ඇප බැඳුම්කර සහ ආහාර පනත
නීතිය තුළ රැදී සිටීමට සහ ගමන් කිරීමට නිතර යාවත්කාලීනවීම අත්‍යවශ්‍ය සාධකයකි. මේ සඳහා ඇති එක් උපක්‍රමයක් වන්නේ නිතර වලංගුව පවත්නා නීති කෙරේ යොමුවීමයි. එක් පනතක් අද කියවා ලබන අවබෝධයට වඩා වෙනස් අවබෝධයක් තවත් දිනයක කියැවීමේ දී ලබා ගත හැක. මන්දයත් නීති යනු මිනිස් නිර්මාණයන් මිස පරම සත්‍යය නොවන නිසාවෙනි. මෙනිසා නිරන්තර නීති අධ්‍යයනයේ යෙදීමට නීතියට ඇළුම් කරන ඔබට මා ආරාධනා කරමි.
මේ වන විට අපරාධ නීති විෂය තුළ කටයුතු කරනු නොලැබුව ද නීතිය තුළ යාවත්කාලීන වීම සඳහා නිතර අපරාධ නීතියට අදාළ ව්‍යවස්ථාවන් කෙරේ යොමුවීම පවත්වාගෙන එනු ලබයි. නැත්නම් ඒ අමතක වනු ඇත. එවැනි අවස්ථාවල දී උද්ගත වන වැදගත් යැයි හිතෙන දේ මේ පිටුවේ සටහන් කරන්නේ තවත් කාට හෝ එය වැදගත් වනු ඇතැයි යන විශ්වාසයෙනි. අදත් එවැනි සටහනක් තැබීමට සිතුවේ එහෙයිනි. ඒ සඳහා මා මුල් කර ගන්නේ සංශෝධිත 1980 අංක 26 දරන ආහාර පනත ය. මේ සම්බන්ධයෙන් දැනටමත් මා විසින් කරුණු අවස්ථා ගණනකදී සඳහන් කර ඇත. මේ ඊට අතිරේක වශයෙනි.
ආහාර පනතේ 19 වන වගන්තියේ දැක්වෙන ආකාරයට පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යටතේ වූ වරදක් කරන සෑම තැනැත්තකු ම වරෙන්තුවක් නැතිව සිරභාරයට ගනු ලැබිය හැක. කෙසේවෙතත් මේ පනතේ ‘ඇප’ පිළිබඳව සඳහනක් නැත. එසේ නම් බලයලත් නිලධාරියකු විසින් පනත යටතේ අත්අඩංගුවට ගනු ලබනා පුද්ගලයකුට කළ හැක්කේ කුමක් ද යන්න මදක් විමසා බැලිය යුතු වේ.
ආහාර පනතේ 13(3) වන වගන්තිය මගින් පනත යටතේ සිය කර්තව්‍යයන් ඉටු කිරීමේ කාර්ය සඳහා සෑම බලයලත් නිලධාරියකුටම 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාර පොලිස් නිලධාරියකුගේ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරා තිබේ. පනතේ 14 වන වගන්තිය යටතේ වන බලතල ක්‍රියාත්මක කිරීමට එකී බලතල අත්‍යවශ්‍ය ය. ඒ අනුව පරීක්ෂා කිරීමට, සෝදිසි කිරීමට, තහනමට ගැනීමට, අත්අඩංගුවට ගැනීමට බලය ලැබී ඇත. නැත්නම් අඩුම තරමේ කෑම කඩයක් පරීක්ෂා කිරීමට හෝ පනත/නියෝග යටතේ වරදක් කරන අයකු අත්අඩංගුවට ගැනීමට හෝ ආහාර පනත යටතේ වන බලයලත් නිලධාරියකුට හැකියාව ලැබෙන්නේ නැත.
පනතේ 14 වන වගන්තියේ දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරන බලයලත් නිලධාරියකුට ඒ විධාන කඩ කරන අයකු හමුවුවහොත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පෙර කී 19 වන වගන්තිය අනුව බලය ඇත. 19 වන වගන්තියේ භාවිතා කර ඇත්තේ ‘හැකිය’ යන පාඨය බව ඒ වගන්තිය කියවන විට පෙනී යයි. ‘හැකිය’ සහ ‘යුතු ය’ යන්න නීතියේ දී එකිනෙකට වෙනස් බලපෑම් ඇති කරන්නා වූ පාඨයන් වේ. යුතු ය යන්න විධානාත්මක ය. එනම් කළ යුතුම ය. පනතේ 13(3) වන වගන්තියේ ඒ අනුව ඇත්තේ ‘යුතු ය’ යන්න ය. නමුත් හැකිය යන්නා යොදා ඇති විට එය කිරීම අවශ්‍යයම නැත.
දැන් මේ 19 වන වගන්තියේ ඇති ‘හැකිය’ යන භාවිතාව නිසා පනතේ 14 වන වගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කරන බලයලත් නිලධාරියකු විසින් විධාන කඩ කරන පුද්ගලයකුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ හැක. නමුත් ඔහු ඒ ආකාරයට ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගනු නොලබයි නම් මේ අනුව මාගේ අදහස වන්නේ ඇප බැඳුම්කර අත්සන් කිරීම වැනි දෙයක් කළ නොහැකි බවයි.
අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 2 වන වගන්තියේ දී සංඥෙය වරද යන්න අර්ථ දක්වා ඇත. එහි දැක්වෙන ආකාරයට 1 වන උපලේඛනයට අනුව සාම නිලධාරියකු විසින් වරද කරන්නා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගත හැකි වරදක් සංඥෙය වරදක් වේ. ආහාර පනතේ 19 වන වගන්තියේ දැක්වෙන්නේ පද අනුව මෙවැනි ආකාරයේ වරෙන්තුවක් නොමැතිව වරද කරන්නා අත්අඩංගුවට ගත හැකි වරදකි. නමුත් එහිදී සංඥෙය වරදක් ලෙසින් එය සඳහන් කර නැත.
මෙහිදී සාම නිලධාරියා යන්න ද සැලකිල්ලට ගත යුතු ය. සාම නිලධාරියා යනු කව්ද යන්නත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ පනතේ 2 වන වගන්තියේ දී අර්ථ දක්වා ඇති අතර ඒ හැර වෙනත් පනත්වල අවශ්‍ය අවස්ථාවලදී යම් නිලධාරීන් යම් කාර්යයක් සඳහා සාම නිලධාරීන් ලෙසින් කටයුතු කරන බව දක්වා ඇත. ආහාර පනතේ 13(3) වන වගන්තිය යටතේ බලයලත් නිලධාරියකු පොලිස් නිලධාරියකුගේ බලතල ක්‍රියාත්මක කරන බව කීව ද සාම නිලධාරියකු බව කියන්නේ නැත. ඒ අනුව බලයලත් නිලධාරියකු විසින් පුද්ගලයකුව ආහාර පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුව හොත් සිදු කළ යුතු වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පැය 24 ක් තුළ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම ය.
මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක් ප්‍රතිපාදනය වන්නේ ඇප පනතේ 3 වන වගන්තිය වේ. ඒ අනුව ඇප පනත, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ හෝ මහජන ආරක්ෂක පනත යටතේ වූ නියෝග යටතේ ඇප පිට නිදහස් කිරීම සඳහා ප්‍රකාශිත විධිවිධාන සලකා ඇති ලිඛිත නීතියක් යටතේ වරදකට අදාළ තැනැත්තකු සම්බන්ධයෙන් අදාළ වන්නේ නැත. ඒ හැර ඇප සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධානයකට සඳහනක් වෙනත් ලිඛිත නීතියක කර ඇති අවස්ථාවක, ඒ සඳහන් කිරීම ඇප පනතේ අනුරූප විධිවිධානවලට කරන ලද සඳහනක් ලෙස සලකනු ලැබිය යුතු ය. පෙර සඳහන් කළ පරිදි ඇප සම්බන්ධයෙන් විධානයක් ආහාර පනතේ නැත. එනිසා ආහාර පනතේ වරදක් සම්බන්ධයෙන් වන විට ඇප පිළිබඳව අදාළ වන්නේ ඇප පනත ය.
ඇප දිය හැකි වරදක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන අවස්ථාවේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුව ඇප බැඳුම්කරයක් මත මුදා හැරීම සම්බන්ධයෙන් විධාන ඇප පනතේ 6 වන වගන්තියේ ඇතුළත් වේ. මේ 6 වන වගන්තිය සෘජුවම සම්බන්ධ වන්නේ පොලිස් නිලධාරීන්ට අදාළව ය. ආහාර පනතේ 13(3) වන වගන්තියේ දී පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මේ ඇප පනතේ 6 වන වගන්තියට දිගු වන්නේ නැත. මේ තත්ත්වය පැහැදිලි තත්ත්වයකි. ඇප පිළිබඳව ආහාර පනතේ විධාන නැති විට එය එසේ බව අවබෝධ කර ගත යුතු ය. මෙනිසා ආහාර පනත 19 වන වගන්තිය යටතේ යම් තැනැත්තකුව අත්අඩංගුවට ගත හොත් ඇප බැඳුම්කර අත්සන් කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලි අතර මහේස්ත්‍රාත්වරයාට ඒ තැනැත්තා ඉදිරිපත් කරනවා හැර වෙනත් විකල්පයක් නැත. මීට ඇති එකම ව්‍යතිරේකය වන්නේ 19 වන වගන්තිය යටතේ අත්අඩංගුවට නොගෙන සිටීම ය. ඒ අනුව එසේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ විට ඇප සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් මහේස්ත්‍රාත්වරයා ලබා දෙනු ඇත.
මෙකී තත්ත්වයන් මත මාගේ අදහස නම්, යම් හෙයකින් ආහාර පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකුට බැඳුම්කර අත්සන් කර අධිකරණයේ පෙනී සිටින ලෙසින් නියම කිරීමට මේ අනුව බලයලත් නිලධාරියකුට නොහැක. එය ආහාර පනතට සහ ඇප පනතට පටහැනි ක්‍රියාවකි. එනිසා එමගින් පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වුවද සිදු විය හැකි බව මාගේ අදහසයි.
කෙසේවෙතත් මීට ප්‍රතිවිරුද්ධ අදහස් ඔබට තිබීමට ඇති නිසා ඒවා සඳහන් කිරීමට ආරාධනා කරමි.
Comments
Post a Comment