එන්තරවාසිය - කෙටි සටහන්.
taken from internet
සිවිල් මෙන්ම අපරාධ නඩු වලදී ද එන්තරවාසි පිළිබඳව සාකච්ඡා වේ. සරලවම එන්තරවාසියකින් සිදු කරනු ලබන්නේ ඉල්ලීමකි. එය එක්කෝ ලබා ගත් මුදලක් ආපසු ගෙවීමක් විය හැක. නැත්නම් සේවයක් ඉටු කිරීමක්, පොරොන්දුවක් ඉටු කිරීමක් විය හැක. මේ කුමක් වුවත් ඉල්ලීමක් එන්තරවාසියට ඇතුළත් වේ.
එන්තරවාසියක් යැවීමේ ප්‍රධානම හේතුව වන්නේ සමහරක් නඩුකටයුතුවලදී නඩු නිමිත්ත සඳහා ඉල්ලීමක් කිරීම සහ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සිදුව තිබිය යුතු නිසාවෙනි.
නීතීඥවරයකු විසින් ලියනු ලබන එන්තරවාසියකදී තමුන්ගේ සේවාදායකයාගේ උපදෙස් පිට එය ලියනු ලබන බව සඳහන් කරනු ලැබේ. එසේම එන්තරවාසියකදී අදාළ ඉල්ලීම ඉටු නොකරන්නේ නම් එහිදී ගැනීමට බලාපොරොත්තු වන පියවරද සඳහන් කරනු ලැබේ.
මේ ආකාරයට සකසනු ලබන එන්තරවාසි ලිපි, රෙජිස්තර තැපෑලෙන් ලබන්නාට යවනු ලැබෙන අවස්ථා අධිකරණයේ දී දක්නට ඇත. එවිට ලියාපදිංචි තැපැල් භාණ්ඩ කුවිතාන්සියක් ඒ සම්බන්ධයෙන් යවන්නා සතුව ඉතිරි වේ.
මෙසේ එන්තරවාසි ලිපියක් යැවූ විට එන්තරවාසියේ මුල් පිටපත ඇත්තේ ලබන්නා සතුව ය. යවන්නා සතුව ඇත්තේ පිටපතකි.
සිවිල් නඩුවක උත්තරවාදවලදී එන්තරවාසි ලිපිය ලද බව ප්‍රතික්ෂේප කරන අවස්ථා පවතී. තවත් විටක උත්තරවාදවලදී එන්තරවාසිය ලැබුන බව පිළිගන්නා නමුත් එහි අන්තර්ගතය ප්‍රතික්ෂේප කරන අවස්ථා පවතී. මේ අවස්ථා දෙකේ දී අදාළ වන ඔප්පු කිරීමේ භාරය එකිනෙකට වෙනස් ය.
උත්තරයෙන් එන්තරවාසි ලිපිය ලද බව ප්‍රතික්ෂේප කරන අවස්ථාව ප්‍රථමයෙන් සලකා බලමු. එහිදී එන්තරවාසිය ඉදිරිපත් කරන පාර්ශ්වය විසින් පළමුවෙන්ම නඩු විභාගයේ දී එන්තරවාසිය ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට සාක්ෂි ආඥාපනතේ 66 වගන්තිය යටතේ ද්විතීයික සාක්ෂි මෙහෙයවීමට අවශ්‍ය දොරගුලු විවර කර ගත යුතු ය. එම දැන්වීම නොමැතිව තමුන් සතුව ඇති පිටපත නඩු විභාගයේදී ඉදිරිපත් කළ නොහැකි වේ.
එන්තරවාසි ලිපියක් ඔප්පු කිරීම ආකාර දෙකකට කළ හැකි වේ. එකක් නීතීඥවරයකු විසින් සකස් කළ විටකදී නම් නීතීඥවරයා සාක්ෂියට කැඳවීමෙනි. එවිට අදාළ එන්තරවාසිය තමුන් විසින් සකස් කරනු ලැබූවක් බව ඔහුට සාක්ෂි ලබා දිය හැක.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන විටදී 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් හි 12 වන රීතිය පිළිබඳව නීතීඥවරයාගේ අවධානය යොමු කර තිබීම වැදගත් ය. සාමාන්‍යයෙන් තමුන් සාක්ෂිකරුවකු විය හැකි යැයි පෙනී යන නඩුවක් සඳහා උපදෙස් ලබා දීම ගැන මේ රීතියේ විස්තර කෙරේ.
* නීතීඥවරයා විසින් එන්තරවාසිය සැකසීමක් නොකර සේවාදායකයාට එය සැකසීමට උපදෙස් ලබා දී ඔහු ලවා එය සකසා ලබන්නාට යැවීමට සැලැස්වීම මෙකී 12 වන රීතියෙන් බැහැර වීමට හැකියාව ලැබෙන එක් ආකාරයකි.
දෙවනුව එන්තරවාසිය සැකසීම සඳහා උපදෙස් දුන් තැනැත්තා ලවා ද එය ඔප්පු කළ හැක. නමුත් ඒ සඳහා අදාළ එන්තරවාසියේ දී නීතීඥවරයා විසින් තමුන් එම තැනැත්තාගේ උපදෙස් මත එය සකස් කරන බව සඳහන් කර තිබීම අවශ්‍ය ය. සාක්ෂි ආඥාපනතේ 60 වගන්තිය අනුව තමුන්ගේ දැනීමට අදාළ දේ ගැන සාක්ෂිකරුවකුට සාක්ෂි දීමේ හැකියාව පවතී.
උත්තරයෙන් අන්තර්ගතය ප්‍රතික්ෂේප කරන අවස්ථාව පිළිබඳව ද ඉහතින් සඳහන් කරනු ලැබුවෙමි. මේ සම්බන්ධයෙන් සාක්ෂි ආඥාපනතේ 61 සහ 64 වගන්ති වැදගත් වේ. ඒ අනුව ලේඛනයක අන්තර්ගතය මුල් ලේඛනය ඉදිරිපත් කිරීමෙන් සිදු කළ හැකි අතර මුල් ලේඛනය නොමැති අවස්ථාවලදී සාක්ෂි ආඥපනතේ 65 වගන්තිය අනුව ද්විතීයික ලේඛනය ඉදිරිපත් කිරීමෙන් ඔප්පු කළ හැකි ය. අන්තර්ගතයේ ඇති කරුණු ඔප්පු කිරීම සඳහා සාක්ෂි ආඥාපනතේ 66 වගන්තිය අනුව කටයුතු කිරීම අවශ්‍ය බව පෙර දී සඳහන් කර ඇත්තේ මෙහෙයිනි. මන්දයත්, මුල් ලේඛනය එන්තරවාසිය ඉදිරිපත් කරන තැනැත්තා සතුව නොමැති නිසාය.
මෙකී තත්ත්වය නොදන්නා සමහරු යම් අවස්ථාවලදී එන්තරවාසියේ අන්තර්ගතය ඔප්පු වී නොමැති බවට පෙර ආකාරයට සාක්ෂිය මෙහෙයවීමෙන් පසුව ද තර්ක කරන අයුරු අධිකරණයේදී දක්නට ලැබේ. එන්තරවාසියේ අන්තර්ගතව ඇති කරුණු සත්‍යය ද අසත්‍යය ද යන්න එකකි. සත්‍ය හෝ අසත්‍යය, එන්තරවාසිය ඔප්පු කිරීම අනෙකකි.
එන්තරවාසිය ලබන්නාට ලැබුණු බව ඔප්පු කිරීමට ලියාපදිංචි තැපැල් භාණ්ඩ කුවිතාන්සිය සහාය කර ගත හැක. එහිදී ලියාපදිංචි තැපැල් භාණ්ඩ කුවිතාන්සිය පිළිබඳව ද දැන සිටිය යුතු වේ. ඒ සම්බන්ධයෙන් පෙර ලිපියක් පළ කර ඇති අතර එය කියැවීමෙන් යම් අවබෝධයක් ලබා ගත හැකි ය.
Comments
Post a Comment