ප්‍ර - 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංශෝධන පනතෙන් චූදිතයකුට සහ චෝදකයකුට සාකච්ඡා පවත්වන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මොකක් ද මේ තත්ත්වය?
උ - අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධාන අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී චූදිතයකුට විරුද්ධව මහේස්ත්‍රාත්වරයා විසින් චෝදනාව කියවලා දෙනවා. මෙහෙම චෝදනාව කියවලා දුන්නම චූදිතට පුළුවන් එක්කෝ වරද පිළිගන්න නැත්නම් නිවැරදිකරු කියන්න. වරද පිළිගත්තොත් දඬුවම් නියම කරනවා. නිවැරදිකරු කිව්වොත් නඩු විභාගයට යනවා. ඕක තමයි මෙතෙක් පැවැති නීතිය. දැන් මේ කියපු 2024 අංක 50 දරන සංශෝධන පනතට අනුව හඳුන්වලා දීලා තියෙනවා දඬුවම් නියම කිරීමට පෙර වරද පිළිගැනීමේ එකඟතාවයට පැමිණීමේ අවස්ථාවක්. මෙන්න මේ එකඟතාවයට පැමිණීම සඳහා තමයි චෝදක සහ චූදිත අතර සාකච්ඡාවක් පවත්වන්නේ.
ප්‍ර - කොහොමද මේක වෙන්නෙ?
උ - මේක වෙන්නෙ මෙහෙම යි. දැන් චෝදනාව චූදිතයකුට කියවලා දෙනවනේ මහේස්ත්‍රාත්වරයා විසින්. මේ චෝදනාව මොන වරදක් සම්බන්ධයෙන් වුනත් වෙන්න පුළුවන්. චෝදනාව කියවලා දුන්නට පස්සෙ නිවැරදිකරු කියලා කියන්න කලින් වරද පිළිගැනීම සම්බන්ධයෙන් යම් එකඟතාවයකට එන්න සාකච්ඡා කරන්න කැමැති බව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වන්න ඕනා.
ප්‍ර - කව්ද මේක අධිකරණයට දන්වන්නේ?
උ - මෙහෙම එකඟතාවයකට එන්න කැමැතියි කියලා දන්වන්න පුළුවන් පාර්ශ්ව තුනක් ඉන්නවා. ඒ තමයි චෝදක. ඊළඟට චූදිතයා. තුන්වැනියා තමයි චූදිතට නීතීඥවරයෙක් පෙනී ඉන්නවා නම් ඒ නීතීඥවරයා. මේ තුන්දෙනාගෙන් කෙනෙක්ට අධිකරණයට මේ ගැන දන්වන්න පුළුවන්. හැබැයි වැදගත් ම දේ තමයි චූදිතයා වෙනුවෙන් මෙහෙම එකඟතාවයක් යෝජනා කරද්දි ඒ එකඟතාවයට එනවද නැද්ද කියන අභිමතය තියෙන්නෙ චෝදකට කියන එක.
ප්‍ර - එහෙම දැන්වූවාම අධිකරණය ඒ ගැන මොකද කරන්නෙ?
උ - එහෙම එකඟතාවයට එන්න සාකච්ඡා කරනවා කියලා දැන්වූවාම අධිකරණයට ඉතින් කරන්න දෙයක් නැහැ. පනතේ හැටියට අධිකරණයට මේ සාකච්ඡාවට මැදිහත් වෙන්න බැහැ. නමුත් චූදිතට චෝදනා කරලා තියෙන වරද ඇඟිලි සලකුණු ගන්න ඕනා වරදක් නම් චූදිතගේ ඇඟිලි සලකුණු වාර්තාවක් කැඳවන්න අධිකරණය කටයුතු කරන්න ඕනා.
ප්‍ර - දැන් එකඟතාවයකට එන්න කැමැති නම් ඒ සාකච්ඡාව කොහොම ද කරන්නෙ?
උ - ඔව්. අධිකරණයට මෙහෙම එකඟතාවයක් තියෙනවා කියලා වාර්තා කලාට පස්සෙ තමයි සාකච්ඡා පටන් ගන්නෙ. මේ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ම තියෙන්නෙ චෝදකයි චූදිත වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයයි අතර.
ප්‍ර - අතුරු ප්‍රශ්නයක්. චූදිත පුද්ගලිකව පෙනී ඉන්නවා නම්?
උ - එවැනි අවස්ථාවකදී අධිකරණයට පුළුවන් චූදිතගෙන් අහන්න සාකච්ඡා කරන්න නීතීඥවරයකුගේ සහාය අවශ්‍යද කියලා. චූදිත කිව්වොත් ඔව් කියලා එතකොට අධිකරණය විසින් චූදිතට නීතීඥවරයකුගේ සේවය ලබා දිය යුතු යි. මේ ගැන කියන්නේ 183අ(5) වගන්තියේ. මෙතනදි මහේස්ත්‍රාත්වරයාටත් බලයක් ලැබිලා තියෙනවා මේ කාර්යය සඳහා චූදිතයකු වෙනුවෙන් නීතීඥවරයකු පත් කිරීමට. හැබැයි එහෙම අවශ්‍ය නැහැ කියලා චූදිත කිව්වොත් චූදිතට ම තමයි පුද්ගලිකව සම්බන්ධ වෙන්න වෙන්නෙ.
ප්‍ර - ඊට පස්සෙ?
උ - දැන් එකඟතාවය පිළිබඳව සාකච්ඡා කරන්න චෝදකට පුළුවන් චූදිතගේ නීතීඥවරයා හම්බ වෙන්න. හම්බවෙලා අහන්න පුළුවන් වරද කරන්න චූදිතට පෙළඹුණු හේතු, අපරාධකාරී හැසිරීම ගැන සම්පූර්ණ විස්තරය, අනෙක් අය වරද සම්බන්ධයෙන් කියන කතා මොනවද වගේ දේවල්.
ප්‍ර - ඒ කියන්නෙ චෝදකට තමයි වැඩි බලය තියෙන්නෙ මෙතැනදි?
උ - ඔව්. කලින් කිව්වනෙ එකඟතාවය පිළිබඳව අභිමතය තියෙන්නෙ චෝදකට කියලා. ඉතින් දැන් චෝදකට පුළුවන් නඩුවේ ස්වභාවය වගේම අවස්ථානුගත කරුණු, ඊට පස්සෙ වින්දිතයාට ඇති වූ බලපෑම, චූදිතගේ පුද්ගලික අවස්ථානුගත කරුණු, මහජන යහපත, සාකච්ඡාවෙදි චූදිතයා දක්වපු සහයෝගය වගේම චූදිතයා සැපයූ තොරතුරුවල වටිනාකම සලකා බලන්න.
ඒ වගේම චෝදක විසින් වින්දිතයාට හෝ ඔහුගේ නීතීඥවරයාට හෝ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික අධිකාරියට ලිඛිත නියෝජනයක් පැමිණිල්ලට කරන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්. හැබැයි ඒ වින්දිතයට ඒ ගැන කියන්න තියෙන අවස්ථාව වැළැක්වෙලා තියෙනවා නම් විතරයි.
ප්‍ර - ඉතින් දැන් මෙහෙම වුනාම වරද ගැන චූදිතයගේ හැම දේම පැමිණිල්ල දැන ගන්නවනේ?
උ - ඔව් ඒක හරි. ඒත් එහෙම දැනගත්තා කියලා ඒ කරුණු චූදිතට එරෙහිව භාවිතා කරන්න පැමිණිල්ලට බැහැ. මෙතනදි කරුණක් සඳහන් කරන්න ඕනා. දැන් මේ සාකච්ඡාවට අධිකරණය සම්බන්ධ වෙන්නෙ නැහැනෙ. ඒ නිසා එතැන වෙන දේවල් ගැන අධිකරණය දන්නෙ නැහැ. යම් විදියකට අධිකරණයේ මේ වරද සම්බන්ධයෙන් නඩුවක් විභාගයට ගන්නවනම් එහෙම විභාගයට ගනිද්දි අර සාකච්ඡාවේ දී සාකච්ඡා කළ දේවල් චූදිතයට විරුද්ධව භාවිතා කරන්න වුනොත් ඒ ගැන අධිකරණය දැනුවත් කරන්න වෙන්නේ චූදිතයාට නැත්නම් චූදිතයාගේ නීතීඥවරයාට. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද චෝදක ඉතින් හැමදේම දැනගත්තට පස්සෙ සෘජුව නොවුනත් වක්‍රාකාරයෙන් ඒ කරුණු නඩු විභාගයකදී භාවිතා කරන්න පුළුවන්. ඒ හැම දේම වලක්වන්න බැහැ ප්‍රායෝගිකව.
ප්‍ර - මේ විදියට සාකච්ඡා කරලා ඊට පස්සෙ මොකද කරන්නෙ?
උ - ඔව්. සාකච්ඡා කලාට පස්සෙ චෝදක සහ චූදිත හෝ චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් චූදිතට දෙන්න ඕන දඬුවමට අදාළව ඒ එක් එක් තැනැත්තාගේ විශේෂිත නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ නිර්දේශය අවසන් වරද පිළිගැනීමේ එකඟතාවයේ ලිඛිතව ඇතුළත් කරන්න ඕනා. ඒ සඳහා ආකෘතියක් හඳුන්වලා දීලා තියෙනවා.
හැබැයි මේ නිර්දේශවල මොකක් තිබුනත් චෝදනා කරලා තියෙන වරදට අදාළව දඬුවම් නියම කිරීමේ එකම අභිමතය තියෙන්නෙ අධිකරණයට. ඒ වගේම දෙන්න පුළුවන් දඬුවම මේකයි කියලා ඇඟවීමක් කරන්නත් අධිකරණයට පුළුවන්.
ප්‍ර - නිකමට අපි හිතුවොත් චූදිතයා මේ එකඟතාවය අනුව නිර්දේශ කරන දඬුවමට වඩා වැඩි දඬුවමක් චෝදක විසින් නිර්දේශ කරලා තිබුනොත්. එතකොට චූදිතට පාඩුයිනෙ.
උ - ඒ වගේ වෙලාවක දි චූදිතට පුළුවන් වරද පිළිගැනීමේ උත්තරවාදය ඉල්ලා අස් කර ගෙන වරද පිළිගැනීමේ එකඟතාවය ඉවත් කර ගන්න. මොකද මේ එකඟතාවය ගැන සාකච්ඡා කරන්නෙ දඬුවම දෙන්න කලින්නෙ.
අනෙක් අතට චූදිතයා නිර්දේශ කරන දඬුවම අඩු දඬුවමක් වීම හේතුවෙන් ම වරද පිළිගැනීමේ උත්තරවාදය ඉවත් කර ගන්න අවස්ථාව ලබා නොදිය යුතු බව නීතිය කියනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවකදි වෙනත් සුදුසු දඬුවමක් යෝජනා කරන්න පැමිණිල්ලට පුළුවන්.
ප්‍ර - දැන් යම් විදියකට මෙහෙම එකඟතාවයක් ඇති වුනා කියමුකො. එතකොට මොකද කරන්නෙ?
උ - ඔව්. ඊට පස්සෙ ඒ කියන්නෙ එහෙම එකඟතාවයක් ආවොත් චෝදක විසින් ඒ එකඟතාවයේ අවසන් පිටපත එක්ක වරද පිළිගැනීමේ උත්තරවාදයට පාදක වූ සිද්ධිමය කරුණු අධිකරණයට ඉදිරිපත් කළ හැකියි. ඒ කියන්නේ ඒක ලිඛිතව තියෙන්න ඕනා. මේ සඳහා ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතියේ ආකාරයට එය ඉදිරිපත් කළ යුතු යි. ඊට පස්සෙ චූදිතයා මේක අත්සන් කළාම අවසානාත්මක වෙනවා. යම් විදියකට චූදිතයා ළමයෙක් නම් ඒ ළමයාගේ මව හෝ පියා එකඟතාවය අත්සන් කරන්න ඕනා.
මෙහෙම අත්සන් කළ එකඟතාවයක්, චූදිතයා දැනුවත්ව සහ ස්වේච්ඡාවෙන් අත්සන් කරලා තියෙනවා කියලා අධිකරණය සෑහීමට පත් වෙනවා නම් පිළිගන්න පුළුවන්. එහෙම පිළිගත්තම නඩුවේ පාර්ශ්වයන් ඒකෙන් බැඳී ඉන්නවා. ඒ අනුව චූදිතයාව වරදකරු කරන්න අධිකරණය කටයුතු කළ යුතු යි.
ප්‍ර - මෙහෙම වරදකරු කලාම අභියාචනය කරන්න පුළුවන් ද?
උ - අධිකරණය විසින් එකඟතාවය පිළිඅරගෙන චූදිතව වැරදිකරු කළොත් ඒ වරකරු කිරීමට එරෙහිව අභියාචනය කරන්න බැරි බව 183අ 12 වගන්තියෙ කියනවා. ඒ වගේම තමයි අධිකරණයෙන් කරනු ලබන දඬුවම, පාර්ශ්වයන් එකඟ වුන දණ්ඩන පරාසය ඇතුලෙ තියෙනවා නම් ඒ දඬුවමට එරෙහිව අභියාචනයක් කරන්නත් බැහැ.
ප්‍ර - දැන් කලින් කිව්වනේ මේ සාකච්ඡාවට අධිකරණය සම්බන්ධ වෙන්නෙ නැහැ කියලා. එතකොට අධිකරණයට පුළුවන් ද අන්තිම එකඟතාවය නොපිළිගෙන ඉන්න?
උ - 183අ 14 වගන්තියට අනුව අධිකරණයට පුළුවන් වරද පිළිගැනීමේ එකඟතාවය ප්‍රතික්ෂේප කරන්න. හැබැයි එහෙම ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට හේතු වාර්තා කරන්න ඕනා. ඒ ගැන පාර්ශ්වයන්ව දැනුවත් කරන්න ඕනා. ඒ වගේම එතකොට වරද පිළිගැනීමේ එකඟතාවය ශුන්‍ය සහ බලරහිත වෙනවා. පාර්ශ්වයන් තවදුරටත් ඒ එකඟතාවයෙන් බැඳී ඉන්නෙ නැහැ.
මේ විදියට අධිකරණය විසින් වරද පිළිගැනීමේ එකඟතාවය ප්‍රතික්ෂේප කළොත් ඒ ආඥාවට එරෙහිව කිසිඳු පාර්ශ්වයක් අභියාචනා ඉල්ලීමක් හෝ ප්‍රතිශෝධන ඉල්ලීමක් සිදු නොකළ යුතු යි.
ප්‍ර - දැන් මෙහෙම වරද පිළිගැනීමේ එකඟතාවයක් ප්‍රතික්ෂේප වුනොත් නැත්නම් කලින් කිව්වා වගේ චූදිතයා ඉල්ලා අස්කර ගත්තොත් ආයිත් ඒ ගැන සාකච්ඡා කරන්න බැරිද?
උ - ඒ සිද්ධිමය කරුණු වලටම අදාළ නඩු විභාගයකදී අධිකරණයේ පූර්ව අවසරය මත අළුත් වරද පිළිගැනීමේ එකඟතාවයක් සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි අසාධාරණ සහ අයුක්ති සහගත විදියට එවැනි සාකච්ඡා පවත්වන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ අධිකරණයේ පූර්ව අවසරය අවශ්‍ය නිසා. මොකද නඩුව කල් දමා ගන්නත් මෙවැනි අවස්ථා පාවිච්චි කරන්න පුළුවන්නෙ මිනිස්සුන්ට.
Comments
Post a Comment