පෙන්වා භාර දීමෙන් සිතාසි භාර කරවීම - කෙටි සටහන්.


 

පෙන්වා භාර දීමෙන් සිතාසි භාර කරවීම - කෙටි සටහන්. 

සිවිල් නඩුවක් පැවරූ විට නඩුවේ විත්ති පාර්ශ්වයට සිතාසි භාර දීම අනිවාර්ය අංගයකි. මේ සඳහා සිතාසි භාර දීමේ විවිධ ක්‍රම සිවිල් නඩු විධාන සංග්‍රහයේ දක්වා තිබේ. ඒ දක්වා ඇති ක්‍රම අනුව බලාපොරොත්තු වන්නේ විත්තිකරුගේ අතට නැත්නම් විත්තිකරු වෙත සිතාසි භාර කරවීමෙන් ඔහු සම්බන්ධ නඩුවක් පවතින බවට වන දැනුම් දීම ඔහුට සිදු කිරීමයි. එම දැනුම් දීම අනුව එකී නඩු කටයුත්ත සඳහා අධිකරණයට ඉදිරිපත්වීම හෝ නොවීම ඔහු සතු කාර්යයකි.

සිතාසි භාර දීමේ දී පාර්ශ්වයන් විවිධ ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දෙන බව සත්‍යයක් වුවද අද වන විට සිවිල් නඩු විධාන සංග්‍රහයේ ලිඛිතව සඳහන් නොවූවද කූරියර් සේවාව මගින් සිතාසි භාර කරවීම දක්වා මේ කාර්යය සංවර්ධනය වී ඇත (CA RI 08/2020 decided on 25/11/2020 නඩු තීන්දුව අනුව).

කෙසේවෙතත් මෙම කෙටි ලිපියේ දී මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ‘පෙන්වාවාබාර දීමෙන්’ සිතාසි භාර දීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පමණි.

බොහෝ අවස්ථාවලදී පාර්ශ්වකරුවන් වෙනුවෙන් දිසා අධිකරණයන්හිදී පෙන්වා භාර දීමෙන් සිතාසි බාර දීමට ඉල්ලීම් කරනු ලැබූවද මෙය ද සිතාසි බාර දීමේ ක්‍රමයක් ලෙසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ සඳහන්ව ඇති ක්‍රමයක් නොවේ. මෙනිසා සමහරක් අවස්ථාවලදී යම් පාර්ශ්වයන් මේ ක්‍රමය සම්බන්ධයෙන් නොසතුට පල කරනු ලබයි. ඊට ප්‍රධාන ම හේතුවක් වන්නේ සිතාසිය යොමු කළ පුද්ගලයාටම එය භාර දුන්නේ ද යන සැකය මතු කිරීමට සමහර අවස්ථාවලදී හැකියාව පවතින නිසාවෙනි. නමුත් ඈත අතීතයේ සිටම මෙම ක්‍රමය ද සිතාසි භාර දීමේ ක්‍රමයක් ලෙසින් ලංකාවේ භාවිතා වී ඇති බවට මොහොට්ටිහාමි එ. පොඩිසිංඤො, 7 CWR 17 නඩු තීන්දුව අනුව පෙනී යයි.

මෙම ක්‍රමවේදයෙන් සිතාසි භාර දීම සඳහා අවසර ඉල්ලීම් බෙහෙවින් සිදු කරන්නේ දික්කසාද නඩු වලදී ය. ඒ විත්තිකරු හෝ විත්තිකාරිය නඩත්තු නඩුවට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියත් දික්කසාද නඩුවේ තීන්දුව භාර නොගන්නා බවට කරුණු දක්වමිනි. එවැනි විටක පෙන්වා භාර දීමේ සිතාසිය ඉල්ලා සිටින පාර්ශ්වකරු විසින් මේ සඳහා ඉල්ලීම් කරනු ලැබේ. තවත් අවස්ථාවක් වන්නේ විත්තිකරුව හෝ විත්තිකාරියව සොයා ගැනීමට නොහැකි බවට පිස්කල්වරයා විසින් වාර්තා කරන අවස්ථාවකදී ය. එවැනි විටකදී ද මේ සඳහා ඉල්ලීම් කරනු ලැබේ.

එසේ ඉල්ලීම් කරනු ලැබූ විට පිස්කල්වරයා විසින් පැමිණිලිකරුගේ පෙන්වා දීම මත සිතාසි භාර දීම සිදු කරනු ලැබුවේ නම් ඒ පිළිබඳව සිතාසි වාර්තාවේ සඳහන් කර ඉදිරිපත් කරයි. එකී සිතාසි වාර්තාව සමඟ ඉදිරිපත්වන පිස්කල්වරයාගේ දිව්රුම් පෙත්සම, විත්තිකරුට සිතාසිය භාර දුන් බවට වන බැලු බැල්මට වන සාක්ෂියකි. එවැනි දිව්රුම් පෙත්සමක් ඇති විට සිතාසි නොලැබුන බව විත්තිකරු කියන්නේ නම් අදාළ දිව්රුම් පෙත්සම අසත්‍යයක් බවට ඔප්පු කිරීමේ භාරය ඇත්තේ විත්තියට ය.

එසේම පැමිණිලිකරුගේ මෙහෙයවීමෙන් විත්තියට පෙන්වා සිතාසි භාර දුන් අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ දිව්රුම් පෙත්සමක්ද නඩු වාර්තාවට ගොනු කිරීම සුදුසු බව පෙර කී මොහොට්ටිහාමි නඩුවේදී පෙන්වා දී තිබේ. මෙවැනි දිව්රුම් පෙත්සමක් ගොනු කිරීම පිළිබඳව ප්‍රතිපාදනයක් ද සිවිල් නඩු විධාන සංග්‍රහයට ඇතුළත් ව නැත. නමුත් සිතාසි භාර දීමේ අරමුණු සැලකිල්ලට ගත් විට එය සුදුසු භාවිතාවක් බව L.M. ග්ලැඩ්වින් ද මෙල් එ. J.A. නෙත්තසිංහ (B.A.L.J.R [1994] Vol. V Part II. 24) නඩු තීන්දුවේ දී පෙරේරා විනිසුරුතුමා සඳහන් කර තිබේ. මෙම නඩුවේ දී පැමිණිලිකරු විසින් පෙන්වීමෙන් විත්තිකරුට පෙන්වා භාර දීමෙන් සිතාසි භාර දුන් බව පිස්කල් වාර්තා කර තිබිණි. නමුත් සිතාසි වාර්තා අනුව නියමිත දින විත්තිකරු හෝ නීතීඥවරයකු පෙනී නොසිටීම නිසා නඩුව ඒක පාක්ෂික විභාගයට නියම කරන ලදි. ඒක පාක්ෂික විභාගයේ තීන්දුව ලබා දීමෙන් පසු විත්තිකරු දිසා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටිනු ලැබුවේ තමුන්ට සිතාසි නොලැබුන බවයි. එසේම පිස්කල් වාර්තාවේ දී පැමිණිලිකරුගේ පෙන්වීමෙන් විත්තියට සිතාසි භාර දුන් බවට පිස්කල් විසින් වාර්තා කර තිබුන ද ඒ බවට පැමිණිලිකරුගේ දිව්රුම් පෙත්සමක් නොමැති බවට ද විත්තිකරු පෙන්වා සිටින ලදි. පැමිණිල්ලෙන් කියා සිටිනු ලැබුවේ පැමිණිලිකරු විසින් හෝ පිස්කල්වරයා විසින් හෝ එවැනි දිව්රුම් පෙත්සමක් ගොනු කිරීම සඳහා වන ප්‍රතිපාදනයක් සිවිල් නඩු විධාන සංග්‍රහයේ නොමැති බවයි. කරුණු සැලකිල්ලට ගත් දිසා විනිසුරුතුමා පැමිණිලිකරු විසින් අදාළ සිතාසි භාර දීම සම්බන්ධයෙන් දිව්රුම් පෙත්සමක් ගොනු කර නොමැත යන කරුණ ද සැලකිල්ලට ගෙන විත්තිකරුට සිතාසි භාර දී නොමැති බවට තීරණය කරමින් ඒක පාක්ෂික විභාගය සඳහා කරනු ලැබූ නියෝගය ඉවත් කරන ලදි. මෙකී නියෝගයෙන් අතෘප්තියට පත් පැමිණිලිකරු අභියාචනාධිකරණයට අභියාචනය කරන ලද අතර එය නිෂ්ප්‍රභ කිරීමෙන් පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ද අභියාචනා කරන්නට යෙදුනි. ශ්‍රේෂ්ඨාධිකරණයද දිසා විනිසුරුතුමාගේ නියෝගය පිළිගන්නා ලදි.

මෙනිසා නීතීඥවරුන් විසින් පෙන්වා භාර දීමේ ක්‍රමයට විත්තියට සිතාසි භාර කරවීමට කටයුතු කරන විට එසේ භාර දුන් පසු ඒ බවට වන දිව්රුම් පෙත්සමක් ගොනු කිරීමට ද පියවර ගන්නේ නම් එය වඩාත් සුදුසු වනු ඇත.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.