මුද්දර ගාස්තු නොගෙවීම නිසා පැමිණිල්ල හෝ උත්තරය ප්‍රතික්ෂේප කිරීම
සිවිල් අධිකරණයක නඩු පවරන විට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 39 වගන්තියට පරිදි සාමාන්‍ය කාර්ය පටිපාට අනුව වූ සැම නඩුවක් ම යථා පරිදි මුද්දර අලවන ලද ලිඛිත පැමිණිල්ලකින් පවරනු ලැබිය යුතුය. මේ අනුව පෙනී යන්නේ පැමිණිල්ල පවරන අවස්ථාවේදී මුද්දර ගාස්තුව ගෙවිය යුතු බවයි. එසේම උත්තරය ගොනු කරන විටද නිසි ලෙස මුද්දර අලවා තිබිය යුතු බව 73 වගන්තියේ දැක්වේ. කෙසේවෙතත් පැමිණිලිකරුගේ ඉල්ලීම විත්තිකරු පිළිගන්නේ නම් ඒ අනුව ලබා දෙන 72 වගන්තිය යටතේ වන ලියැවිල්ලට මුද්දර ගාස්තුවක් නැත.
කෙසේවෙතත් පැමිණිල්ල හෝ උත්තරය භාරගන්නා අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක මුද්දර අලවා ඇති විට හා අධිකරණය විසින් නියම කරනු ලබන කාලයක් ඇතුළත අවශ්‍ය ප්‍රමාණයේ මුද්දර සපයන ලෙස අධිකරණය විසින් පැමිණිලිකරුට හෝ විත්තිකරුට නියම කරනු ලැබූ පසු ඔහු එසේ කිරීම පැහැර හරින අවස්ථාවක සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46 (2) (ඌ) වගන්තිය අනුව පැමිණිල්ල හෝ උත්තරය ඉවතලෑමට අධිකරණය කටයුතු කල යුතුය.
කෙසේවෙතත් මෙසේ පැමිණිල්ල ඉවත ලෑම හේතුවෙන් නඩු නිමිත්ත කාලාවරෝධ වී නැත්නම් නැවත නඩු පැවරීමෙන් පැමිණිලිකරු වලක්වන්නේ නැති බව 46 (2) වගන්තියේ දැක් වේ.
මේ සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන ආඥාව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 48 වගන්තිය යටතේ වන ආඥාවක් විය යුතුය.
මේ සම්බන්ධයෙන් වන විට පවතින නීති තත්ත්වය සලකා බැලීමේ දී වරක් පැමිණිල්ලක් බාරගත් විට එය ප්‍රතික්ෂේප කල නොහැකි බවට මොහිදින් එ. ඥානප්‍රකාශම් (14 න.නී. වා 33) නඩුවේදී දක්වා තිබේ. ඒ අනුව මුද්දර ගාස්තුව ප්‍රමාණවත් නොවීම පිළිබඳව විත්තිකරුවකුට උත්තරයෙන් විරෝධතා නැගිය නොහැකි බව ජයවික්‍රම එ. අමරසූරිය (17 න.නී.වා. 174 ) නඩුවේ දී තීරණය වී ඇත. එය පැමිණිල්ල හෝ උත්තරය භාරගනු ලබන අවස්ථාවේදී සිදු කල යුත්තක් බව සිවිල් නඩු විධාන සංග්‍රහයේ පෙර කී ප්‍රතිපාදන අනුව පෙනි යයි. තවද 46 (2) (ඌ) වගන්තියේදී අධිකරණයෙන් අදාල අඩුපාඩුව නිවැරදි කිරීමට කාලය ලබා දීම පිළිබඳව දක්වා ඇත. එම කාලය තුලදී අදාල අඩුපාඩුව නිවැරදි කල විට පැමිණිල්ල ඉවත නොලිය යුතු බව ද සිල්වා එ. හසන් අලි (37 න.නී.වා. 436) නඩුවේදී දක්වා තිබේ.
මෙවැනි අවස්ථාවකදී අධිකරණය විසින් සිදුකල යුතු ක්‍රියා මාර්ගය යුසුෆ් මොහොමඩ් එ. ඉන්දියන් ඕවර්සීස් බෑන්ක් (1999) 3 ශ්‍රී ලංකා නී.වා. 278 නඩුවේදී දක්වා ඇත්තේ පැමිණිල්ලට හෝ අමුණා ඇති ලේඛන සදහා ප්‍රමාණවත් ලෙස මුද්දර ගාස්තු ගෙවා නැත්නම් අධිකරණය විසින් ඒ සඳහා එකී ගාස්තුව ගෙවීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, එසේ කාලය ලබා දීමෙන් පසුවත් නිසි ලෙස මුද්දර ගාස්තු නොසපයයි නම් පැමිණිල්ල ඉවත ලිය යුතු බවත් ය. මේ තත්ත්වය විජේරත්න එ. වීරතුංග (1999) 1 ශ්‍රී ලංකා නී.වා 332 නඩුවේදී ප්‍රකාශ කර තිබේ.
මේ අනුව පැමිණිල්ල හා උත්තරය සම්බන්ධයෙන් වන විට මුද්දර ගාස්තු සම්බන්ධයෙන් නීතීඥවරුන්ට වැදගත්විය හැකි ක්‍රමවේදය විය හැක්කේ අදාල පැමිණිල්ල හෝ උත්තරය අධිකරණයට බාර දෙන විට නිසි වටිනාකමට මුද්දර සැපයීම බවත්, එසේ මුද්දර සපයා නොමැති අවස්ථාවක අධිකරණය විසින් ඒ සදහා ලබාදෙන කාලය තුලදි එම අඩුපාඩුව නිවැරදි කිරීමට කටයුතු කිරිමක් බව බවත්ය. එසේ නොවන විටදි පැමිණිල්ල හෝ උත්තරය ඉවතලෑමට අධිකරණය කටයුතු කරනු ලැබිය හැකිය.
Comments
Post a Comment