දණ්ඩ නීති සංග්රහයේ 38(2) වගන්තිය හා වැරදි පාරක වැලි ප්රවාහනය
මේ කෙටි ලිපිය සැකසීම සදහා පදනම වූයේ 39 න.නී.වා 17 පිටුවේ සදහන් ගුණසේකර එ. ඩයස් බණ්ඩාරනායක නඩු තීන්දුවය. මේ නඩු තීන්දුවේදී සිද්ධිමය කරුණු අනුව චූදිතට මගී ප්රවාහන බස් රථයක් නියමිත මාර්ගයේ නොවන වෙනත් මාර්ගයක ධාවනය කරවීම නිසා වරදකරු කර තිබිනි. ඔහුව නවත්වා ගන්නා ලද දිනට පෙර දින අදාල මාර්ගය වෙනස් කර තිබු අතර ඒ බව ඔහුගේ බස් රථයේ හිමිකරුට දන්වා තිබිණි. නමුත් රියදුරා ඒ වෙනස් කිරීම පිළිබඳව නොදැන ඔහු රථය ධාවනය කරන මාර්ගයේම රථය ධාවනය කරන ලදී. ඒ මුල් ගමනේදීම ඔහුව වැරදි මාර්ගයක රථය ධාවනය කිරීමට අදාලව නවතා ගන්නා ලද අතර ඒ සඳහා නඩු පවරන ලදී. නඩු විභාගයේදි චූදිත අභියාචකගේ ස්ථාවරය වූයේ බලපත්ර අධිකාරිය විසින් එතෙක් ලබා දී තිබු බලපත්රය අවලංගු කර එය වෙනස් කර ඇති බව තමුන් නොදන්නා බවයි. දණ්ඩ නීති සංග්රහයේ 72 වගන්තිය අනුව මෙම ස්ථාවරය සැලකිල්ලට ගත් ඉහල අධිකරණය චූදිතගේ අභියාචකගේ ස්ථාවරය 72 වගන්තිය තුලට වැටෙන ස්ථාවරයක් බවට තීරණය කර නිදොස් කර නිදහස් කරන ලදී.
දණ්ඩ නීති සංග්රහයේ 72 වගන්තිය අන්තර්ගතව ඇත්තේ 4 වන පරිච්ඡේදයටය. මේ 4 වන පරිච්ඡේදය පිළිබඳව ප්රකාශ කර ඇති වැදගත් වගන්තිය වන්නේ දණ්ඩ නීති සංග්රහයේ 38(2) වගන්තියයි. එම වගන්තියේදී දක්වා ඇත්තේ 4 වන පරිච්ඡේදයේදි දක්වා ඇති වරද යන වචනයෙන් දණ්ඩ නීති සංග්රහයේ හෝ ඒ යටතේ නොවන වෙනත් නීතියක් යටතේ ලංකාවේදී දඬුවම් කළ හැකි දෙයක් දැක්වෙන බවයි. මේ සම්බන්ධව වීරකෝන් එ රංහාමි නඩුවේදී (23 න.නී.වා 33) තීරණය වී ඇත.
72 වගන්තිය සරලවම කියන්නේ නීතිය නොදැනීමකින් නොව, සිද්ධිය නොදැනීමකින් යම් ක්රියාවක් කිරීමට නීතියෙන් බලය ඇතැයි යනු සද්භාවයෙන් විශ්වාස කරන්නකු කරනු ලබන කිසිවක් වරදක් නොවන බවයි.
මහේස්ත්රාත් අධිකරණ ඉදිරියේ විභාග වන සමහර නඩු වලදි බලපත්ර කොන්දේසි කඩ කිරීම් පිලිබඳව වන කරුණු ප්රශ්නගත වේ. නිදසුනකට වැලි ප්රවාහනයකට ලබා දෙන බලපත්රය අනුව එහි සඳහන් මාර්ගයේ නොවන වෙනත් මාර්ගයක ප්රවාහනය කිරීම. කළුතර සිට හොරණ දක්වා ලෙස මාර්ගය නම් කලහොත් ඒ බලපත්රයට අනුව හොරණට ගමන් කරන්නෙකුට කළුතර සිට හොරණට ප්රධාන මාර්ග දෙකකින් ගමන් කල හැක. ඒ කළුතර බණ්ඩාරගම හරහා හොරණට සහ කළුතර යාල හරහා හොරණටය. අදාල මාර්ගය දැක්වීමේදී බලපත්රය මත මේ මාර්ග දෙකින් එකක් නිශ්චිතව දක්වා නොමැති නම් සහ ඉන් එක මාර්ගයක ගමන් කරන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ මාර්ගයේ ගමන් කිරීමට බලපත්රයෙන් අවසර දී නොමැත යන පදනම මත චෝදනා කලහොත් සාධාරණ පුද්ගලයෙකුට මේ 72 වගන්තිය භාවිතා කල හැක. මෙය නිදසුනක් පමණි. ප්රායෝගිකව කළුතර සිට හොරණ කියා බලපත්ර නිකුත් කරන්නේ නැත. බලපත්ර නිකුත් කිරීමේදී නිසි මාර්ගයක් දක්වා ඇත. දැව ප්රවාහනයේදී ද, සතුන් ප්රවාහනයේදී ද මෙවැනි විධාන ඇතුලත් වේ.
නීතීයේ මෙවැනි ප්රතිපාදන ඇතත් මේවා භාවිතාවන අවස්ථා අද දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. නමුත් පෙර කී 39 න.නී.වා 17 නඩුව කියවන විට අදට අවුරුදු 75කට පමණ පෙර සිටි අය අද පවතින නීතීයෙන් එදා කොතරම් ප්රයෝජන ගෙන ඇත්දැයි යන්න පැහැදිලි වේ.
Comments
Post a Comment