බෙදුම් නඩු තීන්දුවක් ක්‍රියාත්මක කිරිමේ දී වැදගත් වන කරුණක්.

 



බෙදුම් නඩු තීන්දුවක් ක්‍රියාත්මක කිරීමේ දී එනම් බුක්ති බලපත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දී ‘කාලය‘ වැදගත් සාධකයකි. බෙදුම් නීතියේ 52 වන වගන්තියට අනුව අවසන් තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට හෝ අභියාචනයක් කරනු ලැබුවේ නම්  එම අවසන් තීන්දු ප්‍රකාශය ස්ථිර කරන ලද අභියාචනය පිළිබඳ අවසාන තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට අවුරුදු දහයක් ඇතුළත මෝසමක් මගින් අදාළ ඉල්ලීම කළ යුතු වේ.

මෙහි දැක්වෙන අවසන් තීන්දු ප්‍රකාශයේ දිනය යන්න බුක්ති බලපත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දී වැදගත් ය. ඒ අනුව බෙදුම් නීතියේ 36 වන වගන්තියේ දී දැක්වෙන්නේ මිනින්දෝරුවරයා විසින් යෝජිත බෙදා වෙන් කිරීමේ ක්‍රමය මද වෙනස් කිරීම් සහිතව හෝ රහිතව අනුමත කොට ඒ අනුව අවසාන තීන්දු ප්‍රකාශය වාර්තා ගත කළ හැකි බවයි. මෙනිසා අවසන් තීන්දු ප්‍රකාශයේ දිනය වන්නේ 36 වන වගන්තිය අනුව යෝජිත බෙදා වෙන් කිරීම අනුමත කරනු ලැබූ දවස ය.

මෙදිනම අවසන් තීන්දු ප්‍රකාශය නඩුවට ඉදිරිපත් නොවන බව සාමාන්‍ය තත්ත්වයකි. සමහරක් අවස්ථාවලදී අවසන් තීන්දු ප්‍රකාශය, පිඹුර අනුමත කොට වසර ගණනකට පසුව ඉදිරිපත් වන අවස්ථාද දැකිය හැකි වේ. නමුත් ඒ ආකාරයට අවසන් තීන්දු ප්‍රකාශය නඩුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද වීමේ හේතුව නිසා අවසන් තීන්දු ප්‍රකාශයේ දිනය, ඒ අවසන් තීන්දු ප්‍රකාශය නඩුවට ඉදිරිපත් කරන දිනය වන්නේ නැත.

කෙසේවෙතත් බුක්ති බලපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලීම් කිරීමේ දී අවසන් තීන්දු ප්‍රකාශය සකසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අත්සන් තැබූ දිනය මත රැඳී කාලය ගණනය කොට ඉල්ලීම් කරන අවස්ථා ද වේ. එකී ගණනය කිරීම පෙර කී 36 වන වගන්තිය අනුව නිවැරදි වන්නේ නැත. මෙය බුක්ති බලපත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කිරීමේ දී වැදගත් වන කරුණකි.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්.

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.