මහානාම තිලකරත්න නඩු තීන්දුව සහ වරෙන්තුව

හැඳින්වීම

සිවිල් පුරවැසියන්ගේ පුද්ගලික නිදහස පිළිබඳව සැලකීමේ දී මහේස්ත්‍රාත්වරුන් විසින් වරෙන්තු නිකුත් කිරීම එක් සංවේදී ඉසව්වකි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහානාම තිලකරත්න එ. බන්දුල වික්‍රමසිංහ (Mahanama Tilakaratne v. Bandula Wickramasinghe, Senior Superintendent of Police and Others ([1999] 1 Sri LR 372) නඩු තීන්දුවේ දී මේ සම්බන්ධයෙන් මග පෙන්වීමක් සිදු කර ඇත. සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයකුව ප්‍රශ්නගත අවස්ථා යටතේ ලබා ගත් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ නඩු‌ තීන්දුවේ දී සාකච්ඡා වී තිබේ. වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම පෙන්වා දී ඇත. මේ කෙටි ලිපියේ දී නඩු තීන්දුවේ දී දැක් වූ මූලික මූලධර්ම, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන අනුව ඒවායේ භාවිතාව ආදී කරුණු ගැන සාකච්ඡා කරනු ලැබේ.

පසුබිම

1998.09.10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක රොද්‍රිගෝ පෙත්සම්කරු සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ප්‍රකාශ මත රැඳෙමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් අයදුම් කරන ලදි. ඒ අත්අඩංගුවට ගැනීමට හා සෝදිසි කිරීමට ය. ඒ සම්බන්ධයෙන් නොසතුට පළකල මහේස්ත්‍රාත්වරයා එසේ වුවත් වරෙන්තු නිකුත් කරනු ලැබූ අතර නඩු වාර්තාවට සැකකරු මහාධිකරණ විනිසුරුවරයකු නිසා මහේස්ත්‍රාත්වරයා පොලීසියට සහය විය යුතු බව සඳහන් කර තිබිණි.

පෙත්සම්කරු එදිනම ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් විය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවා ඔහුට ඇප නියම කරන ලදි. කරුණු මෙසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණ නියෝග පසෙක ලා නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රඳවා ගනු ලැබී ය. මේ සිදුවීම හේතුවෙන් අනිකුත් කරුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1), (2) ව්‍යවස්ථා කඩ වීම සම්බන්ධයෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා සිටින ලදි.

නෛතික කරුණු

මේ නඩු තීන්දුවේ දී සාකච්ඡා වුන නෛතික කරුණු කීපයකි. ඒ අතර පහත කරුණු ඇතුළත් වේ.

. සිරභාරයට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමේ විධිමත් අධිකරණ කාර්ය පටිපාටිය කුමක් ද?

. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය, විමර්ශන සඳහා සහාය වීමට සිරභාරයට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරුන්ට බලය ලබා දෙන්නේ ද?

. වරෙන්තු නිකුත් කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

. අත්අඩංගුවට ගැනීමක් ‘ඉහල නිලධාරීන්ගේ නියෝග මත සිදු කළ බව’ කියා සාධාරණීකරණය කළ හැකි ද?

. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1), 13(2) ව්‍යවස්ථා මගින් නියම කර ඇති මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වන්නේ ද?

අධිකරණයේ දී ඉදිරිපත් වූ කරුණු

A. වරෙන්තු නිකුත් කිරීම යනු අධිකරණමය ක්‍රියාවකි.

බහුතර තීන්දුව ප්‍රකාශ කළ ධීරරත්න විනිසුරුතුමා දක්වන්නට යෙදුනේ වරෙන්තුවක් නිකුත් කිරීම යනු පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අධිකරණමය ක්‍රියාවක් වන බවයි. එය යාන්ත්‍රික නැත්නම් ස්වයංක්‍රීය ක්‍රියාවකට ලඝු කළ නොහැකි බව එතුමා දැක්වීය. වැඩිදුරටත් එතුමා ප්‍රකාශ කළේ “No warrant of arrest should be lightly issued by a Magistrate simply because a prosecutor or an investigator thinks it necessary.” ලෙසිනි.

මෙමගින් මහේස්ත්‍රාත්වරයකු වරෙන්තුවක් නිකුත් කිරීමේ දී විධායක හෝ චෝදක පාර්ශ්වයෙන් ඉදිරිපත් වන පීඩනයට මුහුණ දෙමින් ස්වාධීනව තම වගකීම ඉටු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදි.

B. දිව්රුම් සාක්ෂි ලබා ගැනීමේ අවශ්‍යතාවය

නඩු තීන්දුවේ දී තවදුරටත් අධිකරණය පෙන්වා දුන්නේ වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර දිව්රුම් පිට සාක්ෂියක් ලබා ගැනීම අවශ්‍ය කාර්යයක් බවයි. එයින් මිදිය හැකි වන්නේ සිතාසියකට අවනත නොවන අවස්ථාවකදී පමණි. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)(ආ) වගන්තිය යටතේ වුවද විමර්ශන අවසන්ව නොතිබුනේ වුවද, වරෙන්තුවක් ලබා ගැනීම සඳහා චෝදනා තහවුරු කරන්නා වූ දිව්රුම් සාක්ෂියක් අවශ්‍ය වේ.

මෙකී තත්ත්වය, නිලධාරීන් විසින් සාක්ෂිමය පසුබිමක් නොමැතිව ඒක පාර්ශ්විකව වරෙන්තු ලබා ගැනීමේ අවස්ථාව වැළක්වීමට හේතුපාදක වේ.

C. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තියේ විෂය පථය

124 වගන්තිය මගින් අවශ්‍ය අවස්ථාවලදී සුදුසු නියෝග ලබා දෙමින් විමර්ශන පවත්වාගෙන යාම සඳහා සහාය දැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය ලබා දෙයි. කෙසේවෙතත් මේ නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූයේ මෙකී කාර්ය පටිපාටියේ අරමුණ වන්නේ පුද්ගලයකු අධිකරණය ඉදිරියට කැඳවීම මිස පොලිස් ස්ථානයකට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමට සැලැස්වීම නොවන බවයි. හඳුනා ගැනීමේ පෙරට්ටුවකට පැමිණීම අවශ්‍ය කිරීම සඳහා හෝ සාම්පල ලබා ගැනීමට ඉදිරිපත් නොවීමෙන් වැළැක්වීම සඳහා වැනි අවස්ථාවකදී මේ වගන්තිය යටතේ වන වරෙන්තුවක් නිකුත් කිරීම සාධාරණය කළ හැකි බව ද දක්වන්නට යෙදුනි. නමුත් පරීක්ෂණ අවසන් වන තුරු රඳවා ගැනීම සඳහා පුද්ගලයකු ඉදිරිපත් කිරීමට මේ යටතේ වරෙන්තුවක් නිකුත් කිරීමට ඇති නොහැකියාව තීන්දුවේ දී සාකච්ඡා කර තිබේ.

D. වරෙන්තු ක්‍රියාත්මක කිරීම

ධීරරත්න විනිසුරුතුමා පෙන්වා දුන් ආකාරයට යම් පුද්ගලයකුගේ නමට වරෙන්තුවක් නිකුත් කළ පසුව එය ක්‍රියාත්මක කළ හැක්කේ ඒ පුද්ගලයාට පමණි. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 52(3) වන වගන්තිය යටතේ පිටසන් කිරීමක් කරනු ලැබුවහොත් හැර වෙනත් නිලධාරියකු විසින් එය ක්‍රියාත්මක කළ නොහැක. මේ නඩුවේ කරුණු අනුව පෙත්සම්කරුව අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වරෙන්තුවේ නම් කර තිබූ නිලධාරියා විසින් නොවන නිසා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව තීරණය විය.

E. ඉහළ නිලධාරීන්ගේ නියෝග යන්න විත්ති වාචකයක් නොවන බව

වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීමේ දී තර්ක කර තිබුනේ පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූවේ නියෝජ්‍ය පොලිස්පතිගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මත බවයි. මෙකී තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදි. අනීතික අත්අඩංගුවට ගැනීමක් සාධාරණය කිරීම සඳහා ඉහළ නිලධාරීන්ගේ නියෝගවලට අනුගත වීම පිළිගත නොහැකි බව අධිකරණයේ තීරණය විය. වැඩිදුරටත් දක්වන්නට යෙදුනේ අත්අඩංගුවට ගන්නා නිලධාරියා, නීතිය අනුව කටයුතු කිරීමේ යුතුකමෙන් බැඳී සිටින බවයි.

F. ව්‍යවස්ථානුකූල නිගමනයන්

අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූවේ පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) සහ 13(2) ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වන බවය. ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් පුද්ගලිකව මෙන්ම රජය විසින් ද පෙත්සම්කරුට වන්දි ගෙවීමට නියම කරන ලදි.

වෙනත් අධිකරණයන්හි භාවිතාව

මේ නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය දැක් වූ කරුණු වෙනත් රටවල අධිකරණයන්හි මතවාද සමගින් ද ගැලපෙන බව පෙනේ. ඒ අනුව පුද්ගලික නිදහස රීතිය වන බවත්, ඒ සඳහා වන සීමා කාර්යපටිපාටිමය ලෙසින් සහ නීත්‍යනුකූලව යුක්ති සහගත විය යුතු බවත් පෙන්වා දෙයි.

අපරාධ නඩු විධාන නීතියට අදාළව වැදගත්කම

මහානාම තිලකරත්න නඩු තීන්දුව පාඩම් කීපයක් ම උගන්වයි.

1. අධිකරණයේ ස්වාධීනතාවය - මහේස්ත්‍රාත්වරුන් පැමිණිල්ලේ හෝ විමර්ශන නිලධාරීන්ගෙන් එල්ලවන පීඩනයට යටත් විය යුතු නැත.

2. නීතියට අනුව කටයුතු කිරීම - වරෙන්තු නිකුත් කිරීම දිව්රුම් සාක්ෂි මත සිදු විය යුතු අතර විධායකයේ ඉල්ලීම මත හෝ සැකයක් මත නිකුත් නොකළ යුතු ය.

3. කාර්යපටිපාටිය අනුගමනය කිරීම - අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 52 වන වගන්තිය අනුව කටයුතු කිරීම විධානාත්මකය.

4. වගකීම - පොලිස් නිලධාරීන්ට, ඉහල නිලධාරීන්ගේ නියෝග මත කටයුතු කලායැයි විත්තිවාචක ඉදිරිපත් කළ නොහැක. අනීතික අත්අඩංගුවට ගැනීම් වලදී පුද්ගලිකව වගකීමට සිදු වේ.

5. ව්‍යවස්ථානුකූල ආරක්ෂාව - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ දැක්වෙන අයිතිවාසිකම් අධිකරණමය ලෙසින් බලාත්මක කළ හැකි අතර සහන ලබා ගත හැක.

අවසානය

වරෙන්තු නිකුත් කිරීම යනු ස්වයංක්‍රීය ක්‍රියාවක් නොවන අතර ව්‍යවස්ථානුකූලව හඳුන්වා දී ඇති පුද්ගලික නිදහස හා බැඳුන ක්‍රියාවකි. මහානාම තිලකරත්න නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබූවේ මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබීමේ දී ස්වාධීනව, ප්‍රවේශම් ව සහ වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් ඇති බවට සාක්ෂිමය ලෙසින් සෑහීමට පත්වීමෙන් පසුව පමණක් කටයුතු කිරීමේ තත්ත්වය ය. මෙම තීන්දුවෙන් පසුව තවත් විනිශ්චිත නඩු තීන්දු ගණනක දී අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමුවිණි. ඒ සියල්ලකදීම පාහේ මේ නඩු තීන්දුව සඳහන් කරනු ලැබ ඇති අතර නීත්‍යනුකූල ලෙසින් වරෙන්තු නිකුත් කිරීම සහ නීතියට අනුව අත්අඩංගුවට ගැනීම අගය කොට දක්වා ඇත.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.