ආහාර පනතේ විධාන අනුව ඇහුරුම් තහනමට ගැනීම


 

 

මෙම කෙටි ලිපියේ දී මා විසින් සලකා බලන්නේ ආහාර පනතේ විධාන අනුව ඇහුරුම් තහනමට ගැනීමේ දී ඇති වන්නේ යැයි කියන්නා වූ තත්ත්වයක් සම්බන්ධයෙනි.

ආහාර පනතේ 14(1)(අ) වගන්තියට අනුව යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන, සකස් කරන, පරිරක්ෂණය කරන, අසුරන හෝ ගබඩා කර තබන බවට ඔහු විශ්වාස කරන යම් ස්ථානයකට කවර හෝ සාධාරණ වේලාවක දී ඇතුළු වී ඒ යම් භාණ්ඩයක් පරීක්ෂා කිරීම හා එහි සැම්පලයක් ගැනීම ද එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, පරිරක්ෂණය කිරීම, ඇහිරීම හෝ ගබඩා කිරීම සඳහා පාවිච්චි කරනු ලැබේ යයි ඔහු විශ්වාස කරන කවර හෝ දෙයක් පරීක්ෂා කිරීම බලය ලත් නිලධාරියාට (මින් ඉදිරියට නිලධාරියා ලෙසින් ද හැඳින්වෙන) ඇත. පනතේ 14(1)(ඇ) වගන්තියට අනුව නිලධාරියාට, යම් භාණ්ඩයක් අඩංගු යයි ඔහු විශ්වාස කරන යම් භාජනයක් හෝ ඇහුරුමක් විවෘත කර පරීක්ෂා කළ හැකි ය.

මෙහි සඳහන් ඇහුරුම යන්නෙන් යම් ආහාරයක් සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් අඩංගුව, තබා හෝ අහුරා ඇත්තේ යම් දෙයක් තුළ ද ඒ දෙය ඇතුළත් වේ. ඒ අනුව භාණ්ඩ අහුරා ඇති රාක්කයක්, අල්මාරියක්, ශීතකරණයක් වුවද ඇහුරුම යන්නට ඇතුළත් වන බව පෙනී යයි.

එසේ පරීක්ෂා කිරීමේ දී ආහාර පනතේ විධාන උල්ලංඝනය කරන භාණ්ඩයක් ඒ ඇහුරුම තුළ පවතින්නේ යැයි නිලධාරියාට අනාවරණය වුවහොත් ඔහුට ඒ භාණ්ඩය පනතේ විධාන ප්‍රකාරව තහනමට ගත හැක.

එසේ යම් භාණ්ඩයක් තහනමට ගත් විට පනතේ 14(10) වන වගන්තිය අනුව එම භාණ්ඩය නිලධාරියාගේ කැමැත්ත අනුව එකී තහනමට ගත් ගොඩනැගිල්ල තුළ හෝ ස්ථානය තුළ තැබීම හෝ ගබඩා කිරීම නැතහොත් ඔහුගේ අභිමතය පරිදි වෙනත් යම් ස්ථානයකට ඉවත් කිරීම හෝ කළ හැකි ය. ඒ ආකාරයට තහනමට ගන්නා භාණ්ඩයක් විනාශ කිරීම නැතහොත් බැහැර කිරීම සම්බන්ධයෙන් පනතේ 15 වන වගන්තියේ ප්‍රතිපාදන දක්වා තිබේ.

මෙකී නෛතික තත්ත්වය අනුව යම් ඇහුරුමක ඇති භාණ්ඩයක් තහනමට ගන්නා අවස්ථාවකදී අවශ්‍යනම් නිලධාරියාට ඒ ඇහුරුම තුළම භාණ්ඩය තැබීමට හැකියාව පවතී. මෙසේ ඇහුරුම තුළම භාණ්ඩය තැබීමේ දී එකී ඇහුරුම තහනමට ගැනීමට නිලධාරියාට පනතෙන් බලයක් ලැබෙන්නේ නැත. කෙසේවෙතත් යම් අවස්ථාවලදී භාණ්ඩ තහනමට ගන්නා නිලධාරීන් විසින් එම භාණ්ඩ ඇති ඇහුරුම ද තහනමට ගන්නා බවට කරුණු ඉදිරිපත්  වෙයි.

නිදසුනකට ශීතකරණයක ඇති කල් ඉකුත් වූ යෝගට් තහනමට ගැනීමේ දී ඒ යෝගට් ශීතකරණය තුළ ම තබා ශීතකරණය සීල් තැබීමක් සැලකිය හැක. තවත් නිදසුනකට ලේබල් රෙගුලාසි කඩ කළ නූඩ්ල්ස් පැකට්ටුවක් ගබඩා කර ඇති අල්මාරියක් සීල් තැබීමක් සැලකිය හැක. මෙය ආහාර පනතේ ප්‍රතිපාදන යටතේ සිදු කළ නොහැක්කක් නිසා කිසිඳු බලය ලත් නිලධාරියකු එවැනි ක්‍රියාවක් සිදු කරනු ඇතැයි මා පෞද්ගලිකව සිතන්නේ නැත. එවැන්නක් සාධාරණ වන්නේ ද නැත. එවැනි අවස්ථාවකදී එකී ශීතකරණය තුළ හෝ අල්මාරිය තුළ ආහාර පනතේ විධාන උල්ලංඝනය කරන භාණ්ඩ ද ඇතුළත්ව නැත්නම් ඒවා ද පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේ. ආහාර පනත එවැන්නක් අරමුණු කර නැත. එයින් සිදු කර ඇත්තේ ආහාර සහ මහජනයාගේ සෞඛ්‍යය අතර බැඳියාව කළමණාකරණය කිරීම ය. එහිදී ඒ හා බැඳුණු ව්‍යාපාර ද කළමණාකරණය කිරීමට වක්‍රාකාරව පියවර ගෙන ඇත. කිසිඳු නීතියක් අසාධාරණ ප්‍රතිඵල රැගෙන ඒම සඳහා සම්පාදනය වන්නේ නැත. නිලධාරියාට බලය ලැබෙන්නේ අදාළ විධාන උල්ලංඝනය කරන භාණ්ඩය තහනමට ගැනීමට පමණි. මෙනිසා යම් ලෙසකින් මේ ආකාරයට නිලධාරියකු විසින් කටයුතු කරන්නේ නම් එකී ක්‍රියාව මූලික අයිතිවාසිකම් නඩුවකින් පවා අවසන් වීමේ හැකියාව පවතින බව කිව හැක. මේ බව හොඳින් දන්නා නිලධාරීන් එවැනි ක්‍රියා සිදු කිරීමෙන් වැලකී සිටී.

එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාව තුළදී ආහාර පනතේ විධාන අනුව භාණ්ඩ තහනමට ගැනීමේ ක්‍රියාවලිය තුළදී ඇහුරුම් තහනමට ගැනීමක් සිදු නොවන බව සිතිය හැක.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.