චූදිතයකු විසින් පොලීසියෙන් වැටලීම් සටහන් ලබා ගැනීම.
තවමත් යම් අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු වලදී චූදිතයා වෙනුවෙන් නඩු විභාගයේ දී පොලීසියෙන් වැටලීම් සටහන් ඉල්ලා සිටින ආකාරය දක්නට ලැබේ. මෙවැනි අවස්ථා උදා වන්නේ පොලීසිය විසින් ම වැටලීම් සිදු කර පවරනු ලබන නඩු කටයුතු වලදී ය. නිදසුනකට නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්, සූදු පිටිවල කරන වැටලීම් වැනි. මෙහිදී අවධානය යොමු කරන්නේ පොලිස් වැටලීම් සටහන් ලබා ගැනීමට චූදිතයකුට හැකියාව පවතින්නේ ද යන්න සැකෙවින් සලකා බැලීමට වේ.
මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුත්තකදී චූදිතයකුට ලබා ගත හැකි ලේඛන කීපයක් වෙයි. ඒ අතර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ (මින් ඉදිරියට පනත ලෙසින් හඳුන්වනු ලබන) 44 (3) වගන්තිය ප්‍රකාරව සිතාසිය සමඟ ලැබෙන චූදිතයාට එරෙහිව ඇති පැමිණිල්ලේ හෝ වාර්තාවේ හෝ ඔහුට එරෙහිව නඩුව පවරනු ලැබූ ලේඛනය, එම නඩුවේ චූදිතට එරෙහිව පැමිණිල්ලෙන් සාක්ෂිකරුවන් සිටී නම් එකී සාක්ෂිකරුවන්ගේ නම් සහ ලිපින ලැයිස්තුව වැදගත් වේ.
මීට අමතරව පනතේ 444 වගන්තිය අනුව චූදිතයකුට පොලීසියෙන් ලබා ගත හැකි ලේඛන ද වේ. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් චූදිතයකුට හෝ ඔහුගේ නීතීඥවරයා විසින් ඉල්ලූ විට සිදු කළ වරද සම්බන්ධයෙන් වන මුල් තොරතුරු වාර්තාව සහ චූදිත විසින් වරද කළ තැනැත්තා විසින් සිදු කළ ප්‍රකාශයෙහි සහතික පිටපත් නිකුත් කළ යුතු ය (444(1)).
පනතේ 109 වගන්තිය යටතේ මුල් තොරතුර වාර්තා කරනු ලබන අතර 110 වගන්තිය යටතේ අනෙකුත් ප්‍රකාශ වාර්තා කරනු ලැබේ.
පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක් සම්බන්ධයෙන් වන විට මෙකී 444(1) වගන්තියේ අදාළත්වය සලකා බැලිය යුතු ය.
මේ සම්බන්ධයෙන් ආරමුගම් එදිරිව මිරිහාන පොලිස් ස්ථානාධිපති (1969) 72 NLR 301 නඩු තීන්දුව වැදගත් නඩු තීන්දුවකි. මේ නඩු තීන්දුවේ දී තීරණය වී ඇත්තේ චූදිතට සංඥය වරදක් සම්බන්ධයෙන් චෝදනා නගා ඇති විටක, පොලිස් නිලධාරියකු විසින් යෙදූ වැටලීම් සටහන්වල සහතික පිටපත් ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබෙන්නේ එය වරද සම්බන්ධ මුල් තොරතුරට සම්බන්ධ වන්නේ නම් පමණක් බවයි.
* මේ සම්බන්ධයෙන් Panditaratne v. Kegalle, A.S.P. - (1967) 72 NLR 273, Saravanaiv. Officer In Charge - (1972) 77 NLR 284 නඩු තීන්දු ද පරිශීලනය කරන්න.
මෙකී නීති තත්ත්වය පනතේ 444(1) වගන්තිය සමඟ හොඳින් ගැලපෙන්නකි. ඒ අනුව වර්තමානයේ දී වුවද පොලිස් නිලධාරියකු යෙදූ වැටලීම් සටහන්වල සහතික පිටපත් ඉල්ලන්නේ නම් ලබා ගත හැක්කේ මුල් තොරතුර හා සම්බන්ධව පවතින වැටලීම් සටහන් පමණක් බව නිගමනය කළ හැක. බොහෝ අවස්ථාවලදී පැමිණීමේ සටහනේ දී පොලිස් නිලධාරියා විසින් තමුන් සිදු කළ වැටලීමට අදාළ තොරතුරු ඇතුළත් කරනු ලබයි. එකී පැමිණීමේ සටහන මුල් තොරතුර වන්නේ නම් මේ අනුව ලබා ගන්නා මුල් තොරතුරේ දී වැටලීම් සටහන් ඇතුළත්ව තිබිය හැක. නමුත් පැමිණීමේ සටහනේ දී වැටලීම පිළිබඳව වැඩි විස්තර පොලිස් නිලධාරියා විසින් ඇතුළත් නොකර ඒ සම්බන්ධයෙන් වන වැඩි විස්තර ඔහුගේ සටහන් පොතේ ඇතුළත් කර ඇත්නම් එකී සටහන ලබා ගැනීමට චූදිතයකුට හැකියාව ලැබෙන්නේ නැත.
තවද, 444(3) වගන්තිය අනුව පනතේ 110 වගන්තිය යටතේ වාර්තා කර ඇති ප්‍රකාශවලින්, මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගය තුළදී පැමිණිල්ල විශ්වාසය තබන සාක්ෂිකරුවකුගෙන් වාර්තා කර ඇති ප්‍රකාශ කියැවීමට චූදිතට හෝ චූදිතගේ නීතීඥවරයාට කියැවීම සඳහා අවසර ලබා දීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාව ඇත. ඒ අනුව වැටලීමක් සම්බන්ධයෙන් වන විට වැටලීමට සම්බන්ධ නිලධාරියකුගේ සටහනක්, ඒ නිලධාරියා චූදිතට එරෙහි සාක්ෂිකරුවකු ලෙසින් පැමිණිල්ල විශ්වාසය තබා ඇති අවස්ථාවකදී, කියවා බැලීමට චූදිත/චූදිතගේ නීතීඥවරයාට හැකියාව ලැබේ. නමුත් එහි සහතික පිටපතක් ලබා ගැනීමට හැකියාවක් නැත.
මේ අනුව අවසන් වශයෙන් කිව හැක්කේ පොලිස් නිලධාරියකු විසින් මුල් තොරතුරට අදාළව තොරතුරු පොතට ඇතුළත් කළ වැටලීම් සටහන් ලබා ගැනීමට පනතේ 444(1) වගන්තිය යටතේ චූදිතයකුට හැකියාව පවතින බවයි. නමුත් ඔහුගේ ප්‍රයෝජනය සඳහා නැත්නම් මතකය අළුත් කර ගැනීම සඳහා ඇතුළත් කර ගෙන ඇති සටහන් ලබා ගැනීමට මේ යටතේ හැකියාවක් නැත.
Comments
Post a Comment