Skip to main content

සිවිල් නඩුවකදී සිතාසි භාර දීම සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය - කෙටියෙන්.


 

සිවිල් නඩුවකදී සිතාසි භාර දීම සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය - කෙටියෙන්.

සාමාන්‍ය ක්‍රමවේදය

සිවිල් නඩුවකදී සාමාන්‍යයෙන් කැඳවීම් නියෝග භාරදෙන්නා මගින්, ලියාපදිංචි තැපෑලෙන් හෝ කූරියර් සේවාව මගින් සිතාසි භාරදෙනු ලැබිය යුතු ය. මෙහි දැක්වෙන කැඳවීම් නියෝග භාරදෙන්නා යනු අධිකරණය විසින් විධාන කරනු ලබන පරිදි අධිකරණ බල සීමාව ඇතුළත හෝ අධිකරණ බලසීමාවෙන් පිටත අධිකරණයේ ලේඛන භාරදෙන්නා වූ පිස්කල්වරයකු, නියෝජ්‍ය පිස්කල්වරයකු, විනිසුරුවරයා හෝ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් බලය දෙනු ලබන නිලධරයකු හෝ විත්තිකරු පදිංචිව සිටින්නේ යම් ග්‍රාම නිලධාරී කොට්ඨසයක් තුළ ද ඒ ග්‍රාම නිලධරයා වේ.

ඒ අනුව ප්‍රථමයෙන් ම සිතාසි භාර දීම කරන්නේ ලියාපදිංචි තැපෑලෙන් හෝ කූරියර් මගිනි. ඒ සඳහා විත්තිකරුගේ නිවැරදි ලිපිනය සැපයීම කළ යුතු ය. කූරියර් මගින් සිතාසි යැවිය හැකි වුවද කුමන කූරියර් සේවාව මගින් කූරියර් යැවිය යුතු වන්නේ ද යන්න පිළිබඳව විධානයක් නැත.

ලියාපදිංචි තැපෑලෙන්හෝ කූරියර් මගින් සිතාසි භාරදීම කළ විට ලියාපදිංචි තැපැල් ලිපියේ කුවිතාන්සිය හෝ කූරියර් සේවාව හරහා ගෙනගොස් භාරදුන් බවට සාධක, සිතාසිය භාරදෙනු ලැබූ බවට සහ ඒ භාරදීමේ දිනය පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂියක් වන අතර එය සාක්ෂියේ දී ආවේශ්‍ය විය යුතු වේ. එසේම එහි ඇතුළත් ප්‍රකාශ, පටහැනි තත්ත්වය ඔප්පු කළහොත් මිස හා ඔප්පු කරනු ලබන තෙක් නිරවද්‍ය ලෙසින් සලකනු ලැබිය යුතු වේ.

විද්‍යුත් තැපෑල මගින් සිතාසි

අමතරව විද්‍යුත් තැපෑල හරහා ද සිතාසි භාරදීමේ හැකියාව ඇත. එසේ විද්‍යුත් තැපෑල හරහා සිතාසි භාර දීමට පැමිණිලිකරු අපේක්ෂා කරන විට අවශ්‍ය සියලු ලේඛන (පැමිණිල්ලේ පිටපත් ඇතුලු ලේඛන) ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ. මේ සඳහා නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය ද සැපයිය යුතු ය.

විද්‍යුත් තැපෑල මගින් සිතාසි යැවීම කරනු ලැබූ විට රෙජිස්ට්‍රාර්වරයා විසින් විද්‍යුත් තැපෑලෙන් යැවූ බවට වන සාධක නඩු වාර්තාවට ගොනු කළ යුතුය. එකී සාධකය පෙර දැක් වූ ලෙසට සිතාසිය භාරදෙනු ලැබූ බවට හා ඒ භාරදීමේ දිනය පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂියක් වේ.

සේවායෝජකයකු මගින් සිතාසි භාරදීම

සමාගමක් හෝ සංස්ථාපිත මණ්ඩලයක් සම්බන්ධනේ වන විට එම සමාගමේ හෝ සංස්ථාපිත මණ්ඩලයේ ලියාපදිංචි කාර්යාලයට හෝ එහි ප්‍රධාන ව්‍යාපාර ස්ථානයට මේ ආකාරයට සිතාසි භාරදෙනු ලැබිය හැක. විත්තිකරු රජයේ සේවකයකු වන විට එකී විත්තිකාර රජයේ සේවකයාගේ ප්‍රධානියා මාර්ගයෙන් විත්තිකරු වෙත සිතාසි භාරදෙනු ලැබිය හැක. එසේම විත්තිකරු වෙනත් තැනැත්තකු යටතේ සේවය කරන බවට අධිකරණය සෑහීමට පත් වන විට එම සේවායෝජක මාර්ගයෙන් විත්තිකරුට සිතාසි භාරදෙනු ලැබීමට හැකියාව ඇත. මේ ආකාරයට විත්තිකරු සේවය කරන ආයතනයේ ප්‍රධානියා මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් හෝ කූරියර් මගින් හෝ විද්‍යුත් තැපෑල මාර්ගයෙන් සිතාසි යොමු කළ විට එය විත්තිකරුට භාරදීමට සැලැස්වීම ආයතන ප්‍රධානියාගේ යුතුකම වේ.

කැඳවීම් භාරදෙන්නා මගින් සිතාසි භාර දීම

යම් හෙයකින් ලියාපදිංචි තැපෑලෙන් හෝ කූරියර් ක්‍රමයට විත්තිකරුවකුට සිතාසි භාරදීමට නොහැකි වූ විට කැඳවීම් නියෝග භාරදෙන්නා මගින් සිතාසි භාරදීමට හැකියාව ඇත. ඒ අනුව කැඳවීම් නියෝග භාරදෙන්නා මගින් සිතාසි භාර දෙන විට සිතාසිය සමග 1 වන උපලේඛනයේ 17 දරණ ආකෘතියෙහි වූ අණ පත්‍රයක් ද සහිත විය යුතු ය. මෙනිසා එකී අණ පත්‍රයේ පිටපත් ද පැමිණිලිකරු විසින් සැපයිය යුතු වේ. මෙම අණපත්‍රය ලැබෙන්නේ කැඳවීම් භාරදෙන්නා හට ය.

ඒ අනුව විත්තිකරු වෙත සිතාසි භාරදීමෙන් පසු, කැඳවීම් නියෝග භාරදෙන්නා විසින් සිතාසි භාරදුන් බවට පිළිගැනීමක් ලෙස අණ පත්‍රයේ එම විත්තිකරුගේ අත්සන හෝ මහපට ඇඟිලි සලකුණ ලබා ගත යුතු ය. මේ ආකාරයට කටයුතු කරන කැඳවීම් භාරදෙන්නා විසින් විත්තිකරු වෙත සිතාසි භාරදුන් ආකාරය දක්වමින් සිතාසි භාරදෙනු ලැබූ තැනැත්තාගේ අනන්‍යතාවය, දිනය, වේලාව සහ ස්ථානය පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් සමග අණපත්‍රය අධිකරණය වෙත භාරදෙනු ලැබිය යුතු වේ. යම් හෙයකින් විත්තිකරු විසින් අණපත්‍රයේ සිය අත්සන හෝ මහපට ඇඟිලි සලකුණු තැබුවේ ද තැබීම ප්‍රතික්ෂේප කළේ ද යන වග ද වාර්තාවේ සඳහන් කළ යුතු ය. මෙසේ විත්තිකරු විසින් අත්සන හෝ මහපට ඇඟිලි සලකුණ තැබීම ප්‍රතික්ෂේප කිරීම, සිතාසි භාරදීම අවලංගු කරනු ලැබීමක් ලෙසින් සලකන්නේ නැත. ඒ අනුව කැඳවීම් භාරදෙන්නා විසින් විත්තිකරු විසින් අත්සන හෝ ඇඟිලි සලකුණ තැබීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා කළ විට ද එය භාරදීමක් ලෙසින් සැලකීමේ හැකියාව ඇත.

කැඳවීම් භාරදෙන්නා විසින් සිතාසි භාරදෙනු ලැබූ විට ඒ බවට ඔහු විසින් ඉදිරිපත් කරන දිව්රුම් ප්‍රකාශයක් පෙර දැක් වූ ලෙසට සිතාසිය භාරදෙනු ලැබූ බවට හා ඒ භාරදීමේ දිනය පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂියක් වේ.

සිතාසි අලවා භාරදීම

නිසි උද්යෝගයකින් ක්‍රියා කරනු ලැබුවත් ඉහත කී ආකාරයට විත්තිකරුවකුට සිතාසි භාරදීමට නොහැකි වන්නේ නම් පැමිණිලිකරුගේ උපරිම දැනුමට අනුව විත්තිකරු, ශීර්ෂයේ සඳහන් ලිපිනයේ පදිංචිව සිටින බවත් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් නොවන බවත් සඳහන් කරමින් පැමිණිලිකරු ලබා දෙන දිව්රුම් ප්‍රකාශය අනුව අධිකරණය විසින් විත්තිකරු විසින් සාමාන්‍යයෙන් වාසය කරන නිවසේ යම් ප්‍රකටව පෙනෙන ස්ථානයක හෝ සමාගමක් හෝ සංස්ථාපිත මණ්ඩලයක් වන විට එම සමාගමේ හෝ සංස්ථාපිත මණ්ඩලයේ ලියාපදිංචි කාර්යාලයේ හෝ සාමාන්‍ය ව්‍යාපාර ස්ථානයේ හෝ කාර්යාලයේ ප්‍රකටව පෙනෙන ස්ථානයක සිතාසිය අලවනු ලැබීමට කැඳවීම් නියෝග භාරදෙන්නාට නියම කරනු ලැබිය හැකි අතර ඒ සෑම අවස්ථාවකදී ම ඒ සිතාසිය යථා පරිදි විත්තිකරුට භාරදෙනු ලැබූ ලෙසින් සැලකිය යුතු ය.

පුවත්පත්වල පළ කිරීමෙන් සිතාසි භාරදීම

යම් හෙයකින් පැමිණිලිකරු විසින් ලබා දුන් විත්තිකරුගේ ලිපිනයේ දී විත්තිකරුට පෞද්ගලිකව සිතාසි භාරදීමට නොහැකි වූ බව කැඳවීම් නියෝග භාරදෙන්නා විසින් වාර්තා කරනු ලබන අවස්ථාවක සහ විත්තිකරු වාසය කරන ස්ථානය පිළිබඳව පැමිණිලිකරු නොදැනුවත් බවට දිව්රුම් ප්‍රකාශයක් මගින් පැමිණිලිකරු අධිකරණයට දැනුම් දෙනු ලැබූ විටක එම දිව්රුම් ප්‍රකාශයේ ඇතුළත් දේ පිළිබඳව සෑහීමට පත් වීමෙන් පසුව අධිකරණය විසින් අධිකරණය විසින් එක් එක් අවස්ථාවේ දී විධාන කරනු ලැබිය හැකි පරිදි සිතාසි භාෂා තුනෙන් ම පුවත්පත්වල පළකරනු ලැබීමෙන් ඒවා භාරදිය යුතු බවට ආඥා කරනු ලැබිය හැකි ය. මෙවැනි අවස්ථාවකදී එකී පුවත්පත් දැන්වීම්වල පිටපත් භාරදීම ඔප්පු කිරීම සඳහා සාක්ෂි ලෙසින් සැල කේ.

නිශ්චල දේපලක් සම්බන්ධ නඩුවකදී අනුයෝජිත මගින් හෝ අලවා සිතාසි භාර දීම

නිශ්චල දේපලක් සම්බන්ධ නඩුවකදී විත්තිකරු වෙත පුද්ගලිකව සිතාසි භාරදිය නොහැකි නම් එම දේපළ භාරව සිටින විත්තිකරුගේ යම් අනුයෝජිතයකුට සිතාසි භාරදීම කළ හැකි අතර එවැනි අනුයෝජිතයකු සොයාගත නොහැකි අවස්ථාවන්හි දී එම දේපළෙහි යම් ප්‍රකටව පෙනෙන ස්ථානයක සිතාසි අලවනු ලැබිය යුතු බවට අධිකරණය විසින් විධාන කරනු ලැබිය හැකි ය. ඒ අනුව ඇලවීමට විධාන කරනු ලබන්නේ අනුයෝජිතයකු සොයා ගැනීමට නොහැකි විට පමණි.

අනුයෝජිතයා යන්න මෙහිදී නිර්වචනය කර නැති නිසා එය අවස්ථානුකූලව භාවිතා කළ යුතු ය. 

බන්ධනාගාරගතව සිටින විත්තිකරුවකුට සිතාසි භාරදීම

විත්තිකරු බන්ධනාගාරගතව සිටින අවස්ථාවකදී ඔහු රඳවා සිටින බන්ධනාගාරය භාරව සිටින නිලධරයා වෙත කැඳවීම් නියෝග භාරදෙන්නා විසින් සිතාසිය භාරදෙනු ලැබීමෙන් පසුව එකී නිලධරයා විසින් විත්තිකරුට සිතාසිය භාර දී විත්තිකරු සිතාසිය ලබා ගත් බවට පිලිගැනීමක් ලබා ගත යුතු ය. ඒ අනුව බන්ධනාගාර භාර නිලධාරියා විසින් සිතාසිය භාරදුන් බවට ප්‍රකාශයක් එය මත සටහන් කොට අත්සන් තබා අණපත්‍රය නිකුත් කළ අධිකරණයට පිස්කල් මාර්ගයෙන් ආපසු එවිය යුතු ය. එසේම විත්තිකරු නඩුව කැඳවන දිනයේ බන්ධනාගාරයේ සිටී නම් බන්ධනාගාර භාර නිලධාරියා විසින් විත්තිකරුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

විදේශයේ දී විත්තිකරු වෙත සිතාසි භාර දීම

විත්තිකරුට විදේශයේ දී සිතාසි භාර දෙන විට කූරියර් සේවාව මගින් හෝ විත්තිකරු පදිංචිව සිටින රටෙහි නීතිය මගින් බලය ලබා දෙන යම් නීතීඥ සේවා සපයන ආයතනයක් විසින් එම භාරදීම සිදුකළ හැකි අතර සිතාසිය පෞද්ගලිකව භාරදීම පිළිබඳ සාධක අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු ය. 

සිතාසි ලැබී විත්තිකරු අධිකරණයේ පෙනී සිටින විට තත්ත්වය

මේ ආකාරයට සිතාසි භාරදීමෙන් පසුව, විත්තිකරු පුද්ගලිකව අධිකරණයේ පෙනී සිටින්නේ නම් ඔහු විසින් ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ අධිකරණය විසින් සුදුසු යැයි සලකනු ලබන වෙනත් යම් හඳුනාගැනීමේ ක්‍රමයක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. නීතීඥවරයකු මගින් පෙනී සිටින්නේ නම් පෙරකලාසියේ මේ විස්තර ඇතුළත්ව තිබේ.  

දැන් මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වේ. එනම් ලියාපදිංචි තැපෑලෙන් හෝ කූරියර් මගින් නැත්නම් විද්‍යුත් තැපෑල මගින් නිවැරදි ලිපිනයට විත්තිකරුවකුට සිතාසි භාර දී එකී සාධක ඉදිරිපත් කරනු ලැබූ විට නඩුව කැඳවන දිනයේ දී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියහොත් ඔහුට විරුද්ධව ඒක පාර්ශ්වික විභාගයට තැබීමට හැකියාව තිබීමයි. මෙනිසා ලිපිනය නිවැරදිව සැපයීමට පැමිණිලිකරු කටයුතු කළ යුතු ය.

වෙනත් කරුණු

බෙදුම් නඩුවකදී විත්තිකරුවන්ට සිතාසි  භාරදීම සම්බන්ධයෙන් අදාළ වන්නේ ද සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වේ. එනිසා මෙකී තත්ත්වයන් බෙදුම් නඩුවකදී ද අදාළ වේ. 

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්‍රාථමික අධිකරණයට පවරනු ලැබ තිබේ. ඒ අනුව මූලික ලෙසින්ම මේ සම්බන්ධයෙන්

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                                                                                                                                                                 Before                         :          WLR Silva J                                                 Sisira de Abrew J                                                 K. T. Chitrasiri J Counsel                      :          Romesh de Silva PC with G. Gunawardene for the                                                appellant                                                Nih

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව සාක්