අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය සහ සැකකරු.
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (මින් ඉදිරියට අපරාධ නඩු විධාන සංග්‍රහය ලෙසින් හෝ සංග්‍රහය ලෙසින් ද හැඳින්වෙන) ප්‍රධාන වශයෙන් ආයතන තුනක කටයුතු සම්බන්ධයෙන් අදාළ වේ. ඒ පොලීසිය, මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය යි. මින් පොලීසිය සම්බන්ධයෙන් වන විට අපරාධ නඩු විධාන සංග්‍රහ ප්‍රතිපාදන සලසන්නේ අපරාධ නැත්නම් වැරදි ‘විමර්ශනය කිරීමේ‘ පහසුකම් සලසමිනි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම, සැකකරුගෙන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරවීම ආදී කටයුතු සඳහා එහිදී ප්‍රතිපාදන සලසා තිබේ. යම් අවස්ථාවලදී මෙකී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් තනිවම කටයුතු කිරීමට නොහැකි විටදී මහේස්ත්‍රාත්වරයාගේ සහාය ලබා ගැනීම සඳහා විධාන සැලැස්වීමට ද අපරාධ නඩු විධාන සංග්‍රහය කටයුතු කර ඇත. ඒ ප්‍රධාන වශයෙන් ම 124 වන වගන්තියෙනි.
124 වන වගන්තිය අනුව ඉල්ලීමක් ලද විටදී විමර්ශනයට සහාය වීම සඳහා සුදුසු නියෝග ලබා දීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලැබී තිබේ. සමහර අවස්ථාවලදී සැකකරුවන් වෙනුවෙන් ද අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ නියෝග ඉල්ලා සිටින අවස්ථා වේ. නිදසුනකට සැකකරුවකු විසින් අන්‍යස්ථානිකභාව මත රැඳී සිටින විට ඔහු වෙනත් ස්ථානයක සිටි බව පෙන්වීමට අවශ්‍ය කරන සීසීටීවී දර්ශන ලබා ගැනීමට, ඒ සීසීටීවී දර්ශන ගබඩා කර ඇති ස්ථානයක හිමිකරුවකුට එම සීසීටීවී දර්ශන ඉදිරිපත් කරවීමට ඉල්ලා සිටින නියෝග සැලකිය හැක. තවත් මෙවැනි නිදසුනක් ලෙසින් සැලකිය හැකි අවස්ථාවක් ලෙසින් දුරකථන වාර්තා ලබා ගැනීම සඳහා දුරකථන සැපයුම් සමාගම් සඳහා නියෝග ඉල්ලා සිටීම සැලකිය හැක.
සැකකරුවකු විසින් කරනු ලබන මෙවැනි ඉල්ලීම් අපරාධ විමර්ශනයට අදාළ වන කරුණු වුවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මහේස්ත්‍රාත්වරයාට නියෝග ලබා දිය හැකි ඉල්ලීම් නොවේ. ඊට හේතුව වන්නේ විමර්ශනය කිරීමේ කාර්යය පොලීසියට අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පැවරී ඇති නිසාවෙනි. එම විමර්ශනයේ දී සැකකරුවකුගේ නිර්දෝෂීභාවයට තුඩු දෙන යම් කරුණක් වේ නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීම ද පොලීසියේ කාර්යයි. සංග්‍රහයේ 120(3) වන වගන්තිය අනුව සැකකරුවකු නිදහස් කරන ලෙසින් අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිස් ස්ථානාධිපතිවරයාට හැකියාව ලැබෙන්නේ ඒ අනුව ය. එම 120(3) වගන්තියේ දැක්වෙන ආකාරයට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගොනු කරනු ලබන වැඩිදුර වාර්ථාව ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මහේස්ත්‍රාත්වරයාට නොපෙනේ නම් සැකකරු නිදහස් කිරීමට කටයුතු කළ යුතු වේ. සැකකරුව මේ ආකාරයෙන් විමර්ශන අවස්ථාවේ දී එනම් චෝදනා කියවා දීමකින් තොරව නිදහස් කළ හැකි වන්නේ ඔහුට එරෙහිව වරදක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොවන්නේ නම් පමණි. ඒ සඳහා සැකකරුට අදාළව පවතින කරුණු පිළිබඳවත් විමර්ශනය කළ යුතු ය (ප්‍රායෝගිකව මෙය කිරීම හෝ නොකිරීම වෙනත් කථාවකි). සැකකරුගෙන් සහ සාක්ෂිකරුවන්ගෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගන්නේ එහෙයිනි. ඒ ප්‍රකාශ අනුව ඔහුගේ ස්ථාවරයට අදාළ සීසීටීවී දර්ශන, දුරකථන ඇමතුම් ආදී සාක්ෂි පවතින්නේ නම් එවැනි සාක්ෂි එක්රැස් කර ගැනීම සඳහා පොලීසියට 124 වන වගන්තිය යටතේ අධිකරණයෙන් ඉල්ලීම් කළ හැක.
කෙසේවෙතත් සැකකරුවකු විසින් පොලීසියට ලබා දෙන තොරතුරුවලට අදාළව පොලීසිය නිසි විමර්ශන නොපවත්වයි නම් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට අධිකරණයේදී සැකකරුවකුට පුද්ගලිකව හෝ නීතීඥවරයා මගින් පුළුවන. ඒ දැනුවත් කිරීම් අනුව පොලීසියෙන් කරුණු විමසීමට මෙන්ම ඒ පිළිබඳව නඩු වාර්තාවේ සටහන් තැබීමට මහේස්ත්‍රාත්වරයා බොහෝදුරට කටයුතු කරයි. එවැනි අවස්ථාවලදී පොලීසිය විසින් 124 වන වගන්තිය යටතේ සැකකරුගේ ප්‍රකාශ අනුව කටයුතු කරන අවස්ථා පමණක් නොව 120(3) වගන්තිය යටතේ සැකකරු නිදහස් කරන ලෙසින් ඉල්ලා සිටින ආකාරය පවා මා දැක ඇත.
පවත්නා නෛතික තත්ත්වය සැකකරුවකුට අසාධාරණයැයි කෙනකුට මෙවැනි තත්ත්වයන් යටතේ කිව හැක. නමුත් එය එසේ නොවේ. අපරාධ නඩු ක්‍රියාවලියම පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පිළිගත් එක්තරා මූලධර්මයක් මතය. එකී මූලධර්මය වන්නේ ඔප්පු කරන තුරු කිසිවකු අපරාධකරුවකු නොවේ ය යන මූලධර්මය යි. මෙනිසා අපරාධ නඩුවකදී තමුන් නිර්දෝෂී බව ඔප්පු කිරීමට චූදිතයකුට පැවරෙන්නේ නැත. නමුත් විමර්ශනයකදී විමර්ශනයට සහාය දීම සඳහා නිවැරදි තොරතුරු සැපයීමට සැකකරුවකු බැඳී සිටී. එසේ නොකළහොත් ඔහුට අපරාධ නඩුවකට සම්බන්ධ වීමට සිදු වේ. මන්දයත් ඔහුව 120(3) වන වගන්තිය යටතේ නිදහස් නොකෙරෙන නිසාවෙනි.
එසේම මෙහිදී සිහි තබා ගත යුතු තවත් කරුණක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මෙන්ම සිවිල් අයිතිවාසිකම් සම්මුති පනත අනුව වුවද සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතිවාසිකම ලැබෙන්නේ චූදිතයකුට ය. චූදිතයකුට ඇති අයිතිවාසිකම් සැකකරුවකුට එලෙසින් ම ලැබෙන්නේ නැත.
මෙකී තත්ත්වයන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අවස්ථාවලදී නීතීඥවරු විසින් සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ හෝ සමහරක් විට කිසිඳු නෛතික ප්‍රතිපාදනයකට නොවැටෙන ආකාරයේ ඉල්ලීම් සිදු කරනු ලබයි. එවැනි ඉල්ලීම් සලකා බැලීමට මහේස්ත්‍රාත්වරයකුට හැකියාව නැත. එවැනි විටදී අධිකරණයට දොස් තැබීමට කාලය වැය නොකර නිසි ආකාරයෙන් එකී කටයුත්ත සඳහා යොමුවීම සැකකරුවකුට වඩාත් ඵලදායී වේ.
Comments
Post a Comment