සිවිල් නඩුවක සාක්ෂිකරුවාගේ ගාස්තු ගෙවීම
සිවිල් නඩුවක දී පාර්ශ්වයක් වෙනුවෙන් කැඳවන සාක්ෂිකරුවකුගේ සාක්ෂිය බොහෝ අවස්ථාවලදී එක් දිනකින් අවසන් වන්නේ නැත. සාමාන්‍ය පරිචයේ දී නිල සාක්ෂිකරුවකු නැත්නම් රජයේ සාක්ෂිකරුවකුගේ සාක්ෂි බොහෝ අවස්ථාවලදී එක් දිනයේ අවසන් කළත් සාමාන්‍ය මහජනතාවගෙන් කෙනෙකු සාක්ෂි ලෙසින් කැඳ වූ විට ඒ තත්ත්වය දැක ගත නොහැක. මෙවැනි අවස්ථාවකදී සාක්ෂිකරුවාට තමුන් ආපසු අධිකරණයට වෙනත් දිනයක පැමිණීම වෙනුවෙන් ගාස්තුවක් ලබා ගැනීමට හැකියාව ඇති අතර ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධාන සඳහන්ව තිබේ. සාක්ෂිකරුවකු සාක්ෂියට කැඳවන නීතීඥවරු මේ පිළිබඳව දැන සිටිය යුතු අතර ඒ විධාන අනුව කටයුතු කළ යුතු වේ. ඒ තුළින් ද අධිකරණය කෙරේ මහජනයාගේ විශ්වාසය ඇති කළ හැක. නිකමට සිතන්න දවසේ වේතනයට සේවය කරන කම්කරුවකු සාක්ෂියට කැඳවා එක් දිනකින් සාක්ෂිය අවසන් නොකර තවත් දිනක සාක්ෂියට කැඳවීමට කටයුතු කරද්දී ඔහුගේ දවසේ වේතනයට සිදුවන්නේ කුමක් ද යන්න. ඔහුට දරු පවුලක් නඩත්තු කිරීමට ඇත්නම් එහිදී අපහසුතාවයට පත් වනු ඇත. එවැනි විටක මේ ගාස්තුව යම් පිළිසරණක් වනවා නොඅනුමාන ය.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 122 වන වගන්තිය අනුව අධිකරණයට කැඳවන සාක්ෂිකරු සිටින්නේ අධිකරණයේ සිට සැතපුම් 4 ක ට වඩා වැඩි දුරකින්නම් එක් දිනයක් සඳහා ඒ සාක්ෂිකරුට අධිකරණයට ඒමට සහ යෑමට යන වියදම සහ අනෙක් වියදම් ද ඇතුළු ප්‍රමාණවත් වියදමක් ඒ සාක්ෂිකරු කැඳවන පාර්ශ්වය විසින් දැරිය යුතු වේ. මේ මුදල අධිකරණයේ තැන්පත් කිරීමට ද හැකියාව ඇත. යම් හෙයකින් මේ ගාස්තුව ලබා ගැනීමට හැකියාව ඇති සාක්ෂිකරුවකුට ඒ ගාස්තුව නොගෙවයිනම් ඔහු සාක්ෂි දීමට බැඳී සිටින්නේ නැත. එසේම එවැනි විටක මුදල් ගෙවීම පැහැර හරිනු ලැබූ විට පිස්කල් ලවා සිතාසි ලබා ගත් තැනැත්තාගේ චංචල දේපල තහනමට ගෙන අදාල මුදල සාක්ෂිකරුට අයකර දීමට හැකියාව ද ඇත.
සාමාන්‍යයෙන් සාක්ෂිකරුට සිතාසි නිකුත් කරද්දී මේ මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු ය. නමුත් එසේ තැන්පත් නොකරයිනම් ඒ බව සිතාසියේ සඳහන් කරනු ලැබිය යුතු ය. එනම් මුදලක් ගෙවා නොමැති නිසා සිතාසි ලැබුණත් අධිකරණයට පැමිණීමට බැඳී නොමැති බව සිතාසියේ ම දන්වා යැවිය යුතු ය.
විශේෂයෙන් ම මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මූලික සාක්ෂිය සඳහා කැඳවන සාක්ෂිකරුව හරස් ප්‍රශ්න සඳහා ඒ පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ විට, හරස් ප්‍රශ්න අසන පාර්ශ්වය විසින් හරස් ප්‍රශ්න සඳහා දිනයක් ඉල්ලීම නිසා සාක්ෂිකරුට වෙනත් දිනයක අධිකරණයේ පෙනී සිටීමට සිදුවන විට ඒ ගාස්තුව ගෙවිය යුතු වන්නේ හරස් ප්‍රශ්න අසන පාර්ශ්වය විසින් වීමයි. මේ සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය වැදගත් වේ.
ඔබ නීතීඥවරයකු ලෙසින් අධිකරණයේ කටයුතු කරද්දී මේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැනුවත් කටයුතු කිරීම ඔබ කෙරෙහි නඩු කියන්නන්ගේ විශ්වාසය ඇති කිරීමට ද හේතු වනු ඇති බව නොඅනුමාන ය. මන්දයත් තමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අය පිළිබඳව ස්වභාවයෙන් ම මිනිසුන් තුළ ප්‍රසාදයක් ඇති වන නිසාවෙනි.
Comments
Post a Comment