රේ වින්ඩිකාෂියෝ/අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩුවක පැමිණිලිකරුගේ අයිතිය අහිමි වුවහොත් ඇති වන තත්ත්වය


 

ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල පවතින ඉඩම් නඩු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින්නේ රේ වින්ඩිකාෂියෝ හෝ අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩු වේ. මේ නඩුවල සමහර අවස්ථාවලදී පැමිණිලිකරුගේ අයිතිය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර අහිමි වන අවස්ථා ඇත. එවැනි විටක නඩුවට සිදු වන්නේ කුමක් ද යන්න මේ ලිපියේ දී සැකෙවින් සලකා බලනු ලැබේ.

අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නැත්නම් රේ වින්ඩිකාෂියෝ නඩුවක පැමිණිලිකරුගේ ප්‍රධාන කාර්යය වන්නේ ඉඩමේ අයිතිය තමුන්ට ඇති බව ඔප්පු කිරීමයි. මේ සඳහා නඩුව ආරම්භයේ සිට අවසානය දක්වා ම අයිතිය ඇත්තේ තමුන්ට බව පැමිණිලිකරු පෙන්වා සිටිය යුතු ය. Ekanayake And 4 Others v. Ratranhamy - (2013) 1 Sri LR  305 නඩු තීන්දුවේ දී මෙසේ දක්වා තිබේ.

In a vindicatory action it is necessary for the title to be present with the Plaintiff not only at the beginning of the action, but until the conclusion of the case.

මෙනිසා යම් අවස්ථාවකදී නඩුව අවසන් වීමට පෙර පැමිණිලිකරුගේ අයිතිය අහිමි වුවහොත් ඒ නඩුව සාර්ථක වන්නේ නැත. මේ අහිමිවීම කියන්නේ පැමිණිලිකරු මියයාම නොවේ. අයිතිය අහිමි වීම යි. පැමිණිලිකරු මියගියහොත් ඔහු වෙනුවට ආදේශිත පැමිණිලිකරුවකු පත් කර ගනිමින් නඩු කටයුත්ත පවත්වාගෙන යා හැකි වේ. නිදසුනකට පැමිණිලිකරු විසින් නඩුව පැවරීමෙන් පසුව ඔහුගේ දේපල වෙනත් පුද්ගලයකුට පවරනු ලැබුවහොත් නැත්නම් පැමිණිලිකරුගේ දේපල රජය අත්කර ගතහොත් වැනි අවස්ථාවකදී මේ තත්ත්වය ඇති වේ.

කෙසේවෙතත් පැමිණිලිකරු විසින් මේ ආකාරයට දේපලෙන් කොටසක් වෙනත් පුද්ගලයකුට බැහැර කරන අවස්ථාවකදී ඒ අයිතිය ලබා ගන්නා පුද්ගලයා නඩුවේ පැමිණිලිකරුවකු කරනු ලැබුවහොත් එවිට නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබේ (Eugin Fernando v. Charles Perera and Others(1988) 2 Sri LR 228).

එසේම අලාභ ඉල්ලීමක් ද මේ නඩුවේ දී කර ඇත්නම් අයිතිය අහිමි වන අවස්ථාව දක්වා අලාභ ලබා ගැනීම සඳහා නඩුව පවත්වාගෙන යාමට ද හැකියාව පවතී (Eliashamy v. Punchi Banda Et Al. - 14 NLR 113).

තවද, රේ වින්ඩිකාෂියෝ හෝ අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩුවක පැමිණිලිකරුගේ වාසියට තීන්දුව ලබා ගැනීමෙන් පසුව ඒ තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් අභියාචනයක් කර ඇති විටදී පැමිණිලිකරු මිය යනු ලැබුවහොත් සහ ඒ අනුව පැමිණිලිකරු වෙනුවෙන් අභියාචනය පවත්වාගෙන යාම සඳහා ආදේශිත පැමිණිලිකරුවකු නම් කරනු ලබන අවස්ථාවකදී මේ තත්ත්වය අදාළ වන්නේ නැත (SC/HC/CALA306/2013 Decided on 23.03.2017).

Comments

Popular posts from this blog

Sec. 86 (2) & 88 of the Civil Procedure - leave to appeal or final appeal - correct application is by way of final appeal

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු

“66 නඩුකර”