නීතීඥවරයකු නොමැතිව අපරාධ අධිකරණයේ පෙනී සිටින චූදිතයකුගේ අයිතිවාසිකම්
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළබඳ ජාත්‍යාන්තර සම්මුතිය (ICCPR) පනත තුල දැක්වෙන ආකාරයට චූදිතයකුට තමා ඉදිරිපිටදීම නඩු විභාගය පැවැත්වීමේ අවස්ථාවක් ලබා ගැනීමට මෙන්ම තමා වෙනුනේ තමාම පෙනී සිටිමින් විත්තිවාචක ඉදිරිපත් කිරීමට හෝ තමා විසින් තෝරා ගනු ලබන නීති ආධාර ලබමින් විත්ති වාචක ඉදිරිපත් කිරීමට සහ ඔහුට එවැනි ආධාරයක් නොමැති විට, එම අයිතිය පිළිබදව දැන ගැනීමට හිමිකමක් ඇත. විත්තිවාචක ඉදිරිපත් කිරීමට නීතීඥවරයකු සිටියද නොසිටියද චූදිතයකු සතු අයිතිය මේ වගන්තියෙන් පිළිගෙන තිබේ. මහේස්ත්‍රාත් අධිකරණය සැලකිල්ලට ගත්විට මෙම වගන්තිය මගින් දැක්වෙන හිමිකම වැදගත් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේදී සමහර අවස්ථාවල දී චූදිතයින්, නීතීඥ සහාය ලබා නොගෙන පෙනී සිටින නිසාවෙනි. කෙසේවෙතත් පෙර කී වගන්තිය යෙදෙන ආකාරය පිළිබදව ICCPR පනතේදී දැක්වෙන්නේ නැත. ඒ අනුව මේ විත්ති වාචක ඉදිරිපත් කිරීමේ අයිතිය පිළිබදව යෙදෙන තවත් වැදගත් වගන්තියක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 271(1), (2) වගන්තිවල ඇතුලත් වේ. එම වගන්ති පහතින් අමුණා තිබේ.
එකී වගන්තියේ දැක්වෙන 271(1) උප වගන්තිය ඉහතින් අපි දැක්වූ කරුණු පිළිබඳව සෘජුවම අදාල වේ. ඒ අනුව, නඩු විභාගයකදී චූදිතයාගේ විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් චූදිතයාට නියම කරනු ලැබුව හෝ සහ නියම කරන ලද විට, ඔහු වෙනුවෙන් උත්තරවාදියාද පෙනී නොසිටින්නේ නම්, තමා වෙනුවෙන් තමාම සාක්ෂි දීමට ඔහුට ඇති අයිතිවාසිකම පිළිබදව අධිකරණය විසින් ඔහුට දැනුම් දිය යුතුය. එසේ තමා වෙනුවෙන් තමාම සාක්ෂි දීමට ඔහු ඉදිරිපත් වුවහොත් චෝදක පක්ෂයේ සාක්ෂි වලින් ඔහුට විරුද්ධව බලපාන ප්‍රධාන කරුණු තමාගේ නිදහස සඳහා පැහැදිලි කිරීම පිණිස ඔහුට අවස්ථාවක් ලැබෙන පරිදි අධිකරණය විසින් ඒ ප්‍රධාන කරුණු කෙරෙහි ඔවුන් අවධානය යොමු කල යුතුය.
271(2) උපවගන්තිය අනුව චූදිත විසින් සාක්ෂි දුන්නේ නැතත්, උත්තර දීමේ අයිතිවාසිකම චූදිතයාට තිබිය යුතුය. ඉහත කී 271 (1) හා (2) වගන්ති ICCPR පනතට පෙර නීතියට හඳුන්වා දී ඇති ප්‍රතිපාදන වේ. ඒවා ද විධානාත්මක බලයකින් යුතු බව ‘යුතුය‘ යන පාඨය යොදා තිබීම හේතුවෙන් පැහැදිලි ය. ඒ අනුව පෙනෙන්නේ ICCPR පනත මගින් කර ඇත්තේ එසේ පැවති අයිතිවාසිකම් තවදුරටත් ප්‍රකාශිතවම පිළිගෙන ඇති බව වේ.
271 (1) වගන්තිය සැලකිල්ලට ගත් විට කරුණු කිහිපයක් හඳුනාගත හැක. එම වගන්තිය භාවිතා වීම සඳහා ප්‍රථමයෙන්ම අධිකරණය විසින් චූදිතයාට විත්තිවාචක ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු තත්ත්වය මතු විය යුතුය. මහාධිකරණයේදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 වගන්තිය අනුව පැමිණිල්ලේ නඩුව අවසානයේ චූදිතට එරෙහි චෝදනාව ඔප්පු කිරීමට තරම් සාක්ෂි නැත්නම් චූදිත නිදොස් කිරීමට බලය ලැබී තිබේ. එම වගන්තිය පාවිච්චි කල හොත් 271 (1), (2) වගන්ති වල භාවිතයක් නැත. කෙසේවෙතත් මහාධිකරණයේදී චූදිතයාට නීතීඥ සහාය ලැබෙන වාතාවරණයක් නීතියේ පවතී.
මහේස්ත්‍රාත් අධිකරණය සැලකිල්ලට ගත්විට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්තිය අනුව නඩුවේ ඕනෑම අවස්ථාවකදී චූදිතයකු නිදොස් කිරීමට බලය අධිකරණයට ඇත. නමුත් 185 වගන්තියට අනුව චූදිතයා නිදොස් කරන්නේ චූදිත විසින් සාක්ෂි කැඳවුවහොත් ඒ සාක්ෂි ද සැලකිල්ලට ගැනීමෙන් පසුවය. යම් හෙයකින් මහේස්ත්‍රාත්වරයා 186 වගන්තිය අනුව කටයුතු කරයි නම් පෙර කී 271 (1), (2) වගන්ති අදාල වන්නේ නැත. එය අදාළ වන්නේ 186 වගන්තිය යටතේ චූදිතයා නිදොස් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු නොකරන අවස්ථාවකදී වේ.
මෙහිදී නීතීඥවරු විසින් මේ 186 වගන්තිය යටතේ විත්ති සාක්ෂි නොකැඳවා චූදිතයා මුදා හැරීමට කරනු ලබන ඉල්ලීම හා ඊට අදාලව මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙන නියෝග සැලකිල්ලට ගන්න. එසේම අද වන විට පැ.සා 1 කැඳවීමෙන් පසුව මේ 186 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා විසින් චූදිත නිදොස් කිරීම යහපත් බව ඉහල අධිකරණය විසින් නඩු තීන්දු ගණනකදී තීරණය කර ඇති බවද සැලකිල්ලට ගත යුතුය.
ඒ අනුව පැමිණිල්ලේ නඩුව අවසානයේදී 186 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා කටයුතු නොකරන විට 271 (1), (2) වගන්තිය අදාල වේ.
වගන්තියේදී උත්තරවාදියකු පෙනී නොසිටීම පිළිබදව දක්වා ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව උත්තරවාදියා යනු නීතීඥවරයෙකි. ඔහුට නඩු විභාගයකදී චූදිතයකුගේ අයිතිවාසිකම් පිළිබෙඳව දැනුම ඇත. ඒ අනුව නීතීඥවරයකු චූදිතයා වෙනුවෙන් පෙනී සිටී නම් එවිට ද 271 (1), (2) වගන්ති අදාල නොවේ.
උත්තරවාදියා පෙනී නොසිටින විට පැමිණිල්ලේ නඩුව අවසානයේදී චූදිතට තමා වෙනුවෙන් සාක්ෂි ලබා දීමට ඇති අයිතිවාසිකම් දැනුම් දිය යුතු වේ. මෙය අධිකරණය සතු වගකීමකි. එහිදී කරුණු දෙකක් පිළිබඳව අධිකරණයට චුදිතට දැනුම් දීමට සිදු වේ. ඒවා පහත පරිදිය.
1. තමා වෙනුවෙන් දිව්රුම් පිට සාක්ෂි දීමට හැකියාව ඇති බව.
සාක්ෂි ආඥාපනතේ 120 (6) වගන්තිය අනුව චූදිතයකුට පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙසින්ම සාක්ෂි දිය හැකි බව පිළිගෙන තිබේ. එවිට දිව්රුම් පිට ලබා දෙන ඔහුගේ සාක්ෂිය, පැමිණිල්ල විසින් හරස් ප්‍රශ්න සඳහා ලක් කරයි. ඒ බව අධිකරණය විසින් චූදිතයාට පැහැදිලිකර දිය යුතුය.
2. දිව්රුම් නොදී විත්තිකූඩුවේ සිට කරන ප්‍රකාශය.
රජු එ. සිත්තම්පරම් නඩුවේදී විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දීමට චූදිතයකුට ඇති හැකියාව පිළිගෙන ඇති අතර අද එය ලංකාවේ පිළිගත් නීතිමය තත්ත්වයකි [බලන්න, Galagamage Indrawansa Kumarasiri & Others v. W.M.M.Kumarihamy (S.C. TAB Appeal No. 02/2012 decided on 02.04.2014)]. මේ 1, 2 අවස්ථා චූදිතට පැහැදිලි කර දුන් පසු චූදිතට අවශ්‍ය නම් ඉන් එකක් තෝරා ගත හැක. නැත්නම් නිහඬව සිටිය හැක. චූදිත නිහඬව සිටීම තෝරා ගතහොත් අධිකරණයට ඇති 271 (1), (2) වගන්ති වලින් පැවරෙන කාර්යය අවසන් වේ. නමුත් 1 හෝ 2 අවස්ථාව තෝරා ගැනුනොත් අධිකරණයට තවත් වගකීමක් පැවරේ. යම් හෙයකින් ඉහත 1 හෝ 2 අවස්ථා වලින් එකක් චූදිත තෝරා ගන්නා අවස්ථාවකදී අධිකරණය විසින් චෝදක පක්ෂයේ සාක්ෂි වලින් ඔහුට විරුද්ධව බලපාන ප්‍රධාන කරුණු ඔහුගේ නිදහස සඳහා පැහැදිලි කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ඔහුගේ අවධානයට ලක් කල යුතුය.
271 (1) වගන්තියේදී ‘තමාගේ නිදහස’ යන පාඨය ඉතා පැහැදිලිව දක්වා තිබේ. එයින් අධිකරණය විසින් චූදිතයාට අවබෝධ කල යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව මාර්ගෝපදේශ ලබා දෙයි.
නීතීඥවරයකු නොමැතිව අධිකරණය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයකු සම්බන්ධව මේ ප්‍රතිපාදන අනුගමනය කිරීමට අධිකරණය කටයුතු නොකිරීම චූදිත වරදකරු කිරීම නිෂ්ප්‍රභා කිරීමට තරම් හේතුවක් වන බව Premaratne v. Republic of Sri Lanka - (1975) 77 NLR 522 නඩුවේ දී තීරණය වී තිබේ. එහිදී වැඩිදුරටත් මෙසේ තීරණය වී ඇත.
“S. 296 (1) of the Criminal Procedure Code imposes upon, the Trial Judge the duty of informing the undefended accused person of the right to give evidence on his own behalf and, if the accused elects to give evidence on his own behalf, the Trial Judge should call the attention of the accused person to the principal points in the evidence for the prosecution which tell against bins in order that he may have an opportunity of explaining them. These provisions are imperative and the Trial Judge must strictly conform to them.”
කෙසේවෙතත් නඩු වාර්තාව අනුව චූදිතයා තමාට එරෙහිව ඇති මූලික කරුණු පිළිබදව දන්නා බවට පෙනී යන අවස්ථාවකදී මෙකී විධාන අධිකරණය විසින් අනුගමනය නොකිරීම චූදිතට එරෙහි තීන්දුව අවලංගු කිරීමට තරම් හේතුවක් නොවන බව Somaliya v. Kaluwa - (4 C.W.R. p. 121), Muhandiram v. Simon - (1928) 30 NLR 151 ආදී නඩුවලදී තීරණය වී තිබේ.
මෙහිදී පෙර කී ICCPR පනතේ විධාන සැලකිල්ලට ගත් විට මේ විධාන අනුගමනය කල බවට විනිසුරුවරයා විසින් නඩු වාර්තාවේ සටහන් කර තිබීම වැදගත් වේ.
ඇමුණුම
Very important.thanks lot sir
ReplyDeleteBig help.thanks sir
ReplyDelete