සමහරක් අවස්ථාවලදී සමහර මිනිසුන් තවත් මිනිසුන් ගැන ඇති තරහ, පලි ගැනීමේ චේතනාව හේතුවෙන් නැත්නම් පාඩුවක් කිරීමේ අදහසින් අසත්‍ය චෝදනා මත පොලිස් පැමිණිලි ගොනු කරයි. විදෙස් ගමන් වැලැක්වීම, රැකියාවට යාම වැලැක්වීම ආදී අරමුණු කරමින් එසේ පවරනු ලැබූ පොලිස් පැමිණිලි මගේ වෘත්තීය ජීවිතය තුළ හමු වී ඇත. තවත් අවස්ථාවල ගහ මරා ගන්නේ එක් කණ්ඩායමකි. නමුත් පොලිස් පැමිණිල්ලට ඒ ස්ථානයේවත් නොසිටි අයගේ නම් ඇතුළත් කරනු ලබයි. මෙවැනි අවස්ථා ද මට හමු වී තිබේ. මේ අවස්ථාවලදී එක් පාර්ශ්වයක් දැඩි අසාධාරණයකට පත් වේ. සමහරු මෙවැනි පැමිණිලි හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව පවා සිටිති.
පොලිස් පැමිණිල්ලක් කළ හැමවිටම අපරාධ නඩු කටයුත්තක් ලෙස එය අධිකරණයට පැමිණෙන්නේ නැත. නමුත් බොහෝ අවස්ථාවල දී පැමිණිල්ල ගොනු කරන්නේ අධිකරණ කටයුත්තකට මග පෑදෙන විලසිනි. ඉදිරිපත් කරන පොලිස් පැමිණිල්ලේ ස්වභාවය අනුව පොලීසිය විසින් සැකකරුවකුව අත්අඩංගුවට ගත හොත් සැකකරුගේ ප්‍රකාශය ද වාර්තා කරයි. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 වන වගන්තියෙන් පොලීසියට බලය ලැබේ. මේ ප්‍රකාශයේ දී තමුන්ට එරෙහිව චෝදනා කර ඇති වරද පිළිබඳව තමුන්ගේ ස්ථාවරය පිළිබඳව කිව හැක. නිදසුනකට, සැකකරු තමුන්ට චෝදනා නගා ඇති වරද සිදු වූ ස්ථානයේ ඒ අවස්ථාවේ දී නොසිටියේ නම් එය ඉදිරිපත් කල හැකි පළමු අවස්ථාව මෙයයි. එසේ ප්‍රකාශයක් කළ විට ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශනය කරනු ලබයි. මන්දයත් අපරාධ නඩුවක් පවරනු ලැබුවහොත් අපරාධය සිදු වූ ස්ථානයේ චූදිතයා භෞතිකව සිටි බවද පොලීසිය විසින මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඔප්පු කල යුතු නිසාවෙනි.
සැකකරුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කල විට ද තමුන්ගේ ස්ථාවරය පිළිබඳව සඳහන් කළ හැක.
මෙසේ තමුන්ගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමේ වැදගත්කමක් තිබේ. එය වඩාත් බැඳී පවතින්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 208 වගන්තිය සමගිනි. එම වගන්තිය මෙසේ ය.
මේ වගන්තිය අනුව යම් පුද්ගලයකු විසින් තවත් තැනැත්තකුට එරෙහිව ඕනෑම ආකාරයක අපරාධ නඩු කටයුත්තක් අරඹන්නේ නම් හෝ ඇරඹවීමට කටයුතු කරන්නේ නම් හෝ ඒ අනෙක් තැනැත්තා විසින් වරදක් කල බවට අසත්‍ය ලෙසින් චෝදනා කරන්නේ නම්, එය සිදු කරන්නේ ඒ තැනැත්තාට පීඩාවක් කිරීමේ අදහසින් සහ කිසිදු යුක්ති සහගත හේතුවක් නොමැතිව නම් එකී තැනැත්තා දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කරයි.
King v. Carolis - (1927) 28 NLR 446 නඩුවේ දී ඩ්‍රීබර්ග් විනිසුරුතුමා තීරණය කර ඇත්තේ මෙලෙසිනි.
A person who makes a false complaint of a non-cognizable offence to the Police may be said to charge another falsely within the meaning of section 208 of the Penal Code.
The words "falsely charge" must be understood in the ordinary meaning of a false accusation made to any authority, bound by law to investigate or to take any steps in regard to it, such as giving information of it to superior authorities with a view to investigation.
කව්රු කුමක් කීවත් සිදුවීමක ඇති සත්‍ය තත්ත්වය දන්නේ ඒ සිදුවීමට සම්බන්ධ අය ය. එවැනි තත්ත්වයකදී එක් ආකාරයකට මේ වගන්තිය නිකරුනේ අන් අයට විරුද්ධව අසත්‍ය පැමිණිලි කරන්නන්ට එරෙහිව නීතියෙන් දඬුවම් ලබා දීමට සලසා ඇති ප්‍රතිපාදනයකි. මෙවැනි අවස්ථාවකදී සත්‍ය ලෙසම වින්දිතයා වන්නේ සැකකරු වන තැනැත්තා ය. කෙසේවෙතත් මෙවැනි ප්‍රතිපාදනයක් පවතින බවවත් සමහරු දන්නේ නැත. දන්නා අයද මෙකී ප්‍රතිපාදන භාවිතා කරන බවක් පේන්නේ නැත.
මෙය කෙතරම් ප්‍රබල ප්‍රතිපාදනයක් ද යනු අසාධාරණයට පත්වූවකුට මහේස්ත්‍රාත් අධිකරණයට පුද්ගලික පැමිණිල්ලක් වුවද මේ ඔස්සේ ගොනු කළ හැක.
Comments
Post a Comment