නඩත්තු නඩුවකදී වගඋත්තරකරු විසින් ඇප තැබීම
නැසීගිය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු රංජිත් ධීරරත්න මැතිතුමා, ඔහු හමුවන හැමවිටම මා හට කියා ඇති කරුණක් වන්නේ යම් නීතියක් ගැන අවබෝධය ලබා ගැනීමට අවශ්ය වන්නේ නම් ඒ නීතිය නිතර පරිශීලනය කළ යුතු බව ය. එය සැබෑවකි. කුමන නීතියක් වුවද කියවන වාරයක් පාසා අළුත් දෙයක් ඉගැනීමට ලැබේ. මේ කෙටි හැඳින්වීම සමග ඔබගේ අවධානය නඩත්තු පනතට රැගෙන යමි.
ලංකාවේ නඩත්තු පනතින් විධිමත් කර ඇති නඩත්තු නීතිය අනුව මහේස්ත්රාත් අධිකරණයේ පවරනු ලැබූව ද නඩත්තු නඩුවක් යනු අපරාධ නඩුවක් නොවේ. නමුත් නඩත්තු ආඥාවක් ලබා දී ඇති විට ඒ නඩත්තු ආඥාවට අනුකූල නොවූ විට එය වරදක් වන අතර එවිට දඬුවමකට ලක්වීමට සිදු වේ. එය සිරදඬුවමකි. මේ පිළිබඳව ප්රතිපාදන නඩත්තු පනතේ 5 වන වගන්තියේ ඇතුළත්ව තිබේ.
කෙසේවෙතත් නඩත්තු පනත යටතේ වන විට කලත්රයා නොවන තෙවන පාර්ශ්වයක් වරදකරුවකු වන අවස්ථාවක් ද පනතේ 6(11) වන වගන්තියේ ඇතුළත් වේ. ඒ හැර පනත තුළ කලත්රයකුට දඩ ගැසීමට හැකියාවක් නොමැති අතර පැනවිය හැක්කේ සිර දඬුවම් පමණි. එය මේ පනතේ විශේෂත්වයකි.
එසේම මේ පනත යටතේ සිතාසි ලැබ මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින වගඋත්තරකරුවකුට නැවත අධිකරණයේ පෙනී සිටීම තහවුරු කිරීම සඳහා ‘ඇප’ නියම කිරීමේ හැකියාවක් ද පනත යටතේ නැත. එවැනි ප්රතිපාදනයක් නැත්තේ නඩත්තු නඩු, සිවිල් ස්වභාවයේ නඩුකටයුතු වන නිසාවෙනි. නඩත්තු පනත තුළ ‘ඇප’ සම්බන්ධයෙන් කිසිදු ප්රතිපාදනයක් ඇතුළත් නොවේ. මෙනිසා වගඋත්තරකරුවකු නඩත්තු ඉල්ලීමකට හේතු දැක්වීමට සිතාසි මත අධිකරණයේ පෙනී සිටින විටදී නැවත අධිකරණයේ පෙනී සිටීම සඳහා ඇප තැබීමේ අවශ්යතාවක් නැත. නමුත් නඩත්තු නඩුවල සමහරක් ඉල්ලුම්කරුවන් එවැනි අරමුණක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අවස්ථා ද නැතුවා ම නොවේ. සමහර නීතීඥවරු විසින් නඩත්තු ඉල්ලීමකට අදාළ ව සිතාසි ලැබී ඇති වගඋත්තරකරුවකු අධිකරණයට පැමිණෙන විට ඇපකරුවකු ද කැඳවා ගෙන එන ලෙසට උපදෙස් දෙන අවස්ථා ද ඇති බව කතිකාවත්වලදී හෙළිදරව් වේ. නඩත්තු පනත යටතේ නම් එය වැරදි උපදේශයක් බව ඔබට පෙනී යනු ඇත.
අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 5 සහ 6 පරිච්ඡේද සම්බන්ධයෙන් නඩත්තු පනතේ 12 වන වගන්තියේ සඳහන් වේ. වගඋත්තරකරුවකු හෝ සාක්ෂිකරුවකු කැඳවා ගැනීම සඳහා මේ පරිච්ඡේදයන්හි ඇතුළත් විධාන භාවිතා කිරීමට මහේස්ත්රාත්වරයාට හැක. ඒ අනුව වගඋත්තරකරුවකු සම්බන්ධයෙන් වන විට සිතාසි (නඩත්තු පනතේ 11 වගන්තිය යටතේ වගඋත්තරකරුට යවන්නේ සිතාසියයි) යවනු ලැබ ඔහු පෙනී නොසිටියහොත් ඉන් පසුව අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 192 වන වගන්තියේ විධාන පරිදි වගඋත්තරකරු නොමැතිව ඉල්ලීම විමසීමට ගත හැකි බව නඩත්තු පනතේ 12 වන වගන්තිය තවදුරටත් දක්වයි. 12(2) වගන්තියේ දී ඒ බව සඳහන් වන්නේ “ඉල්ලීම කරන ලද්දේ යම් තැනැත්තකුට එරෙහිව ද ඒ තැනැත්තා නොපැමිණි විටක” ලෙසින් දක්වමිනි.
මේ අනුව පෙනී යන තවත් කරුණක් වේ. නඩත්තු නොගෙවීම ලංකාවේ දී අපරාධ වරදක් නොවේ. එය වරදක් වන්නේ නඩත්තු ගෙවීමට ආඥාවක් වගඋත්තරකරුවකුට එරෙහිව සිදු කරනු ලැබ ඇති විටකදී, ඒ ආඥාව අනුව කටයුතු නොකරන විටදී ය. මේ බව පනතේ 5 වන වගන්තියේ පැහැදිලිව දැක් වේ. එවැනි විටකත් වගඋත්තරකරුවකුට ඇප ලබා දිය නොහැකි අතර කිරීමට සිදු වන්නේ පනතේ ප්රතිපාදන ප්රකාරව සිරදඬුවම් ලබා දීම ය. මේ සම්බන්ධයෙන් වන ප්රතිපාදන පනතේ 5 වන වගන්තියේ ඇතුළත් වේ.
එවැනි තත්ත්වයක දී සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 51ඇ වගන්තිය මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. මේ වගන්තිය අනුව යම් නීතියක් යටතේ යම් වරදක් සම්බන්ධ නඩු කටයුත්තකදී චූදිතයකු, සැකකරුවකු පැමිණ සිටීම හෝ සාක්ෂිකරුවකු විභාග කිරීම අවශ්ය අවශ්ය විටක ඒ පුද්ගලයාගේ ගමන් ලේඛනය අධිකරණය විසින් සළකනු ලබන කාලසීමාවක් සඳහා පරිරෝධනය කිරීමේ බලය අධිකරණයට ඇත. දැන් පෙර සඳහන් කළ කරුණු අනුව නඩත්තු ආඥාවක් කර එකී ආඥාව අනුව වගඋත්තරකරුවකු කටයුතු නොකරන අවස්ථාවකදී හෝ නඩත්තු පනතේ 6(11) වගන්තිය වැනි වරදක් හඳුන්වා දෙන අවස්ථාවකදී හැර නඩත්තු පනත යටතේ වරදක් සිදු වන්නේ නැත. එනිසා නඩත්තු ඉල්ලීමක් කරනු ලබන හෝ නඩත්තු නොගෙවීම මත පනතේ 5 වගන්තිය මත පදනම්ව ඒ යටතේ ඉල්ලීමක් කරන අවස්ථාවේ දී වගඋත්තරකරුගේ ගමන් බලපත්රය පරිරෝධ කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට හැකියාවක් නැත.
නඩත්තු පනත නැවත වරක් කියැවීම සුදුසු නොවේ ද?
Comments
Post a Comment