කියවීමේ
යුතුකම
කියවීමේ
යුතුකම යන්න අසන විටම බොහෝ විට නීති වෘත්තිකයකුට කුකුසක් ඇති විය හැක. සමහරුන් ප්‍රථම
වරට අද අසන්නක් ද විය හැක. නමුත් මෙය ඉතා පැරණි, ගිවිසුම් නීතියට අදාළව යෙදෙන
යුතුකමකි. මේ වචනයෙන් අසා නැතත් මේ පිළිබඳව ඔබ, ඔබගේ වෘත්තීය ජීවිතයේ දී
අනිවාර්යයෙන්ම අසා තිබෙන්නට හැක. බොහෝ අවස්ථා වලදී වාණිජ ගිවිසුම් වලට එළඹෙන
පාර්ශ්වයන් විසින් එකී ගිවිසුම් කඩ කිරීමේ සහ ඒ පිළිබඳව නඩු කටයුතු වලදී ඉදිරිපත්
කරන විත්ති වාචකයකි, අදාළ ගිවිසුමට අත්සන් තැබූවත් එය නොකියවා අත්සන් තැබූ බව. කියවීමේ
යුතුකම තුළදී සාකච්ඡා වන්නේ මෙකී කරුණයි.
නිදසුනකට පහත
සිදුවීම බලන්න.
ණය දෙන
සමිතියෙන් 10% ක මාසික පොළියකට රු.1,000,000/- ක මුදලක් සුනිල් විසින් ණයට ඉල්ලා
ගනී. එය ඔහුට අවශ්‍යව ඇත්තේ තමන්ගේ ස්වයංරැකියාව දියුණු කර ගැනීමටය. ඒ අනුව සමිතිය
සුනිල්ට ණය මුදල ලබා දීමට එකඟ වී ඒ සඳහා ගිවිසුමකට ඇතුල්වන්නට සිදුවන බව කියයි.
සුනිල් ඊට එකඟය. සමිතිය විසින් නියම කර ගත් දිනයේ දී ගිවිසුමට දෙපාර්ශ්වයම අත්සන්
තබන ලදි. අත්සන් තබන ලද ගිවිසුමේ දී ණය ගෙවන ආකාරය, පැහැර හැරීමකදී පොළිය ගණනය
කෙරෙන ආකාරය ආදී කොන්දේසි කීපයක් ම විනි. සමිතියේ නියෝජිතයා එකී කොන්දේසි කියවූ
බවට ඒ කොන්දේසි ඉදිරියෙන් ද අත්සන් තබන ලෙසට සුනිල්ට උපදෙස් දුන්නේය. ණය මුදල ලබා
ගෙන සතුටින් නිවසට ගිය සුනිල් තමන්ගේ ස්වයං රැකියාව දියුණු කර ගැනීමට එකී මුදල්
ආයෝජනය කරන ලදි. කෙසේවෙතත් හදිසියේ ඇති වූ වැසිබර කාලගුණයත්, ඉන්ෆ්ලුවන්සා
වෛරසයත්, රජය විසින් නව බදු ප්‍රතිපත්ති හදුන්වාදීමත් වැනි කරුණු නිසා ඔහුගේ ව්‍යාපාරයෙන්
සිතූ පමණ ලාභ ඔහුට නොලැබිණි. මුල් වාරිකය නිසි ලෙසින් ආපසු සමිතියට ගෙවීමට සුනිල්ට
හැකි වුවත් ඉතිරි වාරික ගෙවීම පිළිබඳව අපහසුතාවක් ඇති විනි. මේ පිළිබඳව සුනිල්
සමිතිය සමඟ සාකච්ඡා කළ අතර සමිතිය විසින් සුනිල්ට ණය ගෙවීමට සහන කාලයක් ද ලබා දී ඒ
අනුව කටයුතු නොකරන්නේනම් පමණක් ගිවිසුම අනුව නීතියේ පිහිට ලබා ගන්නා බව දන්වා
සිටියේ ය. තම මිතුරකුගෙන් මේ පිළිබඳව විමසද්දී ඔහු සුනිල්ගෙන් විස්තර අසා උපදෙස්
ලබා දුන්නේ ගිවිසුම ඉංග්‍රීසියෙන් තිබීමත්, තමන්ට එය කියවීමට ප්‍රමාණවත් අවස්ථාවක්
නොලැබීමත්, තමන්ගේ අවශ්‍යතාවය කියවීමට වඩා වැඩි වීමත් සමිතියේ නියෝජිතයාගේ
පෙළඹවීමත් නිසා ගිවිසුම් ගත වූ බවට කීමේ හැකියාව ඇති නිසා ඒ පිළිබඳව සිතා සිත කලබල
නොකරගන්නා ලෙසිනි. මේ අතර ලබා දුන් සහන කාලය ගෙවී ගියත් ණය මුදල හෝ කොටසක් හෝ
නොගෙවීම නිසා සමිතිය විසින් සුනිල්ට දැන්වීම් යැවීමෙන් පසුව දිසා අධිකරණයේ නඩු
පැවරීමට කටයුතු කරන ලදි. එහිදී සුනිල් සහ සමිතිය අතර ඇති වූ ගිවිසුම ද පැමිණිල්ල
සමඟ ඉදිරිපත් කර තිබූ අතර එහි කොන්දේසිවලට සුනිල් අත්සන් තබා එකඟ ව ඇති බවත්, ඒ
අනුව අදාළ සහනයන් ඉල්ලා සිටින බවත් සමිතියේ ස්ථාවරය විය. සුනිල් ද උත්තරයක් ගොනු
කළ අතර එහිදී අනිකුත් කරුණු අතර තමන්ට අදාළ ගිවිසුම කියවීමට නොලැබුන බවත්, අත්සන්
කළ බව සැබෑවක් වුවත් අත්සන් කළේ කුමන කොන්දේසි සම්බන්ධයෙන් දැයි නොදන්නා බවත්,
විශේෂයෙන්ම ඉංග්‍රීසි බසින් තිබුන ගිවිසුම තමන්ට ආගන්තුක බවත් විත්තිවාචක ලෙසින්
දක්වා තිබිණි.
කියවීමේ
යුතුකම මෙවැනි අවස්ථාවල යෙදේ.
මෙවැනි විටක
තමන් අත්සන් කළ ගිවිසුම, කියවීමට නොහැකි වීම නිසා බැඳී නොසිටින බවට ගෙන එන
ස්ථාවරයේ පැවැත්ම කෙසේද? මේ සම්බන්ධයෙන් වැදගත්ම නඩු තීන්දුවක් වන්නේ L'Estrange v F Graucob Ltd [1934] 2 KB 394 තීන්දුවයි. කෙසේවෙතත් ඇමරිකානු අධිකරණය 1800 ගණන්වලදී මෙසේ තීරණය කර තිබේ.
“It will
not do for a man to enter into a contract and, when called upon to respond to
its obligations, to say that he did not read it when he signed it, or did not
know what it contained. If this were permitted, contracts would not be worth
the paper on which they are written. But such is not the law. A contractor must
stand by the words of his contract; and, if he will not read what he signs, he
alone is responsible for his omission.” - Upton v. Tribilcock, 91 U. S. 45, 50,
23 L. Ed. 203
පෙර දැක්වූ ලෙස්ට්‍රේන්ජ් නඩුවේ සිද්ධිමය කරුණු සැකෙවින්
මෙසේයි.
ලෙස්ට්‍රේන්ජ් මෙනෙවිය පවත්වාගෙන යන අවන් හලක් වෙයි.
දිනක් ලන්ඩනයේ පිහිටි ග්‍රෝකොබ් මහතාගේ යන්ත්‍ර ව්‍යාපාරය නියෝජනය කරන සංචාරක අලෙවි
නියෝජිතයින් දෙදෙනකු ඇගේ අවන්හලේදී ඇය මුණගැසී, තමන්ගේ ප්‍රධානියා නියෝජනය කරමින්
සිගරට් යන්ත්‍රයක් මිලට ගැනීමට ඇය පෙළඹවීය. ඒ අනුව ඇය ඔවුන් සමඟ යන්ත්‍රයක් මිලට
ගැනීමට විකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. එහි පහත ලෙසින් කොන්දේසියක් විනි.
Please forward me as soon as possible:
One Six Column Junior Ilam Automatic Machine... which I agree to purchase from
you on the terms stated below...."
මෙකී කොන්දේසියට පහළින්, කුඩාවට මුද්‍රණය
කරන ලද වගකීමෙන් විනිර්මුක්ත වීමේ වගන්තියක් ද විනි. එහි මෙසේ දැක්විනි.
"This agreement contains all the terms and
conditions under which I agree to purchase the machine specified above, and any
express or implied condition, statement, or warranty, statutory or otherwise
not stated herein is hereby excluded.”
කෙසේවෙතත් ගිවිසුමට අත්සන් කරනා විට ඇය
ලේඛනය කියෙව්වේ නැත. ගිවිසුම අනුව ඇය, යන්ත්‍රය සඳහා වන මුදල වාරික මඟින් ගෙවීමට
නියමිතව තිබිණි. සමාගම විසින් ඇයට බාර දුන් යන්ත්‍රය, යාන්ත්‍රිකයන් විසින්
අළුත්වැඩියා කිරීමට පැමිණියත් ප්‍රයෝජනයක් නොමැතිව කැඩී යන ලදි. මෙනිසා ලෙස්ට්‍රේන්ජ්
මෙනෙවිය වාරික ගෙවීම නතර කර දැමූ අතර ග්‍රෝකොබ් සමාගමට එරෙහිව එතෙක් ගෙවනු ලැබූ
වාරික මුදල ලබා ගැනීම සඳහා නඩුවක් පවරනු ලැබීය. සමාගම විසින් කියා සිටිනු ලැබූවේ
ගිවිසුමේ ඇති වගකීමෙන් මුක්ත වීමේ වගන්තිය නිසා පැමිණිලිකාරියට සහන ලබා ගැනීමට
නොහැකි බවයි. පහළ උසාවියේ දී විනිසුරුවරයා විසින් ග්‍රෝකොබ් වගකිව යුතු බවට හර්සල්
සාමිවරයා විසින් Richardson,
Spence & Co v. Rowntree, [1894] AC 217, 219 නඩුවේ දී ලබා
දුන් තීරණයක් අනුව යමින් තීරණය කරනු ලැබීය. ඒ අනුව සමාගම අභියාචනාධිකරණයට
අභියාචනයක් ඉදිරිපත් කරන ලදි. මෙකී අභියාචනයේ දී සමාගම වෙනුවෙන් පෙනී සිට කරුණු
ඉදිරිපත් කළේ එවකට තරුණ නීතීඥවරයකු වූ, පසුකලක ජනතාවගේ විනිසුරුවරයා ලෙසින්
විරුදාවලිය ලත් ඩෙනිං සාමිවරයා ය.
අභියාචනාධිකරණයේ ස්ක්‍රටන් විනිසුරු
සාමිවරයා සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කරන්නට යෙදුනේ ලෙස්ට්‍රේන්ජ් මෙනෙවිය
කියෙව්වාද නැද්ද යන්න වැදගත් කරුණක් නොවන බවත් ඇය ගිවිසුමට අත්සන් කර ඇති නිසා ඊට
බැඳී සිටින බවත් ය. ඊට අත්සන් තැබීමෙන් ඇය කොන්දේසි කියවා අත්සන් කළ බව අනුමිත වන
බව විනිසුරු සාමිවරයාගේ අදහස විය. ඒ අනුව ඔහු මෙසේ තීරණය කළේය.
“When a document containing contractual terms
is signed, then, in the absence of fraud, or, I will add, misrepresentation,
the party signing it is bound, and it is wholly immaterial whether he has read
the document or not.”
අභියාචනාධිකරණයේ මෝගම් විනිසුරු
සාමිවරයාද මෙකී තත්ත්වය පිළිගන්නා ලදි. නමුත් ඔහුගේ තීන්දුවේ දී කුඩා අකුරින් මුද්‍රණය
කර තිබූ වගකීමෙන් මිදීමේ වගන්තිය පිළිබඳව මෙසේ දක්වා ඇත.
“I may add, however, that I could wish that the
contract had been in a simpler and more usual form. It is unfortunate that the
important clause excluding conditions and warranties is in such small print.”
මේ අනුව අභියාචනාධිකරණය විසින් පහළ
අධිකරණයේ තීන්දුව වෙනස් කරන ලදි. එසේම ගිවිසුමකට අත්සන් කල විට දී එය කියෙව්වාද
නැද්ද යන්න ගැන නොසලකා එහි කොන්දේසිවලින් බැඳී සිටින බව මේ මඟින් තහවුරු කරන ලදි. (කෙසේවෙතත්
මින් අවුරුදු 50 ක ට පමණ පසුව එදා අභියාචක වෙනුවෙන් පෙනී සිටි තරුණ නීතීඥ ඩෙනිං, සාමිවරයකු
ලෙස තමන් තීන්දුවක් ලබා දෙන අවසන් නඩුව වන George Mitchell (Chesterhall) Ltd v Finney Lock
Seeds Ltd [1983] QB 284 නඩුවේ සුළුතර තීන්දුව ප්‍රකාශ කරමින්
මෙකී තීන්දුවේදී තීරණය වූ වගකීමෙන් විනිර්මුක්ත වීමේ වගන්ති පිළිබඳ තත්ත්වය ගැන
අප්‍රසාදය පල කර සිටින ලදි. එහිදී ඔහු විසින් වගකීමෙන් විනිර්මුක්ත වීමේ වගන්ති
පිළිබඳව ඉදිරිපත් කළ මතය සාමි මණ්ඩලය විසින් ද පිළිගන්නා ලදි. මෙය අපගේ මෙම
සාකච්ඡාවට විශේෂයෙන් අවශ්‍ය කරුණක් නොවේ. නමුත් නීතීඥවරයකුට නඩු තීන්දුවක ගත
නොයුත්තක් නැත.)
Comments
Post a Comment