත් ඒ සඳහා පනතේ 10 වගන්තියේ විධාන අනුව කටයුතු කර තිබිය යුතු ය.
පනතේ 10 වගන්තිය මෙහිදී සිහිපත් කළහොත් එහි දැක්වෙන්නේ අදාළ ඉල්ලීම ඉල්ලුම්කරු විසින් හෝ ඉල්ලුම්කරු වෙනුවෙන් අත්සන් කර ලියවිල්ලකින් සිදු කරනු ලැබිය යුතු බවයි. මේ හා බැඳුණු 11 වගන්තියේ දී දැක්වෙන්නේ එකී ඉල්ලීම දිව්රුම් පෙත්සමකින් සනාථ කරනු ලැබිය යුතු බවත්, එයින් මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත් වන්නේ නම් අදාළ ඉල්ලීම ප්රදානය නොකිරීමට හේතු දක්වන ලෙසින් එහි දැක්වෙන තැනැත්තාට දිව්රුම් ප්‍රකාශයේ පිටපතක් සමඟ යොමු කරනු ලැබිය යුතු බවත් ය.
දැන් යම් පාර්ශ්වයක් විසින් නඩත්තු ආඥාවක් අනුව වගඋත්තරකරුවකු මුදල් නොගෙවන්නේ නම් සහ ඒ අනුව වගඋත්තරකරුට සිරදඬුවම් ලබා දීමේ ඉල්ලීමක් කරන්නේ නම් මෙකී පනතේ 10 සහ 11 වගන්ති යටතේ ක්‍රියා කළ යුතු වේ.
ඉන් පසුව මහේස්ත්රාත්වරයාට පනතේ 11(2) වගන්තිය අනුව තමන්ට අවශ්‍ය යැයි සලකන පරීක්ෂණයකින් පසුව ඉල්ලීමට අවසර දෙමින් හෝ ප්‍රතික්ෂේප කරමින් ආඥාවක් කරනු ලැබිය හැකි අතර 5 වන වගන්තිය යටතේ ආඥාවක් සිදු කල හැක.
ඉහත කී ආකාරයට පනතේ 5 වගන්තිය අනුව වගඋත්තරකරුවකු බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා ආඥා කිරීමට තීරණය කරන විටකදී අවශ්‍ය නම් 5(2) වගන්තිය අනුව විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීමට ද අවස්ථාව ලබා දී තිබේ. එහි දැක්වෙන ආකාරයට මෙකී බලපත්‍රය/වරෙන්තුව නිකුත් කරනු ලැබිය යුතු වන්නේ පෙර කී ආකාරයට බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩන නියමය කරනු ලැබීමට පෙර ය. මීට අදාළ අනෙක් නීතිය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 291(2) වගන්තියේ ඇතුළත් වේ.
කෙසේවෙතත් පෙර කී 291(2) වගන්තියට අනුව විනිග්‍රහණ බලපත්‍රයක් යටතේ විනිග්රහණය කළ හැක්කේ වගඋත්තරකරුට අයත් චංචල දේපළක් පමණි. මෙකී බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ අදාළ අධිකරණයේ පිස්කල්වරයා වෙත වන අතර ලංකාවේ කවර හෝ ස්ථානයකදී වුවද ක්රියාවේ යෙදවිය හැක. යම් හෙයකින් නිකුත් කරන අධිකරණ බලසීමාවෙන් පිටත අධිකරණ බලසීමාවකදී එය ක්‍රියාත්මක කිරීමට වන්නේ නම් ඒ අධිකරණ බල සීමාවේ මහේස්ත්‍රාත්වරයකු විසින් එය පිටසන් කර තිබිය යුතු ය. 291(3) වගන්තියට අනුව වගඋත්තරකරුගේ සහ ඔහුගේ පවුලේ අයගේ ඇඳුම් පැළඳුම් ද රු.250/- ක් දක්වා වටිනාකමින් යුත් බීජ ධාන්‍ය ද ඇතුළුව ඔහුගේ වෘත්තීය මෙවලම් හා උපකරණ ද විනිග්‍රහණ බලපත්‍රයක් යටතේ ගැනීම නොකළ යුතු ය.
කනපතිපිල්ලෛ එ. සෝනම්මා (59 න.නී.වා.404) නඩු තීන්දුවේ දී සිද්ධිමය කරුණු අනුව නඩු වාර්තාවේදී වගඋත්තරකරුට එරෙහිව මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ නඩත්තු ගෙවීමේ ආඥාවක් දක්නට නොලැබිණි. එහි තිබුනේ සමථයක් ප්‍රකාරව නඩත්තුව සඳහා මාසික දීමනාවක් ගෙවීමේ එකඟතාවක් ය (අදටත් මෙවැනි අවස්ථා දක්නට ලැබේ). එකී එකඟතාවය අනුව යම් කාලයක් දීමනාව ගෙවනු ලැබූ වගඋත්තරකරු එය ගෙවීම නොසලකා හරින ලදි. ඒ අනුව ඉල්ලුම්කාරිය අධිකරණයේ පෙනී සිට ගණනය කරනු ලැබූ හිඟ වාරික සඳහා විනිග්‍රහණ බලපත්‍රයක් ඉල්ලා සිටින ලදි. මහේස්ත්රාත්වරයාද ඒ අනුව විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් සිල්වා විනිසුරුතුමා විසින් දක්වන්නට යෙදුනේ නඩත්තු ආඥාපනතේ 2 වගන්තිය යටතේ නියෝගයක් නොමැති විටක එහි 8 වගන්තිය යටතේ කටයුතු කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීමට කරනු ලැබූ ආඥාව නීතිවිරෝධී ආඥාවක් වන බවයි.
ඒ අනුව නඩත්තු පනතේ 5(1) වගන්තිය යටතේ කටයුතු කර, වගඋත්තරකරුවකුට සිර දඬුවම් ලබා දීමට තීරණය කරන අවස්ථාවකදී පමණක් විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයාට බලය ලැබේ. ඒ සඳහා,
1. පනතේ 2 හෝ 11(1) වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ නඩත්තු නියෝගයක් තිබිය යුතු ය. මෙහිදී පාර්ශ්වයන් ගෙවීම සම්බන්ධයෙන් සමථයකට එළඹුනද මහේස්ත්‍රාත්වරයා විසින් ඒ සඳහා නියෝගයක් ලබා දිය යුතු වේ.
2. එකී නඩත්තු නියෝගය අනුව මුදල් ගෙවීමට ක්‍රියා කිරීම වගඋත්තරකරු නොසලකා හැර තිබිය යුතු ය.
3. එම නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉල්ලුම්කරු විසින් අදාළ හිඟ මුදල් ගණනය කොට දිව්රුම් පෙත්සමකින් සනාථ කළ එම මුදල සඳහන් ලිඛිත ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරයා වෙත සිදු කර තිබිය යුතු ය.
4. එම දිව්රුම් පෙත්සම වගඋත්තරකරුට යොමු කොට එකී ඉල්ලීම ඉල්ලුම්කරුට ලබා නොදීමට හේතු ඇත්නම් දැක්වීමට වගඋත්තරකරුට අවස්ථාව ලබා දී තිබිය යුතු ය.
5. ඒ අනුව මහේස්ත්රාත්වරයාට අදාළ හිඟ මුදල් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම කිරීමට තීරණය කළ යුතු ය.
එවැනි විටක පමණක් විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කරනු ලැබිය හැක.
Comments
Post a Comment