හරස් ඉල්ලීම සහ ප්‍රති උත්තරය

 


සමහරක් අවස්ථාවලදී උත්තරය ගොනු කරන විට හරස් ඉල්ලීමක් ඇතුළත් කිරීමට ද විත්තිකරු විසින් කටයුතු කරනු ලබයි. හරස් ඉල්ලීමක් සම්බන්ධයෙන් වන විට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 75 වන වගන්තිය වැදගත් වේ. එහි දැක්වෙන ආකාරයට හරස් ඉල්ලීමක් ඉදිරිපත් කරන විට ඒ හරස් ඉල්ලීමට පදනම් වූ සිද්ධි පිළිබඳව සංක්ෂිප්ත ප්‍රකාශයක් ඇතුළත් කරනු ලැබිය යුතු ය. මෙහිදී වැදගත් වන කාරණයක් වන්නේ 75(ඉ) වගන්තියට අනුව හරස් ඉල්ලීමක දී මුල් ඉල්ලීම සහ හරස් ඉල්ලීම යන ඉල්ලීම් දෙකම එකම නඩුවේ දී අධිකරණයට අවසන් නඩු තීන්දුවක් දිය හැකි තත්ත්වයකින් පැවතීම ය. නිදසුනකට ඉඩමක අයිතිය ප්‍රකාශ කරවා ගැනීමට පැමිණිලිකරු විසින් කරනු ලැබූ පැමිණිල්ලට එරෙහිව ගොනු කරන උත්තරයේ දී පැමිණිලිකරුගේ නඩුව ද්වේශ සහගතව පවරා ඇති නිසා අලාභ ඉල්ලීමක් වෙනුවෙන් කරුණු සඳහන් කොට, හරස් ඉල්ලීම වශයෙන් ද්වේශ සහගතව නඩු පැවරීමට (malicious prosecution) අදාළව නඩු නිමිත්තක් මතු කිරීමට නොහැක. එය වෙනස් නඩු නිමිත්තකි. ඒ නඩු නිමිත්ත ඇති වන්නේ පැමිණිලිකරුගේ නඩුව අවසානයේ දී ය. මේ සම්බන්ධයෙන් SC.HC.CA.LA.No.428/2010 decided on 06.07.2011 නඩු තීන්දුව කියවා බලන්න. මෙනිසා හරස් ඉල්ලීමේ දී හඳුන්වා දෙන නඩු නිමිත්ත ද ඒ නඩුවේ දී ම විභාගය කිරීමට හැකි ආකාරයේ නඩු නිමිත්තක් විය යුතු ය. එසේම උත්තරයට මුද්දර ගැසීමේ දී වටිනාකම තක්සේරු කළ යුතු වන්නේ හරස් ඉල්ලීමේ වටිනාකම අනුව ය.

යම් උත්තරයකදී පැමිණිලිකරුගෙන් වන්දි ඉල්ලීමක් කර ඇත්නම් එනයින් ම එය ප්‍රති උත්තරයක් ගොනු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැත. නමුත් සමහර අවස්ථාවලදී නීතීඥවරුන් එවැනි අවස්ථාවලදී ද ප්‍රති උත්තරයක් ගොනු කිරීමට අවසර ඉල්ලයි. එවැනි ඉල්ලීම් කරන විට සේවාදායකයාට අදාළ නීතීඥවරයා සිවිල් නඩු විධාන නීතිය ගැන නොදන්නා අයකු බවට වුවත් උපකල්පනය කිරීමේ හැකියාව පවතී. කෙසේවෙතත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 79 වන වගන්තියේ දැක්වෙන සීමිත අවස්ථාව මෙහිදී සැලකිල්ලට ගත යුතු ය.

අපගේ අධිකරණ වලදී හරස් ඉල්ලීමක් ඇති විට විත්තියේ නීතීඥවරයා අධිකරණයට පහසුවක් වීම සඳහා උත්තරයේ හරස් ඉල්ලීමක් ඇති බව සෑම විටම පාහේ උත්තරය ගොනු කරන අවස්ථාවේ දී කියයි. එය පැසසිය යුතු කරුණකි.

කෙසේවෙතත් හරස් ඉල්ලීමක් ඇති අවස්ථාවකදී ප්‍රති උත්තරය ගොනු කිරීමට නොහැකිවීම මත පැමිණිලිකරු ඒ හරස් ඉල්ලීම පිළිගත්තා යැයි සැලකෙන්නේ ද නැති බව සැලකිල්ලට ගත යුතු වේ. මේ සම්බන්ධයෙන් Nadarajah v. Daniel – (1999) 1 Sri LR 240 නඩුව වැදගත් වේ. ඒ අනුව ප්‍රති උත්තරයක් නොමැති වුවද අදාළ කාරණය සම්බන්ධයෙන් විසඳනා වාර්තා කිරීමට පැමිණිල්ලට හැකියාව ලැබේ.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.