දික්කසාද නඩුවකදී ප්‍රතිබන්ධය/රෙස් ජුඩිකාටා අදාළ වන ආකාරය පිළිබඳව කෙටි හැඳින්වීමක්.
Wijesinghe v. Aslin Nona 80 NLR 213 නඩු තීන්දුවේ දී දික්කසාද නඩුවකදී ප්‍රතිබන්ධය අදාළ වන ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබිණි. සිද්ධිමය කරුණු අනුව ඩී 666 දරණ මුල් දික්කසාද නඩුව, ස්වාමි පුරුෂයා විසින් අනුමිත ද්වේශ සහගත හැරයාමේ වෛවාහක වරද මත බිරිඳට එරෙහිව පවරා තිබුණ අතර එහිදී අනාචාරය නඩු නිමිත්තක් ලෙසින් අයැද නොතිබිණි. නමුත් 4 වන දරුවාගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ නඩුව නිෂ්ප්‍රභ වූ අතර විනිසුරුවරයා තීන්දුවේ දී 4 වන දරුවාගේ පියා, ස්වාමි පුරුෂයා නොවන බව ද නිරීක්ෂණයක් ලෙසින් දක්වා තිබිණි. ඊට අභියාචනයක් ගොනු වූයේ නැත. පසුව ස්වාමි පුරුෂයා නැවතත් 4 වන දරුවා මුල් කර ගනිමින් බිරිඳට එරෙහිව අනාචාරය යන පදනම මත දික්කසාද නඩුවක් පවරන්නට යෙදුනි. ඒ සඳහා ඔහු පදනම් කර ගත්තේ පෙර නඩුවේ දී තමුන් දරුවාගේ පියා නොවන බවට විනිසුරුවරයා කරනු ලැබූ තීරණය ය. බිරිඳ විසින් මෙහිදී රෙස් ජුඩිකාටා/ප්‍රතිබන්ධය විත්තිවාචකයක් ලෙසින් ඉදිරිපත් කරන ලදි. ඇය වැඩිදුරටත් කියා සිටියේ අනාචාරය පිළිබඳව විසඳනාවක් පෙර නඩුවේ දී මතු කරනු ලැබිය යුතුව තිබුණු බවයි.
ඒ අනුව මේ ඉහළ අධිකරණයේ දී අවධානයට ලක් වූ කරුණු මෙසේ ය.
අ. ද්වේශ සහගත හැරයාමේ වෛවාහක වරද මත දික්කසාද නඩුවක් පවරද්දී අනාචාරය යන වෛවාහක වරද යන පදනම ද පවතින බවට දැනුවත් ව සිට ඒ පදනම මත නඩුව පවරා නැත්නම්, අනාචාරය මත පදනම් ව දෙවන දික්කසාද නඩුවක් පැවරිය හැකි ද?
ආ. මුල් නඩුවේ දී අවශේෂ කරුණක් වූ පීතෘත්වය පිලිබඳ කරුණින්, ඒ නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබ ඇති අවස්ථාවකදී ඒ නඩුවේ වාසි සහගත වූ පාර්ශ්වය බැඳී සිටින්නේ ද?
ඇ. දික්කසාද අධිකරණයක අළුත් විමසීමකින් තොරව වෛවාහක වරදක් පිළිබඳව නඩුවක් භාර ගැනීම ප්‍රතිබන්ධය මගින් වලක්වන්නේ ද (Does estoppel compel a divorce court to accept a matrimonial offence without fresh inquiry)?
ඒ අනුව අධිකරණයේ දී තීරණය වූයේ දික්කසාද නඩුවකදී නඩු නිමිත්ත වනුයේ වෛවාහක වරද බවත්, ඒ වෛවාහක වරදේ එකිනෙකට වෙනස් අංගයන් ලෙසින් අනාචාරය සහ ද්වේශ සහගත හැරයාම පවතින බවත් ය. මෙකී තීරණයට පැමිණීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ 33, 34 වන වගන්ති අවධානයට ගෙන තිබිණි. මෙයින් කියනු ලැබුවේ වෛවාහක වරද මත දික්කසාද නඩුවක් පවරන අවස්ථාවේ දී අනාචාරය සහ ද්වේශ සහගත හැරයාම සම්බන්ධයෙන් කරුණු පවතී නම් ඒ කාරණා දෙකම එකම නඩුවකට රැගෙන ආ යුතු බවයි.
තවද, පාර්ශ්වයක් විසින් තමුන්ට ඇති සියළු පදනම් මත නඩු පැවරිය යුතු අතර කොටසක් එක් නඩුවකදීත් තව කොටසක් පසුව පවරන තවත් නඩුවකදීත් ලෙසින් විභජනය කොට නඩු පැවරීමට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 207 වන වගන්තිය අනුව ඉඩ ලැබෙන්නේ නැත. මෙනිසා ස්වාමි පුරුෂයා පසු අවස්ථාවකදී අනාචාරය මත නඩු පැවරීමෙන් වැළැක් වේ. මෙහිදී හෙන්ඩර්සන් එදිරිව හෙන්ඩර්සන් රීතිය අනුගමනය කරන ලදි. ඒ අනුව මුල් නඩුව පවරන අවස්ථාවේ දී පවතින සහ සාධාරණ ලෙසින් උනන්දු වූවානම් ඒ නඩුවට රැගෙන ආ හැකි කරුණු ඒ නඩුව සමග අවසන් වේ.
නඩු තීන්දුවක දී අවශේෂ ලෙසින් අනාවරණය කර ගත් කරුණකින් ජයගත් පාර්ශ්වය බැඳෙන්නේ නැත. මෙම නඩුවට අදාළව වන විට පූර්ව නඩුවේ තීන්දුව බිරිඳට වාසි සහගත වූ අතර ඇයට ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ අවශ්‍යතාවක් නොතිබිනි. එනිසා විනිසුරුවරයා විසින් දරුවාගේ පීතෘත්වය ගැන කියා ඇති කරුණු සම්බන්ධයෙන් බිරිඳට කථා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. එනිසා ඒ කරුණු දැක්වීම රෙස් ජුඩිකාටා නොවේ.
ප්‍රතිබන්ධය මගින් බැඳෙන්නේ පාර්ශ්වයන් මිස අධිකරණය නොවේ. වෛවාහක නඩු කටයුතු වලදී අධිකරණයට තීන්දුවක් ලබා දීමට පෙර තමුන් ඉදිරිපිට ඇති කරුණු වල සත්‍යතාවය පිළිබඳව සලකා බැලීමේ වගකීමක් ඇත. ඒ අනුව අධිකරණයට අවශ්‍ය නම් පාර්ශ්වයන් ප්‍රතිබන්ධය වීම ගැන නොසලකා නව විමසීක් සිදු කිරීමට ද හැකියාව ඇත.
මෙකී තත්ත්වයන් මත දෙවන නඩුව නිෂ්ප්‍රභ කිරීමට දිසා අධිකරණය ගනු ලැබූ තීරණය නිවැරදි බව තීන්දු කරන ලදි. මුල් නඩුවේ දී ද ඉදිරිපත් කරනු ලැබිය හැකි ව තිබූ අනාචාරය වෛවාහක වරද ඒ නඩුවේ දී ඉදිරිපත් කිරීමෙන් ස්වාමි පුරුෂයා වැලකීම හේතුවෙන් තීරණය නොවූ අනාචාරයක් පිළිබඳව සලකා බැලීමෙන් අධිකරණය වැලකෙන බවත් බිරිඳට පීතෘත්වය පිළිබඳව හබ කිරීමේ හැකියාව ද ඇති බවත් තීරණය කරන ලදි.
තීන්දුවෙන් ගත් උපුටන කීපයක්...
- “The cause of action in an action for divorce is the misconduct of the offending spouse. Adultery and malicious desertion are species of that misconduct…”
- “In terms of sections 33 and 34 the plaintiff is bound to include all the grounds of his cause of action… It is not open to split the grounds and institute different actions…”
- “A party who has failed in one action cannot afterwards set up the same claim and support it on grounds which might have been put forward in the first action.”
- “An adverse finding against the successful party cannot operate as res judicata in a subsequent action between the parties.”
- “The doctrine of estoppel will not operate so as to abrogate the statutory duty of the Court to inquire into the truth of a petition… Estoppels bind the parties but do not bind the Court.”
වැදගත් කරුණු
මේ අනුව වෛවාහක වරදක් සම්බන්ධයෙන් වන නඩු පැවරීමේ දී නඩුව පවරන අවස්ථාවේ දී අවබෝධයේ ඇති සියළු වෛවාහක වැරදි ඒ තුළට රැගෙන ඒම වැදගත් වන අතර උත්තරවාද සංශෝධනය කළ හැකි අවස්ථාවකදී නව කරුණු ඉදිරිපත් වේ නම් ඒ ආකාරයට සංශෝධනය කිරීමට කටයුතු කිරීම වැදගත් ය.
එසේම තීන්දුවේ දී සිදු කර ඇති පාර්ශ්වයකගේ වාසියට ඇති අනුෂාංගික නිරීක්ෂණයන් කෙරේ විශ්වාසය තබා සිටීමේ ප්‍රයෝජනයක් නැත.
Argue for (or against) reopening only where prior inquiry was inadequate or justice demands it.
Comments
Post a Comment