සිවිල් නඩුවක උත්තරවාද
සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 93 වන වගන්තිය වැදගත් වේ.
මේ වගන්තිය අනුව අවස්ථා දෙකකදී උත්තරවාද සංශෝධනය කිරීමට අවස්ථාව සලසා දී ඇත. ඒ
පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පළමුවෙන් නඩුව නියම කරන ලද දිනයට පෙර සහ
පළමුවෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට නියම කරන ලද දින හෝ තීන්දුවට පෙර වන
ලෙසිනි. මෙයින් පළමුවන අවස්ථාවේ දී උත්තරවාද සංශෝධනය සම්බන්ධයෙන් අභිමතයක්
අධිකරණයට ලබා දී තිබේ. නමුත් දෙවන අවස්ථාවේ දී එනම් 93(2) වන වගන්තිය යටතේ එවැනි අභිමතයක්
අධිකරණයට නොමැති අතර එහිදී උත්තරවාද සංශෝධනයට අවසර ලබා දීම සඳහා ඉල්ලීම කිරීමට ප්‍රමාද
නොවීම සම්බන්ධයෙන් පිළිගතහැකි හේතු සහ සංශෝධනයට ඉඩ ලබා නොදුනහොත් අදාළ පාර්ශ්වයට
අප්‍රතිකාරී හානි සිදුවන බවට අධිකරණය සෑහීමට පත් කිරීමට උත්තරවාද සංශෝධනය කිරීමට
අවශ්‍ය පාර්ශ්වයට සිදු වේ.
මෙයින් 93(1) වන වගන්තිය යටතේ
වන ඉල්ලීමකදී අනෙක් පාර්ශ්වය ඉදිරිපිට හෝ නඩුවේ අනෙක් පාර්ශ්වයන්ට සාධාරණ
දැන්වීමක් ලබා දීමෙන් පසුව උත්තරවාද සංශෝධනය කිරීමට අධිකරණයට අභිමතය තිබේ. මෙනිසා
මේ වගන්තිය යටතේ විවෘත අධිකරණයේ දී වුවද ඉල්ලීමක් කිරීමට පාර්ශ්වයකට හැකියාව ඇත.
එහිදී අනෙක් පාර්ශ්වය පෙනී සිටීම අවශ්‍ය වේ. එසේ නොවන්නේ නම් අනෙක් පාර්ශ්වයට ඒ
සම්බන්ධයෙන් සාධාරණ දැන්වීමක් කිරීමට සිදු වේ.
93(2) වන වගන්තිය යටතේ වන
ඉල්ලීමක දී තත්ත්වය මීට වඩා වෙනස් ය. එහිදී අධිකරණය විසින් උත්තරවාද සංශෝධනයට අවසර
දෙන්නේ කරුණු දෙකක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වීමේ හේතු
වාර්තා කිරීමෙන් පසුව ය.
සාමාන්‍ය භාවිතාවේ දී නීතීඥවරුන්
විසින් පෙත්සම් මගින් මෙකී ඉල්ලීම සිදු කරන අතර කෙටුම්පත මෙන්ම සංශෝධනය කිරීමෙන්
පසුව උත්තරවාද දැක්වෙන ආකාරය පෙන්නුම් කරන ලේඛන ද ඉදිරිපත් කරයි. එසේ ලේඛන ඉදිරිපත්
කළ යුතු බවක් මේ වගන්තියේ දැක්වෙන්නේ නැත. නමුත් සංශෝධනය කළ පසු එකී සංශෝධන දැනට
ඉදිරිපත් කර ඇති උත්තරවාදවල කල නොහැකි නම් එකී සංශෝධන ඇතුළත් ලේඛනයක් භාර ගැනීමට 93(4)
වන වගන්තියෙන් අවසරය ලබා දී තිබීම තුළ එකී ලේඛන ඉදිරිපත් කිරීම සිදු වන බව පෙනී
යයි.
කෙසේවෙතත් තවමත් බොහෝ
නීතීඥවරුන් විසින් උත්තරවාද සංශෝධනය සඳහා කරනු ලබන ඉල්ලීම් වලදී තමුන් ඉල්ලීම කරන්නේ
93(1) වන වගන්තිය යටතේ ද නැත්නම් 93(2) වන වගන්තිය යටතේ ද යන්න පිළිබඳව අවබෝධයක්
නොමැතිව ඉල්ලීම් කරන බවද පෙනී යයි. ඔවුන්ගේ ඉල්ලීම මෙයින් කුමන වගන්තියට අදාළ වන්නේ
ද යන්න සලකා බැලීමට සිදුවන්නේ අධිකරණයට ය. නමුත් විය යුතු වන්නේ එය නොවේ. තමුන්
ඉල්ලීම කරන්නේ කුමන ප්‍රතිපාදනය යටතේ ද යන්න නීතීඥවරයා දැන සිටිය යුතු ය. එසේ
නොමැතිව එයත් අධිකරණයට තීරණය කිරීමට ලබා දීම කෙතරම් සුදුසු ද යන්න ඔහු විසින්
ඉල්ලීම කිරීමට පෙර සිතා බැලිය යුතු ය. 93(2) වන වගන්තිය යටතේ වන ඉල්ලීමකදී නම් එම
වගන්තියේ දැක්වෙන අවශ්‍යතා දෙකට අදාළව ඉල්ලීමේ දී කරුණු දැක්විය යුතු ය. එවිට අධිකරණයට
අදාළ නියෝගය පහසුවෙන් කළ හැක. තමුන් කරනා ඉල්ලීම කුමක්දැයි හෝ නීතීඥවරයාට අවබෝධයක්
නැති විට ඵලදායී නියෝගයක් ලබා දීමට අධිකරණයට හැකියාව ලැබෙන්නේ ද නැත. මෙනිසා
උත්තරවාද සංශෝධනය සඳහා ඉල්ලීමක් කරද්දී ප්‍රථමයෙන් ම තමුන් කරනා ඉල්ලීම ඒ සම්බන්ධ
කුමන අවස්ථාවට අදාළ වන්නේ ද යන්න හඳුනා ගත යුතු ය.
Comments
Post a Comment