විනිමය පත්‍ර සංශෝධන පනත යටතේ අගරු චෙක්පත් සම්බන්ධ වරද - කෙටි සාකච්ඡාවක්.

 


විනිමය පත්‍ර ආඥාපනත 2025 අංක 13 දරන සංශෝධන පනතෙන් මෑතදී සංශෝධනය කිරීමත් සමග චෙක්පත්වලට අදාළ අපරාධ වගකීම සම්බන්ධයෙන් වන නීති තත්ත්වයේ දැනෙන වෙනසක් සිදුව තිබේ. ඒ පිළිබඳව කෙටි සාකච්ඡාවක් මේ ලිපියේ දී සිදු කිරීමට මා අපේක්ෂා කරමි.

වරද

2025 අංක 13 දරන විනිමය පත්‍ර සංශෝධන පනත අනුව ගනුදෙනුකරුවකු විසින් තමා විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකින්, යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් නිදහස් කිරීම සඳහා වෙනත් තැනැත්තකුට ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා අණ කරන ලද යම් චෙක්පතක්,

(අ)       ගරුත්වය සඳහා චෙක්පතට ගෙවීම් කිරීමට එම ගිණුමේ බැරට පවතින මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම,

(ආ)      චෙක්පතේ මුදල, බැංකුව සමග ඇතිකර ගෙන ඇති ගිවිසුමක් අනුව එම ගිණුමෙන් ගෙවීම සඳහා සැලසුම් කරන ලද මුදල් ප්‍රමාණය ඉක්මවා තිබීම,

(ඇ)      අණකරු විසින් වසා දැමූ ගිණුමකින් චෙක්පතක් නිකුත් කර තිබීම හෝ

(ඈ)      (3) වන උපවගන්තිය ප්‍රකාරව යම් නීත්‍යනුකූල හේතුවක් නොමැතිව අණකරු විසින් නිකුත් කරන ලද චෙක්පතක් ඔහු විසින් ප්‍රතිනියෝග කර තිබීම,

හේතුවෙන් බැංකුව මගින් නොගෙවා ආපසු එවනු ලබන අවස්ථාවකදී ද ඒ තැනැත්තා වරදක් සිදු කර ඇති ලෙසට සලකනු ලැබිය යුතු ය (82අ(1) වන වගන්තිය).

මේ අනුව 82අ(1) වන වගන්තියෙන් චෙක්පතක් අගරු වීමේ දී වරදක් විය හැකි අවස්ථා 4 ක් හඳුන්වා දී තිබේ. මේ එකඳු අංගයක හෝ ‘වරදකාරී චේතනාව’ නැත්නම් mens rea අංගය ඇතුළත්ව නොමැති බව බැලු බැල්මට පෙනී යයි. මෙය සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 25(1)අ වන වගන්තියට පරිභාහිර තත්ත්වයකි. 25(1)අ වගන්තියේ දී ‘දැනුවත්ව ලියන’ ලෙසින් දක්වා තිබේ. මෙනිසා විනිමය පත්‍ර සංශෝධන පනතෙන් චෙක්පත්‍ර අගරු වීම සම්බන්ධයෙන් හඳුන්වා දෙන අපරාධ වරද, යථාර්ථ වගකීම පවරන වරදක් ලෙසින් හැඳින්වීමේ වරදක් නැති බව කිවත හැක.

වරද සිදුවීම සඳහා පූර්ව අවශ්‍යතා

කෙසේවෙතත් මෙවැනි අවස්ථාවකදී වරදක් කළ බවට සැලකෙන්නේ පහත කරුණු සම්පූර්ණ වන්නේ නම් පමණි. එනම්,

(අ)       චෙක්පත අණ කරන ලද දින සිට මාස හයක කාලසීමාව හෝ එහි වලංගු කාලසීමාව යන දෙකෙන් කලින් එළඹෙන කාලසීමාව ඇතුළත අණ ලැබූ බැංකුව වෙත ඉදිරිපත් කර ඇත්නම්,  

(ආ)      චෙක්පතහෙි ආදායකයා හෝ යථා කාල ධාරකයා විසින්, නොගෙවා ආපසු එවන ලද චෙක්පත සම්බන්ධයෙන් රැස්කරනු ලබන බැංකුවෙන් හෝ අණ ලැබූ බැංකුවෙන් ඔහු වෙත තොරතුරු ලැබීමෙන් දින 90 ක් ඇතුළත, ආපසු එවන ලද චෙක්පතෙහි වටිනාකම ගෙවීම සඳහා ඉල්ලීමක් සිදු කළහොත්,

(ඇ)      ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් චෙක්පතේ අණකරු විසින්, ඒ ඉල්ලීමේ දිනයේ සිට දින 90 ක් ඇතුළත චෙක්පතේ ආදායකයා හෝ යථා කාල ධාරකයා වෙත ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වන්නේ නම්,

පමණි (82අ(2) වන වගන්තිය).

නඩු පැවරීමේ දී සලකා බලන කරුණු

විනිමය පත්‍ර ආඥාපනතේ 82ආ. වගන්තියෙන් ඉහත කරුණු වලට අමතරව තවත් විධානයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව විනිමය පත්‍ර ආඥාපනතේ 82අ වගන්තිය යටතේ අපරාධ නඩුවක් පැවරීමට බලාපොරොත්තු වන පාර්ශ්වයට ඒ සඳහා හැකියාව ලැබෙන්නේ ඔහු විසින් තමුන් අගරු චෙක්පතේ හිමිකම දරන්නා ලෙසින් 82අ වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ නිශ්චිතව දක්වා ඇති කාලසීමාව ඉකුත් වී දින 30 ක් ඇතුළත ය. මේ වගන්තියේ දී ‘හැකිය’ යන පාඨය යොදා ඇති ආකාරය දැකිය හැකි වේ.

* පොලීසිය මගින් මේ යටතේ නඩු පැවරීමට යනවා නම් මෙකී තත්ත්වය ඉතා වැදගත් වේ.

තවදුරටත් විනිමය පත්‍ර ආඥාපනතේ විධාන යටතේ අගරු නිවේදන දැන්වීම (notice of dishonor) යැවීම ද මෙහිදී සාර්ථක නඩුවක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ය. එනිසා ඊට අදාළ නීති තත්ත්වය සැලකිල්ලට ගත යුතු වේ.

අධිකරණ බලය

විනිමය පත්‍ර යටතේ චෙක්පත්‍රයක් සම්බන්ධයෙන් ඉහතින් දැක් වූ වරද සම්බන්ධයෙන් වන විට ප්‍රාදේශීය අධිකරණ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයට ය. එහිදී ප්‍රාදේශීය අධිකරණය තෝරා ගැනීම සම්බන්ධයෙන් පහත අවස්ථා අදාළ කර ගත හැකි වේ (82ඇ වන වගන්තිය).

අ.         චෙක්පතේ ආදායකයාගේ හෝ යථා කාල ධාරකයාගේ ගිණුම හරහා රැස් කිරීම සඳහා චෙක්පත තැන්පත් කරනු ලැබ ඇති අවස්ථාවක දී, ඒ ආදායකයා හෝ යථා කාල ධාරකයා විසින් ගිණුම පවත්වාගෙන යනු ලබන බැංකු ශාඛාව පිහිටා ඇති අධිකරණ බල ප්‍රදේශය හෝ

ආ.        චෙක්පතේ ආදායකයා හෝ යථා කාල ධාරකයා විසින් ගෙවීම සඳහා චෙක්පත අණ ලැබූ බැංකු ශාඛාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති අවස්ථාවකදී, අණකරු විසින් ගිණුම පවත්වාගෙන යනු ලබන ඒ අණ ලැබූ බැංකු ශාඛාව පිහිටා ඇති අධිකරණ බල ප්‍රදේශය.

ආඥාපනත යටතේ තීරණාත්මක සාක්ෂි සහ පූර්ව නිගමන

පෙර සඳහන් කළ 82අ වන වගන්තිය අනුව ම මේ යටතේ වන වරදක් වනාහි මානසික අංගය ඔප්පු කිරීමේ අවශ්‍යතාවය නොමැති අපරාධ වරදක් බව පැහැදිලි ය. එහි ප්‍රතිඵලය වන්නේ ඉක්මණින් අදාළ නඩු කටයුත්ත අවසන් කර ගැනීමට හැකියාව ලැබීමයි. ඒ කාර්යය තවත් පහසුකර ගැනීම සඳහා මේ සංශෝධනයෙන් තීරණාත්මක සාක්ෂි සහ පූර්ව නිගමන ද හඳුන්වා දී තිබේ.

ඒ අනුව, අණකරුගේ ගිණුමේ මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අගරු වූ චෙක්පතක් පිළිබඳව වන විට (අ) රැස්කරනු ලබන බැංකුව විසින් නිකුත් කරන ලද චෙක්පත ආපසු එවීමේ නිවේදනය, (ආ) රැස්කරනු ලබන බැංකුව විසින් පිළිගන්නා ලද තැන්පතු පත්‍රිකාව හෝ (ඇ) අණ ලැබූ බැංකුව විසින් ආපසු එවන ලද චෙක්පත 82ඈ වගන්තිය අනුව තීරණාත්මක සාක්ෂි වේ. මෙනිසා චෙක්පත අගරු වීම සම්බන්ධයෙන් බැංකුවේ සාක්ෂි කැඳවීම පැමිණිලිකරුට අවශ්‍ය වන්නේ නැත. මෙකී තීරණාත්මක සාක්ෂි බිඳ හෙලීමට කිසිදු අවස්ථාවක් සංශෝධන පනතෙන් ලබා දී නැත.

පූර්ව නිගමන සම්බන්ධයෙන් වන විට පහත පූර්ව නිගමන හඳුන්වා දී තිබේ.

චෙක්පත අගරු කළ බවට වන පූර්ව නිගමනයක් විනිමය පත්‍ර ආඥාපනතේ 82අ(3) වන වගන්තියෙන් හඳුන්වා දී තිබේ. ඒ අනුව, අණ ලැබූ බැංකුවක් විසින් ‘අණකරු විමසනු’, ‘ගිණුම වසා ඇත’ හෝ ‘අණකරු විසින් ගෙවීම් ප්‍රතිනියෝග කර ඇත’ යන වචන චෙක්පත මත ලිවීමෙන් හෝ රැස්කරනු ලබන බැංකුවක් විසින් නිකුත් කරනු ලබන චෙක්පතක් ආපසු එවීමේ නිවේදනයක ඒ වචන සඳහන් කිරීමෙන් චෙක්පතක් අගරු කර ඇති අවස්ථාවකදී, අණකරුගේ ගිණුමේ මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් චෙක්පත අගරු කරනු ලැබූ බවට පූර්ව නිගමනය කරනු ලැබිය යුතු වේ. මීට පටහැනි කරුණු ඔප්පු කිරීමට අවස්ථාවක් චූදිතයකුට සංශෝධන පනතෙන් හඳුන්වා දී නැත.

තවද, අණකරුගේ යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන් ම ‌හෝ ඉන් කොටසක් නිදහස් කිරීම සඳහා, චෙක්පතේ ආදායකයා හෝ යථා කාල ධාරකයා වෙත චෙක්පත ලැබුණු බවට පූර්ව නිගමනය කළ යුතු වේ (82ඉ වන වගන්තිය අනුව). නමුත් මේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් පටහැනිව ඔප්පු කිරීමට හැකියාව චූදිතයකුට ලැබේ. ඒ අනුව ඔහුට, අදාළ අගරු චෙක්පත නිකුත් කරනු ලැබූවේ ණයක් හෝ වෙනත් බැඳීමක් නිදහස් කිරීම සඳහා නොවන බව ඔප්පු කළ හැක. එය ඔප්පු කිරීිමේ භාරය සාක්ෂි ආඥාපනතේ විධාන අනුව චූදිත සතු වන අතර ඔප්පු කිරීමේ භාරය වන්නේ ශක්‍යතා වැඩි බර මත ය. එසේ ඔප්පු කරගනු ලැබුවහොත් 82අ වගන්තිය යටතේ අපරාධ වගකීම පැවරෙන්නේ නැත. නිදසුනකට අදාළ චෙක්පත නිකුත් කරනු ලැබුවේ ඇපයක්/සුරක්ෂිතයක් ලෙසින් යැයි ශක්‍යතා වැඩි බර මත ඔප්පු කිරීම දැක්විය හැක.

පුද්ගල මණ්ඩලයකට වරද පැවරීම

මේ යටතේ වූ වරදකට පුද්ගල මණ්ඩලයක් වරදකරු කරනු ලැබ ඇති අවස්ථාවක දී අදාළ වන තත්ත්වය පිළිබඳව විනිමය පත්‍ර ආඥාපනතේ 82ඊ වගන්තියේ දැක් වේ.

දඬුවම්

විනිමය පත්‍ර ආඥාපනතේ විධාන යටතේ අගරු චෙක්පතක් සම්බන්ධයෙන් වන වරදට වැරදිකරුවකු වන අයකුට චෙක්පතේ සඳහන් මුදල් ප්‍රමාණයට සමාන දඩයකට හෝ වසර දෙකක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු වේ (82අ(1) වන වගන්තිය).

විනිමය පත්‍ර සංශෝධන පනත සහ සංශෝධිත ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත

පෙර දී මේ විනිමය පත්‍ර සංශෝධන පනත මගින් හඳුන්වා දී ඇති වරද පිළිබඳව සඳහන් කළෙමි. ඒ වරදත් මෙය සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 25(1) වගන්තියෙන් හඳුන්වා දෙන වැරදිත් අතර පැහැදිලි වෙනසක් ඇත. ඒ පිළිබඳව ද ඉහතින් දක්වා ඇත. එසේම විනිමය පත්‍ර සංශෝධන පනත මගින් හඳුන්වා දී ඇති දඬුවම් සහ ණය ආපසු අයකර ගැනීමේ පනත යටතේ වන දඬුවම් ද පැහැදිලි ව වෙනස් වේ (බලන්න සංශෝධිත ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 25(1) වන වගන්තිය). එසේම විනිමය පත්‍ර සංශෝධ පනත අනුව ඒ යටතේ අපරාධ නඩුවක් පැවරිය හැකි විශේෂ ප්‍රාදේශීය අධිකරණ බලය දක්වා ඇති අතර ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ එවැනි ප්‍රතිපාදනයක් නැත. තවද, නඩු පැවරීමේ කාලසීමා සැලකිල්ලට ගැනීමේ දී අනුගමනය කළ යුතු උපචාර සම්බන්ධයෙන් වන විට ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ ප්‍රතිපාදන හා මේ සංශෝධන පනත යටතේ වන ප්‍රතිපාදන ද වෙනස් ය.

සරලවම ගත් විට විශේෂ නීතියක් වන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සහ සංශෝධිත විනිමය පත්‍ර ආඥාපනත, චෙක්පතක් අගරු වීම සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වැරදි සහ අනුශාංගික කරුණු දක්වා තිබේ. මේ එක් පනතකින් අනෙක් පනතේ ක්‍රියාකාරීත්වය යටපත් කරන්නේ නැත. නීති දෙක එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව තමුන්ට මුහුණ පෑමට සිදුව ඇති අවස්ථානුගත කරුණු අනුව සුදුසු නීති තත්ත්වය මත පිළියම් ලබා ගැනීමට චෙක්පතක් අගරු වීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයකට හැකියාව මෙයින් ලබා දී තිබේ.

* කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන විට ෆෝරම් ෂොපිං තත්ත්වය ද පාඨකයාගේ අවධානයට ලක් කර සිටිමි. ඒ පිළිබඳව මෙහිදී මා සටහන් කරන්නේ නැත.

අවසානය

මේ අනුව ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට නවමු සහ ක්‍රියාශීලී කඩිනම් නෛතික විසඳුමක්, චෙක්පත් අගරු වන අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා හඳුන්වා දීමට ව්‍යවස්ථාදායකය විසින් කටයුතු කර ඇති බව පෙනී යයි. ඒ නීතියේ ප්‍රතිඵල ලබා ගැනීම මහජනතාවගේ කාර්යයකි.


* මේ ලිපිය තුළ ඇතුළත්ව ඇත්තේ මාගේ අදහස් ය. ඒ අදහස් දක්වන්නේ අධ්‍යයනය සඳහා පමණි. මේ සම්බන්ධයෙන් තව අයකුට මීට වඩා වෙනස් අදහස් තිබිය හැක. ඒ සියළු මතයන් සලකා බැලීමේ අයිතිය පාඨකයන් සතු ය. මෙයින් අන්මත බිඳ හෙලීමක් කිසිසේත් ම අදහස් කරන්නේ නැත.


Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.