ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය - කෙටි සටහන්.
ඡායාරූපය අන්තර්ජාලයෙනි.
බොහෝ සිවිල් නඩුවලදී පැමිණිල්ල සමඟ ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සියක් අමුණා ඇති අයුරු දක්නට ලැබේ. විශේෂයෙන්ම මුදල් අයකර ගැනීමේ නඩුවලදී එන්තරවාසි ලිපිය විරුද්ධ පාර්ශ්වයට යැවූ බව පෙන්වීමට මෙය අමුණා ඉදිරිපත් කර ඇත.
ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සියේ ප්‍රධාන වශයෙන් ම ඇතුළත් වන්නේ ලබන්නාගේ නමත්, යවන්නාගේ නමත්, තැපැල් කාර්යාලයට ලිපිය/භාණ්ඩය භාර දුන් දවසත්, අදාළ තැපැල් කාර්යාලයේ මුද්‍රාවත් ය.
මෙකී ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය ඉදිරිපත් කිරීම තුළින් විරුද්ධ පාර්ශ්වයට ලිපියක් යැවූ බව සනාථ කිරීමේ හැකියාව ඇත (බලන්න තැපැල් කාර්යාල ආඥාපනතේ 2(ආ) පූර්ව නිගමනය*).
කෙසේවෙතත් විරුද්ධ පාර්ශ්වය විසින් අදාළ ලිපිය නොලද බව උත්තරවාදයෙන් හෙළිදරව් කරන්නේ නම් මෙකී ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් නොලැබේ. එවැනි විටකදී අදාළ ලිපිය ලබන්නාට භාර දුන් බව ඔප්පු කිරීමට තැපැල් කාර්යාලයේ නිලධාරියකු සාක්ෂියට කැඳවීමට සිදු වේ.
මීට හේතුව වන්නේ තැපැල් කාර්යාල ආඥාපනතේ 2(ඇ) වගන්තියේ ඇති පූර්ව නිගමනයයි**. එම පූර්ව නිගමනය අනුව තැපැල් භාණ්ඩයක් ලබන්නාගේ නිවසට හෝ කාර්යාලයට හෝ ලබන්නාට හෝ ඔහුගේ සේවකයකුට හෝ නියෝජිතයකුට හෝ ලබන්නා වෙනුවෙන් එය ලබා ගැනීමට බලය ඇතැයි සැලකෙන අයකුට සාමාන්‍ය ආකාරයට භාර දීම, ලබන්නාට භාර දුන්නා සේ සැලකීමක් වේ. මෙකී පූර්ව නිගමනය ඇති කිරීම සඳහා ලබන්නාට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයෙන් සාක්ෂියක් කැඳවීමට සිදු වන්නේ, ලබන්නා ලිපිය අත්සන් කර ලබා ගත් කුවිතාන්සිය ඇත්තේ එම තැපැල් කාර්යාලයේ නිසාවෙනි. එම කුවිතාන්සිය ඉදිරිපත් කළ විට ලිපිය භාර දුන් බවට මෙකී පූර්ව නිගමනය අනුව අනුමිතියක් ඇති කර ගැනීමට අධිකරණයට හැකියාව ලැබේ.
වර්තමාන නීතිය අනුව මෙකී සාක්ෂිය කැඳවීම එතරම් සංකීර්ණ කටයුත්තක් නොවේ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 440ආ (1) වගන්තිය ඒ සඳහා අදාළ වේ. ඒ අනුව උත්තරවාදයෙන් විරුද්ධ පාර්ශ්වය විසින් අදාළ ලිපිය තැපෑලෙන් තමුන්ට නොලැබුන බවට කියා සිටින අවස්ථාවකදී අදාළ වගන්තියේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාර්ශ්වයට කටයුතු කළ හැකි ය.
පෙර කී ඉල්ලීම සිදු කළ යුතු වන්නේ පූර්ව නඩු විභාග අවස්ථාවේදී ය. ඒ අනුව අදාළ තැපැල් භාණ්ඩය භාර දුන් බවට වන අත්සන් කළ කුවිතාන්සියේ සහතික පිටපතක් නඩුව සඳහා අවශ්‍ය වන්නේ නම් ඒ බව ස්ථිර කර දිව්රුම් ප්‍රකාශයක් සහිතව මෝෂමකින්, අදාල සහතික පිටපත නිකුත් කරන ලෙසින් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට ඉල්ලීමක් කළ හැක. ඒ අනුව කැඳවන සහතික පිටපත එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් බැලු බැල්මට පෙනෙන සාක්ෂියක් වන්නේ ය. මෙවැනි ලේඛනයක් හබ කිරීම සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 440ඇ (1) වගන්තිය බලන්න.* the delivery of a postal article of any description to an officer of the post office authorized to receive postal articles of that description for the post shall be deemed to be a delivery to a post office.
** the delivery of a postal article at the house or office of the addressee, or to the addressee or his servant or agent or other person considered to be authorized to receive the article according to the usual manner of delivering postal articles to the addressee, shall be deemed to be delivery to the addressee.
Comments
Post a Comment