අපි ටිකක් ඇඟ බැඳීම ගැන කථා කරමු.
ප්‍ර:- දැන් සාමාන්‍ය භාවිතාවේදී මිනිස්සු කියනවා ‘උසාවියෙන් ඇඟ බදිනවා’ කියලා. මේ කියන්නේ මොකක් ගැනද?
උ:- කෙටියෙන් කියනවා නම් ඔය කින්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ vii වන පරිච්ඡේදය යටතේ කරන ආඥා ගැන. ඔතන ආඥා කීපයක්ම තියෙනවා. නමුත් අපි හිතන්නේ ඔය කියන්නේ 81 වගන්තිය යටතේ තියෙන ‘සාමය ආරක්ෂා කිරීම සදහා වූ ඇපය’ ගැන කියලා.
ප්‍ර:- මොන අධිකරණයෙන්ද ඔය කියපු සාමය ආරක්ෂා කිරීමේ ඇපය නියම කරන්නෙ?
උ:- 81 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයට තමයි මේ බලය තියෙන්නෙ. ඒ කියන්නෙ තව විස්තර කරනවා නම්, බැඳුම්කරයට ඇතුල් කරන්න ඕනා පුද්ගලයා ඉන්න ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයට තමයි මේ බලය තියෙන්නේ.
ප්‍ර:- කාවද මේ වගේ බැදුම්කරයකට ඇතුළු කරන්න පුළුවන්?
උ:- 81 වගන්තිය අනුව නම් පුද්ගලයින් කොට්ඨාශ කීපයකටම මේ බැදුම්කරයට ඇතුල් කරන්න පුළුවන්. ඒ අය තමයි.
1. මහේස්ත්‍රාත් අධිකරණයක බල සීමාවේදී සාමය කඩ කරනු ලැබීමට හෝ සාමය කඩ වීමක් සිදුවිය හැකි යම් වැරදි ක්‍රියාවක් කරනු ලැබීමට ඉඩ ඇති බවට දැක්වෙන යම් තැනැත්තෙක්.
2. මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිට බල සීමාවක් තුල සාමය කඩ කිරීමට හෝ ඉහතින් කිව්ව වගේ වැරදි ක්‍රියාවක් කිරීමට ඉඩ ඇති යම් තැනැත්තෙක්.
මේ කොටස් දෙකම 81 වගන්තියට ඇතුලත් වෙනවා. එතකොට ඔබට පෙනේවි මෙතනදි මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ තාවකාලික පදිංචිකරුවෙකුට වුනත් මේ පුද්ගල කොට්ඨාශ දෙකට ඇතුළත් වෙන්න පුළුවන් කියලා.
ප්‍ර:- හොඳයි මේ කියන අයව මොන මොන වෙලාවේද බැදුම්කරයකට ඇතුල් කරන්න පුළුවන්.
උ:- දැන් අපි කලින් කිව්වනෙ කාවද මේ බැදුම්කරයට ඇතුල් කරන්න පුළුවන් කියලා. එතනම තියෙනවා මොන අවස්ථාවෙද බැදුම්කරයට ලක් කරනන් පුළුවන් කියලා. ඒ එක්කො සාමය කඩ කරනු ලැබීමට නැත්නම් සාමය කඩ විය හැකි යම් වැරදි ක්‍රියාවක් කරනු ලැබීමට ඉඩ ඇති අවස්ථාවක.
ප්‍ර:- කොහොමද මේ බැදුම්කරයට ඇතුල් කිරීමේ ක්‍රියාව පටන් ගන්නෙ?
උ:- ඒකට උත්තරයත් 81 වගන්තියෙම තියෙනවා. වගන්තියේ තියෙන්නෙ ‘මහේස්ත්‍රාත්වරයා වෙත තොරතුරු ලැබුනු කවර විටක වුවද’ කියලා. ඒ කියන්නේ පෙර කිව්ව අවස්ථා වලදී ඒ අවස්ථාව ගැන තොරතුරක් මහේස්ත්‍රාත්වරයාට ලැබෙන විටක මේ බැදුම්කරයට අදාල නීති කටයුත්ත ඇරඹෙන්න පුළුවන්.
එතකොට මේ තොරතුරු දිවුරුම්පිට දෙන්න ඕන කියලා වගන්තියේ නෑ. ඒ නිසා තොරතුරු ලැබෙන්නේ සාමාන්‍ය ලියැවිල්ලකින් නැත්නම් පිළිගන්න පුළුවන් වාචික තොරතුරකින් වුවත් වෙන්න පුළුවන්. මේ ගැන Inspector v. Kostan Appuhamy - 4 CWR 70 නඩුවේදී කියලා තියෙනවා. අද නම් ඉතින් හුඟක් ම තියෙන්නේ පොලීසියෙන් ඉදිරිපත් කරන තොරතුරු වාර්තා තමයි.
ප්‍ර:- දැන් මෙහෙම තොරතුරක් ලැබුනම ඊලඟ පියවර මොකක්ද?
උ:- ඔව් තොරතුරු ලැබුණට පස්සෙ මහේස්ත්‍රාත්වරයා කරන්නෙ ඒ තොරතුරින් අර කලින් කිව්ව කරුණු ගැන සෑහීමට පත් වෙනවා නම් සාමය ආරක්ෂා කරන්න බැදුම්කරයට ඇතුල් නොකිරීමට හේතු දැක්වීමට වගඋත්තරකාරයට සිතාසියක් නිකුත් කරනවා.
සමහර අවස්ථාවලදී පොලීසිය විසින් පාර්ශවකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනවා. එතකොට සිතාසි අවශ්‍ය නෑ.
අනෙක් අතට මේ තොරතුර ලැබුණාම මහේස්ත්‍රාත්වරයාට පේනවා නම් මේ කියන තැනැත්තා සිර භාරයට නොගෙන මිසක් සාමය කඩ වීමේ තත්ත්වය වලක්වන්න බැහැ කියලා මුල් අවස්ථාවේම වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන් සිර භාරයට අරන් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි එතකොට මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව නිකුත් කරන්න කලින් නඩු වාර්තාවේ ඒකට හේතු ලියන්න ඕන. ඒ බව 84 වගන්තියේ ලියල තියෙනවා.
මේ යවන සිතාසියේ නැත්නම් වරෙන්තුවේ තියෙන්න ඕනා මෙහෙම සිතාසියක් හෝ වරෙන්තුවක් නිකුත් කරන්න හේතු වන කාරණය. ඒක සම්පූර්ණ යෙන්ම ලියන්න ඕන නෑ. සංක්ෂිප්තව තිබුණාම ඇති කියලා 85 වගන්තියේ තියෙනවා.
ප්‍ර:- හරි සිතාසි ලැබිලා හරි, නැත්නම් වරෙන්තුවට හරි නැත්නම් පොලීසියෙන් ඉදිරිපත් කරලා හරි අධිකරණයට ආවම ඊලග පියවර මොකක්ද?
උ:- ඔව් සිතාසියක් නම් ඒ සිතාසියේ ලියලා තියෙනවා සාමය ආරක්ෂා කිරීමේ බැදුම්කරයකට ඇතුළත් නොකිරීමට හේතු දක්වන්නයි එන්න කියන්නෙ කියලා. එතකොට තැනැත්තා ඉතින් හේතු දක්වන්න ඕන. වරෙන්තුවට ගෙනාවත් ඒ හේතු දැක්වීමේ අවස්ථාව දෙන්න ඕන. මේ අවස්ථාව නොදීම සහ එහෙම හේතු දැක්වීමට අවස්ථාව නොදී බැදුම්කරයකට ලක් කලොත් ඒ බැදුම්කරය ඉහල අධිකරණය විසින් ඉවත් කරන බවට Salgado v. John Singho - 8 CLW 107 නඩුවේදී දක්වලා තියෙනවා. මේ ගැන තව නඩු තීන්දු තියෙනවා.
ප්‍ර:- එතකොට හේතු දැක්වුවාම ඇඟ බදින්නේ නැද්ද?
උ:- මෙහෙමයි ඉතිං පනතේ විධාන අනුව ඕන නේ අධිකරණය කටයුතු කරන්න. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අර සිතාසිය යවන්න හේතු වුන තොරතුරේ සත්‍යතාවය පිළිබඳව විභාග කරන්න ඕනා.
හේතු දක්වන්න අවස්ථාව ලබා දීලාත් හේතු නොදක්වනවානම් ඉතින් කරන්න දෙයක් නෑ. නිහඬතාවය ඉතින් තමුන්ට එරෙහිව තියෙන කරුණු ඇත්ත කියලා පෙන්වන්න හේතුවකුත් වේවි.
එතකොට මේ පවත්වන විභාගය සාමාන්‍යෙයන් පවත්වන්නේ ලඝු නඩුවක් විභාග කරන ආකාරයට හැකිතාක් අනුකූල විදියට. එහෙමයි කියලා චෝදනා පත්‍රයක් නැත්නම් චෝදනාවක් කියවලා දෙන්නේ නෑ.
අනෙත් අතට මහේස්ත්‍රාත්වරයාට අවශ්‍ය නම් මේ විභාගය අවසන් වන තුරු අර තැනැත්තාට එරෙහිව සාමය ආරක්ෂා කරන්න කියලා අතුරු ආඥාවක් කරන්නත් පුළුවන්. ඒ ආඥාවට විරුද්ධව අභියාචනා කරන්න බෑ කියලා 86 (4) වගන්තියේ තියෙනවා.
ප්‍ර:- එතකොට මේ විභාගයෙදී මොකක්ද වෙන්නේ?
උ:- විභාගයක් පවත්වන්න ඕනා කියලා 84 වගන්තියේ පැහැදිලිව තියෙනවා. ඒ වුනත් වර්තමානයේදී එහෙම විභාග පැවැත්වෙන අවස්ථා අල්පයි. නීතීඥවරයකුට අවශ්‍ය නම් සේවාදායකයා වෙනුවෙන් මේ 86 වගන්තිය ප්‍රකාරව විභාගයකට ඉල්ලන්න පුළුවන්. අද වැඩිපුරම ලිඛිත දේශන වලින් තමයි මේ විභාගය පවතින්නෙ. එතැනදි වගඋත්තරකරුවන්ට එරෙහිව තියෙන සාමය කඩ කිරීම ගැන චෝදනාව නැත්නම් වරදක් කරන බවට වන ස්ථාවරය හරිද කියලා නිශ්චිතව හදුනා ගන්න බෑ කියලත් වෙලාවකට හිතෙනවා. දැන්, Fernando v. Tamby Sinno – 3 NLR 54 නඩුවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි වගඋත්තරකරුට, තොරතුරුකරුගේ හෝ තොරතුරුකරුගේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉඩ නොදී වගඋත්තරකරුව බැදුම්කරයට ඇතුල් කරනවා. ඒක නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා.
ඒ වගේම මේ විභාගයේදී වගඋත්තරකරුට අයිතිය තියෙනවා පොලිස් නිලධාරියා විසින් නැත්නම් වෙනත් විධියකින් වගඋත්තරකරුට එරෙහිව ඉදිරිපත් කරලා තියෙන කරුණු අසත්‍ය බව පෙන්වන්න සාක්ෂි මෙහෙයවන්න. ඒ බව Perera v. Fernando - 4 weer 27 නඩුවේදී තීරණය කරලා තියෙන කරුණක්.
Police v. Silva - 6 Law Rec 73 නඩුවේදී තියෙනවා මේ විමසීම, ලඝු නඩු විභාගයකට පෙරලන්න බැරි බව. මේ විභාගයේදී මහේස්ත්‍රාත්වරයාට තොරතුරුකරු විසින් ලබා දීලා ප්‍රවාදක සාක්ෂි එහෙම නොසලකා හරින්න පුළුවන්. ඒ වගේම තමයි වගඋත්තරකරුගේ සාමාන්‍ය චරිතය ගැන මෙතනදි සැලකිල්ලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයා ගැන හරියටම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න අපහසුයි.
මේ කොහොම වුනත් සාමය ආරක්ෂා කිරීමේ බැදුම්කරයට අත්සන් කිරීමට නියම කිරීමට කලින් වගඋත්තරකරු විසින් සාමය කඩ කරන්න නැත්නම් වැරදි කරන්න සූදානම් වෙන බවට ප්‍රමාණවත් කරුණු මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට තිබිය යුතුය. මේ බව Senodin Marikar v. Siadik Lebbe - (1899) 1 Tamb 4 නඩුවේදී තීරණය වෙලා තියෙනවා.
ප්‍ර: අපි දකිනවා සමහරවෙලාවට මේ නඩුවලදී එකිනෙකාට විරුද්ධ පාර්ශව දෙකම එකම නඩුවේදී ඉදිරිපත් කරන අවස්ථා. සමහරු කියනවා මේක නීතිවිරෝධී කියලා. මේ ගැන මොකක්ද අදහස?
උ: Hewavitarne v. Appuhamy - 30 NLR 33, Weerasinghe v. Mohamadu Ismail - (1932) 33 NLR 245 නඩුවලදී කියනවා එක නඩුවකදී දෙපාර්ශවයම බැදුම්කරයට ඇතුල් කල හැකි කියලා.
ඊළඟට 4 CWR 238, Hamid Samath v. Silva නඩුවේදී කියලා තියෙන්නෙ ඒක සුදුසු නෑ කියලා.
Velaiden v. Zoysa Et Al. - [1910] 5; (1910) 14 NLR 140 නඩුවේදී කියනවා දෙපාර්ශවය එකම නඩුවේදී සාමය ආරක්ෂා කිරීමේ බැදුම්කරයට ඇතුල් කල නොහැකියි කියලා. මේ ගැන Abeyawardene v. Fernando - (1924) 27 NLR 97 නඩුවේදී කරුණු දක්වලා තියෙනවා. කොහොම වුනත් 81 වගන්තිය යෙදෙන ආකාරය අනුව පේන්නේ ඒ වගන්තිය කථා කරන්නෙ එක පාර්ශවයක් ගැන විතරයි. නමුත් එක පාර්ශ්වයක් ඇතුලෙ එක්කෙනෙක්ට වඩා පිරිස ඉන්න පුළුවන්.
ප්‍ර: හරි, දැන් විභාගෙන් පස්සෙ මොකද වෙන්නෙ?
උ: ඔව්. එතැනදි පියවර දෙකක් මහේස්ත්‍රාත්වරයාට විවෘතයි.
1- ඔහුට පේනවා නම් වගඋත්තරකරු 81 වගන්තිය තුල දැක්වෙන පුද්ගලයෙකු කියලා පනතේ 87 වගන්තිය ප්‍රකාරව බැදුම්කරකට ඇතුල් වෙන්න නියම කරන්න පුළුවන්. මේ ගැන වැඩිදුර විස්තර 87 වගන්තියේ පැහැදිලිව තියෙන නිසා මෙතන ආපසු ලියන්නේ නැහැ.
නමුත් මේ නියෝගය කරන්න කලින් මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත් වෙන්න ඕනෑ සාමය කඩ වීමේ තත්වයක් ඇති කරන්න වගඋත්තරකරු මැදිහත් වෙනවා කියලා. [Sinodia Marikar v. Siadik Lebbe (1899) 1 Tamb 4]
2- යම් හෙයකින් විභාගය අවසන් වෙනකොට මහේස්ත්‍රාත්වරයාට පේන්න වගඋත්තරකරුගේ අනිසි සාමය කඩ වන තත්වයක් නැත්නම් ඔහුව යහපත් හැසිරීමෙන් සිටීමට බැදුම්කරයට ඇතුල් කිරීමේ වුවමනාවක් නෑ කියලා නම් 88 වගන්තිය යටතේ වගඋත්තරකරුව මුදා හරින්න ඕනා.
ප්‍ර: මේ බැදුම්කරයට ඇතුල් වන තැනැත්තන්ගේ තත්වය මොන වගේද?
උ: ඔව් දැන් පනතේ 91 වගන්තියේ තියෙනවා බැදුම්කරයක තියෙන්න ඕන දේවල් මොනවද කියලා. ඇපකරු ඥාතියෙකු වුනාට ප්‍රශ්නයක් නෑ. මෙම ඇපය තියන්න කිව්වට පස්සේ ඒ ඇපය තැබීම පැහැර හැරියොත් සිර දඩුවම් තමයි ලැබෙන්න නියමිත. එතකොට 90 වගනතියේ තමයි දැක්වෙන්නේ කවද ඉදන්ද මේ බැදුම්කරය ඇරඹෙන්නේ කියලා. ඇපය තැබීම පැහැර හැරියහොත් ඉතින් බන්ධනාගාරයට වගඋත්තරකරුව බාර දිය යුතුයි. හැබැයි මෙහිදී බරපතල වැඩ දෙන්න බෑ.
ප්‍ර: දැන් ඔය බන්ධනාගාරයට යවන අයට කාලය ඉවර වෙන තෙක් ගෙදර යන්න බෑ නේද?
උ: එහෙම නෑ ඉතින්. 93 වගන්තියේ තියෙන විදියට ඒ තැනැත්තාව සමාජයට උපද්‍රව රහිතව මුදා හරින්න පුළුවන් කියලා අධිකරණයේ මතය නම් එයාව නිදහස් කරන්න පුළුවන්.
ප්‍ර: අවසන් වශයෙන් මේ සාමය ආරක්ෂා කිරීමේ බැඳුම්කරය ගැන කියන්න දෙයක් තියෙනවාද?
උ: මෙහෙමයි. අපි මේ වෙනකන් කථා කළේ සාමය ආරක්ෂා කිරීමේ බැඳුම්කරයට අදාළ වෙන නීතිමය කරුණු. මේ ප්‍රතිපාදන හඳුන්වලා දීලා තියෙන්නේ මිනිස්සුන්ගේ අතින් සිදුවෙන යම් යම් සිදුවීම් වලින් සමාජයේ පැවැත්විය යුතු සාමය නොකඩවා ආරක්ෂා කර ගැනීමේ අරමුණින්. අවසාන ප්‍රතිඵලය තමයි සාමය පැවැත්වීම. මේක අධිකරණයකට ම ගිහිල්ලා බැඳුම්කරයකින් ම කරගන්නෙ නැතිව, තමන්ගෙම වුවමනාවෙන් තමන් විනයගරුකව සහ ඉවසිලිමත්ව පාලනයක් ඇති කර ගෙන සමාජයේ සාමය ආරක්ෂා කර ගැනීමට දායක වෙනවා නම් අන්න ඒකයි වැදගත් කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ.
Very important sir
ReplyDelete