උසාවියට ලියුම් ලියද්දි මේ ගැනත් මතක තියා ගන්න.

 


උසාවියට ලියුම් ලියද්දි මේ ගැනත් මතක තියා ගන්න.

වර්තමානයේ දී පමණක් නොව අතීතයේ දී ද ගොඩ පෙරකදෝරුවන් නීතීඥ වෘත්තියේ යෙදී සිටිනු ලැබිණි. පොත් පත් කියවා ලබා ගත් දැනුම මෙනම් විවෘත අධිකරණයට ගොස් නඩු විභාග වන ආකාරය දෙස බලා ලබා ගත් දැනුම නැත්නම් නීතීඥවරුන්ගෙන් ලිපිකරුවන් සමඟ තේ පැන් සංග්‍රහ වලට සම්බන්ධ වී ලබා ගන්නා දැනුම ආදී ආකාරයෙන් ලබා ගත් දැනුම අනුව අවිධිමත් ලෙසින් මිනිසුන්ට නීති උපදෙස් ලබා දීම ඔවුන්ගේ කාර්ය යි. සමහර අවස්ථාවලදී මේ උපදෙස් කුමක් හෝ හේතුවකට නිවැරදි වන විට ඔවුන් කියන්නේ ඔන්න ඕකනේ මන් කිව්වේ නීතීඥවරුන් ඇල්ලුව කියලා වැඩක් තියෙනවාද වැනි කථාවකි. අද මෙය කෙතරම් ව්‍යාප්ත වී ඇත්ද යත් සමාජ මාධ්‍ය හරහා අඥාතව නීති උපදෙස් දෙන තැනටම වැඩ සැලසී තිබේ. මෙසේ උපදෙස් දෙන ඇත්තෝ යම් යම් අවස්ථාවල තමුන්ට ඇති දුක නැත්නම් ඉල්ලීම සෘජුවම අධිකරණයේ විනිසුරුවරයාට හෝ විනිසුරුවරියට දන්වන ලෙසින් ද උපදෙස් දෙති. සමහරු ඉන් ඔබ්බට ගොස් අනුන්ගේ දුක තමුන් විසින් අධිකරණයට ලියා දන්වනු ලබයි. සමහරු එවැන්නන්ගේ සේවය ලබා ගනිති. මෙසේ යවනු ලබන ලිපි හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුවිය හැකි බව දන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ බව දන්නවා නම් එකිනෙකාගේ ඉගෙනුම් බස් අසා හෝ තමුන්ගේ හිතට එන අදහස් අනුව අධිකරණයට ලිපි යැවීමට පෙර දෙවරක් හිතනු ඇත.

In the Matter of A Rule Under Section 51 of the Courts Ordinance In Re Ratnayake - (1938) 40 NLR 99 නඩු තීන්දුවේ දී සිද්ධිමය කරුණු අනුව වගඋත්තරකාර රත්නායක විසින් නඩුවක පාර්ශ්වකරුවකු වෙනුවෙන් අධිකරණයට ලිපියක් යවන ලදි. ඒ ලිපියේ දැක්වෙන පාර්ශ්වකරුට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් ද නිකුත් ව තිබිණි. ලිපියේ දී වගඋත්තරකරු විසින් වරෙන්තුකාරිය ඒ වන විට සිටිනා තත්ත්වය පිළිබඳව දන්වා අධිකරණයේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ඇය වෙනුවෙන් ඉල්ලා සිට තිබිණි. ලිපිය ලද පසු විනිසුරුවරයා විසින් අදාළ වගඋත්තරකරුගෙන් තමුන් ඒ ලිපිය ලියනු ලැබූවේ නීතීඥවරයකු ලෙසින් ද යන්න සම්බන්ධයෙන් හේතු දැක්වීමක් කරන ලදි. එහිදී ඔහු දන්වා සිට ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු ලෙසින් අධිකරණයට එම කරුණු දන්වා සිටි බවයි. විනිසුරුවරයා විසින් අදාළ ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් අධිකරණයට අපහාස කිරීමට දඬුවම් නොකිරීම සඳහා හේතු අසමින් වගඋත්තරකරුට එරෙහිව රීතියක් නිකුත් කිරීමට කටයතු කරන ලදි. නඩු තීන්දුවේ දී පොයිසර් විනිසුරුතුමා වැඩිදුරටත් දක්වන්නට යෙදී ඇත්තේ විනිසුරුවරයකු ඉදිරියේ පවතින පොදු ස්වභාවයේ කටයුත්තකට අදාළ තීරණයක් සඳහා පෙළඹවීමක් ඇති කරන ආකාරයේ කුමන වුවද පුද්ගලික සන්නිවේදනයක් හෙලාදැකිය යුතු බවයි. එසේම එවැන්නක් අධිකරණයට සිදු කළ දැඩි අපහාසයක් ලෙසින් සැලකිය යුතු බවත් කියා සිටින ලදි. වැඩිදුරටත් විනිසුරුතුමා දක්වන්නට යෙදුනේ වගඋත්තරකරු වැනි අයවලුන් විසින් තමුන්ට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමට නොහැකි බවට තේරුම් ගත යුතු බවත්, යම් හෙයකින් එසේ මැදිහත් වුවහොත් හෝ මැදිහත් වීමට තැත් කළහොත් ඔවුන්ට දඬුවම් කළ යුතු බවයි.

මෙම තත්ත්වය අදටත් වලංගු තත්ත්වයකි. එනිසා අධිකරණයට ලිපි යැවීමට පෙර දෙවරක් සිතා කටයුතු කිරීමට වගබලා ගත යුතු ය. එක් එක් අය දෙන උපදෙස් මත අධිකරණයට ලිපි යැවීමට කටයුතු කරන විටද මේ බව සිහි තබා ගැනීම වැදගත් ය.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.