මාර්ග අයිතිය - අවශ්‍ය පාර්ශ්වකරුවෝ - ආරවුල් කරන පාර්ශ්වය
දිසා අධිකරණවල
පවතින ඉඩම් නඩු අතර මාර්ග අයිතිය ඉල්ලීම සඳහා පවරා ඇති නඩුකරද වේ. මේ නඩුකර සඳහා
සමහර අවස්ථාවලදී විත්තිකරුවන් සම්බන්ධ කිරීමේ දී පැමිණිලිකරු ප්‍රායෝගිකව
ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙයි. එකක් වන්නේ මාර්ග අයිතිය ඉල්ලන නඩුවකදී ඒ මාර්ග අයිතිය
ගලායන බිම් කැබැලි සියල්ලේම හිමිකරුවන් විත්තිකරුවන් කළ යුතු වීමයි. සමහර
අවස්ථාවලදී යම් බිම් කොටස්වල අයිතිකරුවන් මාර්ගය ලබා දීමට එකඟවන අතර සමහරු ඊට විරුද්ධ
වේ. එවැනි විටකත් ඒ සියළු දෙනා විත්තිකරුවන් කළ යුතු ද යන්න පැමිණිලිකරුවකුට මතු
වන ප්‍රශ්නයකි. සමහරක් අවස්ථාවලදී එතෙක් සාමයෙන් සිටි අසල්වැසියා එදා පටන් තරහකරුවෙක්
බවට පරිවර්තනය වේ. මනුෂ්‍ය ස්වභාවය එයයි. මෙවැනි ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ දී
මාර්ග අයිතිය ඉල්ලා පවරන නඩුවලදී විත්තිකරුවන් සම්බන්ධ කිරීමේ දී නොයෙක් ගැටළුවලට
මුහුණ පායි. මෙය අද දිනට පමණක් සිදුවන තත්ත්වයක් නොවේ. ඈත කාලයේ දී පවා සිදුව ඇත්තකි.
මේ පිළිබඳව ද සිල්වා එ. නොනෝහාමි (34 න.නී.වා.113) නඩුවේ දී සාකච්ඡා කර තිබේ.
ද සිල්වා එ. නොනෝහාමි
නඩු තීන්දුවේ දී ඉහළ අධිකරණයේ බහුතර තීන්දුව අනුව තීන්දු වී ඇත්තේ මාර්ගය අයිතිය
ඉල්ලන නඩුවකදී මාර්ග අයිතියට ආරවුල් කරන පාර්ශ්වයට විරුද්ධව නඩු පැවරීම වුවද ප්‍රමාණවත්
බවයි. වැඩිදුරටත් එහිදී තීරණය වී ඇත්තේ අධිකරණයට හෝ පාර්ශ්වයකට අවශ්‍ය නම් සිවිල්
නඩු විධාන සංග්‍රහයේ 18 වගන්තිය අනුව යම් පාර්ශ්වකරුවකු අවශ්‍ය පාර්ශ්වයක් ලෙස
එකතු කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ හැකි බවයි.
මෙහි තර්කයක්
ද තිබේ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 5 වගන්තියට අනුව ‘නඩු නිමිත්ත‘ යනු වරදක්
වැළැක්වීම සඳහා හෝ ඒ සම්බන්ධයෙන් සහනය ලබා ගැනීම සඳහා හෝ නඩුවක් පවරනු ලැබිය හැකි
වේ ද ඒ වරද ය. ඊට අයිතිවාසිකමක් නොදීම, බැඳීමක් ඉෂ්ට කිරීම ප්‍රතික්ෂේප කිරීම,
යුතුකමක් ඉටු කිරීම් පැහැර හැරීම සහ නියත හානියක් කිරීමක් ද ඇතුළත් වේ. එසේම 5
වගන්තියට අනුව ‘නඩුව‘ යනු වරදක් වැළැක්වීම සඳහා හෝ වරදක් සම්බන්ධයෙන් සහනය ලබා
ගැනීම සඳහා වූ නඩු කටයුත්තකි. තවද 6 වගන්තියට අනුව අධිකරණයක බලය හෝ අධිකාරය ක්‍රියාත්මක
කිරීමෙන් ලබා ගත හැකි සහනයක් නැතිනම් ප්‍රතිකර්මයක් හෝ අන්‍යාකාරයෙන් මැදිහත්වන
ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීම සඳහා හෝ අධිකරණයට කරනු ලබන සෑම ඉල්ලීමක් ම නඩුවක්
වන්නේ ය.
මේ අනුව මාර්ග
අයිතියක් සම්බන්ධයෙන් වන නඩුවකදී එම අයිතිය ලබා දීමට එකඟ පාර්ශ්වකරුවන්ට එරෙහිව
නඩු නිමිති හටගන්නේ නැත. එවිට ඔවුන් නඩුවේ පාර්ශ්වකරුවන් වීම අනවශ්‍යය. පෙර කී නඩු
නිමිත්තේ අර්ථය තුළට ඔවුන් සම්බන්ධ නොවේ. මෙනිසා එවැනි පාර්ශ්වයක් මාර්ග අයිතියට
අදාළ නඩුවක විත්තිකරුවෙක් වුවද 18 වගන්තිය යටතේ මුල් අවස්ථාවේ ම නඩු නිමිත්තක්
නොමැතිවීම මත මුදා හැරීමට අධිකරණයට හැකියාව තිබේ.
මෙවැනි විටකදී
මතුවන තවත් ගැටළුවක් වන්නේ මුලදී මාර්ගය ලබා දීමට එකඟවුවත් ඒ එකඟ වූ පාර්ශ්වය පසු
අවස්ථාවකදී ඊට විරුද්ධ වුවහොත් තීන්දුව ක්‍රියාත්මක කර ගැනීමට පැමිණිලිකරුට ඇතිවන අපහසුතාවය
යි. මෙයද මුල් අවස්ථාවේ ම සැලකිය යුතු කරුණකි. එවැනි විටක සුදුසු ක්‍රියාව වන්නේ
මාර්ගය ලබා දීමට එකඟ වූ පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත ලිඛිතව ලබා ගැනීමයි. එය අවස්ථා
කීපයකදී සිදු කළ හැකි අතර සුදුසු කාර්ය පටිපාටිය අනුගමනය කිරීම පැමිණිලිකරුගේ
කාර්යයකි.
සමස්ථයක් ලෙසින් ගත්විට මෙනිසා පැහැදිලි වන්නේ මාර්ග අයිතියට අදාළ නඩුවකදී පැමිණිල්ල විසින් මාර්ග අයිතියට ආරවුල් කරන පාර්ශ්වය පමණක් විත්තිකරු කිරීම නිසා පමණක් ම එම නඩුව නිෂ්ඵල නොවන බවයි.
Very important.Thank you sir
ReplyDelete