දවස් 14 කට හිරේ යවනවා, අතාරින්නේ නැහැ.

 


දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව වන කථාව අප සමාජයේ සාමාන්‍ය භාවිතාවකි. සැමියා බිරිඳ අතර ඇති වන පවුල් ආරවුල් වලදී පවා එක් කලත්‍රයකු විසින් අනෙක් කලත්‍රයාට තර්ජනය කරන්නේ මේ දින 14 කථාව කියමිනි. මේ පිළිබඳව කෙටි විමසුමක් කිරීම සුදුසු යැයි සිතුනේ මෑත දිනයක දී ද එවැනි කථාවක් ඇසුනු නිසාවෙනි.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ (ඉදිරියට අනස ලෙසින් ද හැඳින්වෙන) 109 වන වගන්තියේ දී පොලීසියට ලැබෙන පැමිණිල්ලක් වාර්තා කිරීම සහ ඒ වාර්තාව විභාග කිරීම ඇරඹීම පිළිබඳව විධාන දක්වා තිබේ. 110 වගන්තියේ දී පැමිණිල්ලක් අනුව විභාග කිරීම පිළිබඳව සඳහන් ව ඇත. කෙසේවෙතත් විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් හේතු නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙනී ගියහොත් ඒ කාරණය ගැන විමර්ශනය කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා බැඳී නොසිටී.

යම් හෙයකින් විමර්ශනයක් කරන්නේ නම් ඒ විමර්ශනය පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි වන්නේ නම් සහ වැඩිදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය බවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විශ්වාස කරන අවස්ථාවකදී සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතු ය. ඒ නිකන් ම නොවේ. සැකකරු ඉදිරිපත් කළ යුතු වන්නේ විමර්ශනයේ දී සාක්ෂිකරුවන්ගෙන් වාර්තා කරනු ලැබූ ප්‍රකාශ ඇත්නම් ඒවායේ සාරාංශයක් ද සමග සහ අදාළ සිද්ධිය පිළිබඳව වාර්තාවක් ද සමගිනි. මෙය අනිවාර්ය අංගයකි.

ඉහත ආකාරයේ වාර්තාවක් සහ සාරාංශයක් ද සමග (සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වාර්තා කර නැත්නම් සාරාංශයක් තිබිය නොහැකි බව මෙහිදී සැලකිල්ලට ගත යුතු ය) සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට රැගෙන ආ විට කළ යුතු කාර්යය අනස 115 වන වගන්තියේ සඳහන්ව තිබේ.

ඒ අනුව වැඩිදුරටත් විමර්ශනය පවත්වනු තුරු සැකකරු අත්අඩංගුවේ රඳවා ගැනීම අවස්ථානුකූල බවට මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත් වේ නම් ඔහු විසින් ස්වකීය හේතු සටහන් කිරීමෙන් පසු දවස් 15 ක් වූ සම්පූර්ණ කාලයක් සඳහා සැකකරු රඳවා තබා ගැනීමට බන්ධනාගාර අධිකාරීවරයාට යවනු ලබන බලපත්‍රයකින් බලය ලබා දෙනු හැකි ය. යම් හෙයකින් මේ දින 15 ක කාලය අවසානයේ දී සැකකරුට විරුද්ධව නඩු පවරනු නොලැබුවහොත් 115(3) වන වගන්තියේ විධිවිධානවලට යටත්ව සැකකරුව නිදහස් කරනු ලැබිය හැකි අතර අවශ්‍යනම් පෙනී සිටින ලෙස නියම කරනු ලැබුවහොත් සහ නියම කරනු ලැබූ විට එසේ පෙනී සිටින බවට බැඳුම්කරයක් ලියා අත්සන් කරන ලෙස නියම කරනු ලැබිය හැක. එනම් ඇප ලබා දිය හැක (මහේස්ත්‍රාත්වරයාට ඇප දිය නොහැකි වැරදිවලදී මෙය අදාල නොවේ).

දැන් මේ සඳහන් 115(3) වන වගන්තියේ දී විශේෂ වැරදි 3 ක් ගැන සඳහන් කර ඇති අතර ඒ වැරදි (ද.නී.සං. 114, 191 සහ 296 වග.) සඳහා මහේස්ත්‍රාත්වරයාට ඇප දිය නොහැකි බවත්, මහාධිකරණයෙන් ඇප දීමට හැකි ආකාරය පිළිබඳවත් දක්වා ඇත.

පෙර සඳහන් කළ දින 14 කථාවේ මූලය මේ පෙර කී 115(2) වන වගන්තියේ දැක්වෙන දින 15 පිළිබඳව විධානය බව මේ අනුව පෙනී යයි. ඒ අනුව අනස මගින් පෙන්වා දෙන්නේ, 115(3) වන වගන්තියේ දැක්වෙන වැරදි නොවන අවස්ථාවකදී සැකකරුවකු 115(1) වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ විට 115(2) වන වගන්තිය යටතේ උපරිම දින 15 ක් සඳහා පමණක් රිමාන්ඩ් කිරීමේ නියෝගයක් ලබා දීමට හැකියාව ඇති බවය. ඊට වැඩි කාලයක් රිමාන්ඩ් කිරීම මේ අනුව ව්‍යවස්ථා විරෝධී වේ. මෙනිසා දින 14 ක් රිමාන්ඩ් කිරීමේ කථාව නීතිය අනුව නිවැරදි නොවේ. එය දින 15 කි.

නමුත් අනස හඳුන්වා දීමෙන් පසුව 1997 දී ඇප පනත හඳුන්වා දෙන ලදි. ඇප පනතේ දී ඇප දීම රීතිය වන අතර ඇප නොදීම ව්‍යතිරේකය ය (ඇප පනතේ 2 වන වගන්තිය). ඒ අනුව ඇප පනත හඳුන්වා දීමෙන් පසුව මේ නීති තත්ත්වයේ දැනෙන වෙනසක් සිදුව තිබේ.

ඒ වෙනස අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් 115(1) වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට සැකකරුවකු ඉදිරිපත් කළ විට (ඇප පනතේ 13 වන වගන්තියට යටත්ව) ඒ සැකකරු සම්බන්ධයෙන් ඇප දීම හෝ නොදීම පිළිබඳව සලකා බැලීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට ඇත. එහිදී ඇප දීම හෝ නොදීම තීරණය වන්නේ ඇප පනතේ 14 වන වගන්තියට යටත් ව ය. 115(2) වන වගන්තියේ දැක්වෙන වැඩිදුර විමර්ශන පිළිබඳව වන තත්ත්වය ඇප පනතේ 14 වන වගන්තියේ ඇතුළත්ව නැත. එසේම දවස් 15 ක ප්‍රතිපාදනය ද එහි නැත. කොටින්ම අනස 115 වන වගන්තිය, ඇප පනතේ 2 වන වගන්තියට සහ 14 වන වගන්තියට යොමු ව ඇත.

මේ අනුව දවස් 14 ක් හිරේ යවනවා කියා අද කවුරුන් හෝ කියනවා නම් එය පැහැදිලිව ම නීතිය නිසි ලෙසින් නොදැන කියන කථාවකි. එවැනි කථා සඳහා උඩගෙඩි දීම යම් තරමකට හෝ නීතිය දන්නා අය සිදු කිරීම සුදුසු නැත. 

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.